අපි කලින් පල කරපු ලිපි මාලාව මගින් කතා බහ කලා මේ sleep apnea එහෙමත් නැත්තං නින්දෙන් ගෙරවීම කියන්නෙ ලෙඩක්ද? කෝමද මේ ලෙඩේ හැදෙන්නෙ? හැදුනොත් මොකද වෙන්නෙ? යන කාරනා සම්බන්ධව. ඒවා කියවන්න පහල ලින්ක් වලට යන්න.
(Sleep Apnea Part I) කියවන්න: ගොරවන එක ලෙඩක් ද??? නින්දෙන් ලී ඉරන අය කියවන්න..
(Sleep Apnea Part II) කියවන්න: නින්දෙන් ගෙරවීම මරණයෙන් කෙළවර වෙන්න පුළුවන්!
අද අපි ඒකෙ අවසාන කොටස විදියට මේකට පිලියම් වශයෙන් දැනට බටහිර වෛද්ය විද්යාවේ කරන ප්රතිකාර ක්රම ගැන කතා කරමු.
හේතුව හොයන්න
කලින් සඳහන් කල විදියට මේ obstructive sleep apnea කියන තත්වයට හේතු වෙන්නෙ ශ්වසන මාර්ගයේ සිදුවන අවහිරතාවක්නේ. ඉතිං මොකක් හරි බ්ලොක් උනාම ඒ බ්ලොක් එක අයින් කරන එක තමා සරලම විසඳුම වෙන්නෙ. මේක මෙහෙම සරලව කිව්වට කරන එක ඒ තරමටම සරල නෑ. මොකද මුලින්ම හොඳට ඒ අදාල ගොර මාමගෙ තත්වය අධ්යනය කරල බලන්නෝනෙ මේ ගෙරවිල්ල කොච්චර උග්රද කියල. සහ ගෙරවිල්ලට ප්රධානම හේතු වෙච්ච කාරණය හෙවත් රෝග මූලය අඳුනගන්න ඕනෙ. ඊටපස්සෙ තමා තීරණය කරන්නෙ මොන ප්රතිකාරයද සුදුසු කියල. බොහෝ විට දරුණුම ගනයේ ගෙරවිල්ලක් ඇරුනාම සාමාන්ය ගෙරවිලි සඳහා අපි භෞතචිකිත්සක ප්රතිකාර (physiotherapy treatment) සිදු කරනවා. අපි ඒ ගැන එකින් එක විස්තර කරමු.
ඉරියව්
සරලවම කරන්න පුලුවන් දේ තමයි postural adjustments. ඒ කියන්නෙ ඉරියව් නිසියාකාරව පාලනය කිරීම. සරලව කිව්වොත්, හිතන්න මම මුල්ම ලිපියෙදි පැහැදිලි කලා වගේ නැමිච්ච හෝස් බටයක් ගැන. දැන් මේකෙන් වතුර ගමන් කරන එක අඩාල උනේ මේක නැමිලා තියෙන නිසානෙ. ඉතිං අපි බටේ කෙලින් කලොත් හොඳට වතුර ගමන් කරන්න පටං ගන්නවා. අන්න ඒ වගේ සාමාන්ය මට්ටමේ සරල ගෙරවිල්ලක් තියෙන කෙනෙක්ට අපි කියලා දෙනවා මේ හුස්මගන්න බටේ නැමෙන්නෙ නැති වෙන ඉරියව්වකින් නිදාගන්නෙ කොහොමද කියල. සරලවම side line position හෙවත් පැති ඇලයට නිදා ගැනීම තමා අපි recommend කරන්නෙ. ඒ සඳහා වෙනම කොට්ට වර්ග පවා තියෙනවා.
ව්‍යායාම
දැනට පර්යේෂනාත්මකව තහවුරු වී තියෙනවා තරබාරු කෙනෙක් නම් ඔබේ බර පොඩි ප්රමාණයකින් හෝ අඩු කරගත හොත් මේ ගෙරවිල්ලෙ සැලකියයුතු අඩු වීමක් පෙන්නුම් කරගත හැකි බවට. ඉතිං ඇරොබික් (aerobic exercises) හෙවත් සවායු ව්යායාම අවම වශයෙන් දවසකට විනාඩි තිහ බැගින් සතියකට 3-5 වතාවක් සිදු කිරීමෙන් සැලකියයුතු ප්රථිපල ලබාගන්න පුලුවන්. ඔබ ගොරමාමෙක් නම් සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙක් (physiotherapist) හමු උනොත් ඔහු ඔබට ගැලපෙනම ව්යායාම වර්ගය ඔබට පුහුණු කරාවි ඉතා ඉක්මනින් මේ ගෙරවීමෙන් මිදෙන්න. හැබැයි ඉතිං ඔබ ව්යායාම කරන්න ලෝක කම්මැලියෙක් නම් සදා ගොරෝ ගොරෝ ගොරබිල්ලෙක් සේ ඉන්නයි වෙන්නෙ. මොකද මේ ලෙඩේට ව්යායාම කියන්නෙ අනිවාර්යයෙන්ම සිදු කල යුතු අංගයක්.
