“කුරිරු පාලක හිට්ලර්” ඇඳපු චිත්‍ර සහ චිත්‍ර ශිල්පියෙක් වෙන්නට ඔහු දුටු සිහින බොඳ වූ හැටි

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දේශපාලනයට එළැඹෙන්නත් යුධකාමියෙක් වෙන්නත් කළින් හිට්ලර් සිහින දක්කේ චිත්‍ර ශිල්පියෙක් වෙන්නයි!  කුරිරු පාලකයෙක් වූ නිසා හිටලර් ට චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණේ නැහැ කියලා ඔබටත් හිතෙනවා නම්, ඔබ මේ ලිපිය බැලිය යුතුමයි!
මොස්කව් අගනුවර KGB සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබෙන හිට්ලර්ගේ සිතුවම් පොතක්

හිට්ලර් ගේ චිත්‍ර ඇඳීමේ පිපාසාව ආරම්භ වෙන්නෙ ඔහු කුඩා කාලෙදිමයි. පසු කාලයේදී ලෝකය තමන් ගේ කැන්වසය කරගෙන යුධ බිය මර බිය එහි සිතුවම් කල හිට්ලර් ආරම්භයේදී වීදි චිත්‍ර ශිල්පියෙක් වෙන්නට හීන දැකපු බව ඇසුවොත් ඔබ පුදුම වෙයි! ඔව්, සිහින දැක්කා පමණක් නෙමෙයි, ඔහු මුල් කාලයේදි තමන් කළ සිතුවම් ගෙයින් ගෙට ගෙනයමින් විකුණුවා. Munich නගරයේ විශේෂ ගොඩනැගිලි, උද්‍යාන, බීර හල් ඔහු අතින් සිතුවමට නැගුණා. නමුත් අවාසනාවට, ඔහුගේ සිතුවම් වලට ඇලුම් කලේ ඉතාම සීමිත පිරිසක් විතරයි. 20 වෙනි සියවසේ මුල් භාගය වෙනවිට ලෝකයේ චිත්‍ර කළාව තුළ ඇති තිබුණු පෙරළියට සාපේක්ෂව තරුණ හිට්ලර්ගේ සිතුවම් ශෛලිය හරිම යල් පැන ගිය එකක් වුණා.

හිට්ලර් විසින් සිතුවම් කළ වියානාවේ පැරණි චතුරස්‍රය

බොහෝ දෙනෙක් ඇලුම් කරපු “නූතන සිතුවම් ශෛලිය”, හුදෙක්ම ජර්මානුවන්ගේ ඉපැරණි සිතුවම් කළාව විනාශ කරන්නට, යුදෙව්වන් සහ බොල්ෂෙවික්වරු යොදපු උපායක් බවයි හිට්ලර් විශ්වාස කළේ. ඒ ආකල්පයම තමන්ගෙ ජීවිකාව මළ ගම් යවන්නට හේතු වුණත්, තමන්ගේ ශෛලිය වෙනස් කරන්නට හිට්ලර් කැමති උණේ නැහැ. මේ කාරණාව නිසා හිට්ලර් ට අහිමි වුණේ තමන්ගෙ රැකියාව පමණක් ම නෙමෙයි.  චිත්‍ර කළාව හදාරන අරමුණින් ඔස්ට්‍රියාවේ වියානා නගරයේ “Academy of Fine Arts” කළා විද්‍යාලයට අයදුම් කරන හිට්ලර් එහි මූලික පරීක්ෂණයෙන්ම අසමත් වෙනවා. පරීක්ෂකවරුන් අවධාරණය කලේ හිටලර්ගේ සිතුවම් එතරම්ම නරක නැති නමුත්, ඔහුගේ ශෛලිය තව “දියුණු” වෙන්නට ඕනෑ බවයි.  ඒ දින වල නැගී එන ශෛලිය වුණු “ආලේඛ්‍ය” (Portrait) චිත්‍ර වලට වඩා හිටලර් කැමති වුණේ  “භූමි දර්ශන” වැනි දෑ සිතුවම් කරන්නයි.

ඒ අනුව “ගෘහ නිර්මාණ ශිල්පය” හදාරන්නට පරීක්ෂකවරු ඔහුට යෝජනා කළත්  ඒ සිහිනයත් සඵල නොවෙන්නේ හිට්ලර් එතෙක් ලබාගෙන තිබුණු අධ්‍යාපන සුදුසුකම් ඊට ප්‍රමාණවත් නොවුණු නිසයි.

Munich නගරයේ උසාවි භූමියක දර්ශනයක්
මුල් කාළීන ආධුනික චිත්‍ර ශිල්පියෙකු ලෙස හිට්ලර්ගේ සිතුවිමක්
“ආරාමයක සුන්බුන්” නමින් නම් කෙරුණු මේ සිතුවම අඩංගු සඟරාවක් පසු කාලීනව හිට්ලර් ජනප්‍රිය වීමත් සමඟ පිටපත් මිලියන ගණනින් අලෙවි වුණා. 1938 වර්ෂයේදී හිට්ලර් තවදුරටත් තමන්ගෙ සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීම සදහටම තහනම් කළා.
“Blumenstillleben” නැමැති මේ සිතුවම 2015 වර්ෂයේ නිව්‍රම්බර්ග් නගරයේ වෙන්දේසියකදී ඩොලර් 4,50,000 ක මුදලකට අලෙවි වුණා. (නාසි සලකුණ රහිත හිට්ලර්ගේ සිතුවම් විකිණීම පිළිබද ජර්මාණු රජය කිසිදු විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ.)
“සුදු වැටක් සහිත නිවස”

එදා ඉතාම කුඩා මුදලකට අලෙවි වුණු හෝ නොසලකාහැරුණු, හිට්ලර්ගේ සිතුවම් අද ඩොලර් මිලියන ගණනක වටිනාකමින් වෙන්දේසි වෙනවා. තමන් උපතින්ම ගෙනා ඒ හැකියාව සහ ශෛලිය කාලානුරූප විදිහට හැඩගස්වාගන්න තරම් ඔහු  නම්‍යශීලී වුණා නම්, පසු කාලයේ ඔහු භීතියෙන් අලලන්ට සමත් වූ ලෝකය කළාවෙන් මුසපත් කරන්න, ඔහුට ඉඩ තිබුණාට සැක නැහැ.

මූලාශ්‍ර:

https://www.history.com/

https://www.worldbulletin.net/

https://www.quora.com/

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!