සවායු ව්යායාම වලට අමතරව යම් මට්ටමකට දරුණු sleep apnea රෝගීන් සඳහා අපි දිවට සහ තල්ලට කරන යම් සුවිශේෂී ව්යායාම කිහිපයක් නිර්දේශ කරනවා. මේ ලෙඩේ හැදෙන්නෙ කෝමද කියල අපි කරපු පැහැදිලි කිරීම මතක නම් ඒකෙදි අපි කිව්වා මේ ස්වසන මාර්ගය අවහිර වෙන්නෙ දිව සහ මෘදු තල්ල පිටුපසට යාම නිසා බව. ඉතිං අපි අපේ දිවට සහ මෘදු තල්ලට යම් මට්ටමක ශක්තිමත් බවක් ලබා දුන්නොත් ඒවා පිටුපසට තල්ලු වීමක් වෙන්නෙ නෑ. පිටුපසට තල්ලු වෙන්නෙ නැත්තං ස්වසර මාර්ගය අවහිර වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ ගෙරවිල්ලත් ඔබ දමා පැන යනවා කියන එක. මේ දිව සහ තල්ල ශක්තිමත් කරන ව්යායාමත් ඔබට පලපුරුදු භෞතචිකිත්සකවරයෙක්ගෙන් ලබාගන්න පුලුවන්. ඒ ටික ඇත්තෙන්ම මෙතන විස්තර කරන්න ගියොත් මේ ලිපි මාලාව තව කොටස් හතර පහකින් දිග් වෙන්න පුලුවන් සහ ඕනෑම ව්යායාමයක් රෝගියාගෙ තත්වය මත ඔහුට හෝ ඇයට ගැලපෙන ආකාරයට නිර්දේශ කල යුතු නිසාත් මම මේ ලිපියෙන් ව්යායාම වර්ග කියල දෙන්න යන්නෙ නෑ. මේ දේවල් ඔබට කිසිඳු මුදලක් වියහියදම් නොවී රජයේ රෝහලක භෞතචිකිත්සක අංශයකට ගිහිං අසා දැනගන්න පුලුවන්!
විශේෂ ප්‍රතිකාර
ඔය මම විස්තර කලේ සරලවම මේ ගෙරවිල්ලට කරන්න පුලුවන් ප්රතිකාර. නමුත් මේ ලෙඩේ දරුණු මට්ටමින් තියෙන සමහර අයට අපිට විශේෂ වෛද්ය ප්රතිකාර අවශ්ය වෙනවා. මම කලින් කිව්වා මතක ඇති සමහර අයට රෑ නින්දෙන් විනාඩි තුනක් හතරක් වගේ කාලයක් පවා හුස්ම හිර වෙලා තියෙන්න පුලුවන් කියල. ඒක ටිකක් බරපතල තත්වයක්. ඉතිං ඒ වගේ කෙනෙක්ට ව්යායාම පටංගන්න කලින් අපිට සිද්ධ වෙනවා බලෙන් හෝ රෑට මෙයාගෙ හුස්ම ගැනීම එක දිගට සිද්ධ කරවන්න. ඒකට අපි CPAP හෙවත් continuous positive airway pressure යොදා ගන්නවා. මේක ඇත්තටම යාන්ත්රික ක්රියාවලියක්. ඔය සිහිය නැති ලෙඩ්ඩුන්ව icu වලදි මැශින් එකට ගහලයි හුස්ම ගන්වන්නෙ කියල අපි එදිනෙදා කියන්නෙත් මේ ක්රියාවලියටම තමා. මේ යන්ත්රයෙන් කෙරෙන්නෙ එකදිගට යම් නිශ්චිත වායු පීඩනයක් ශ්වසන මාර්ගයේ පවත්වාගෙන යෑම. එතකොට බ්ලොක් එක තිබ්බත් බලෙන්ම අවශ්ය ප්රමානෙට ඔක්සිජන් පෙනහැල්ලට ලඟා වෙනවා. පහල තියෙන්නෙ ඒ cpap එකක රූපයක්.
මීට අමතරව තවත් යම් යම් ප්රතිකාර විධි තිබ්බත් (ශල්යකර්ම වැනි) මම මේ ටිකෙන් නවතින්නෙ sleep apnea තියෙන අය අති බහුතරයකට මේ ප්රතිකාර ප්රමාණවත් නිසා. ඉතිං මම හිතනවා මේ ලිපි වලින් ඔබ නොදන්නා ලෙඩක් ගැන දැනුවත් වෙලා ඒ වගේ ලෙඩ වලට හේතු වන අහිතකර පුරුදු තියෙනවා නම් ඒවා අත හරින්නට නැණ නුවණ පෑදෙන්නට ඇති කියල. ඉදිරියටත් මේ වගේ ලිපි පෙලකින් හමු වෙමු.
L. H. D. J. Sathsara
Physiotherapist
Base Hospital, Bibile
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.