අලි මිනිසාගේ කතාව (චරිත)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
"අලි මිනිසා කියපු සැනින් ඔබට මැවී පෙනෙනවා ඇති ප්‍රමාණයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩිය විශාල පුද්ගලයෙක්. හැබැයි ඇත්තටම මේ කියන අලි මිනිසාට ඒ නම ලැබුණේ, එවැනි හේතුවක් නිසා නම් නෙමෙයි..."

1862 වර්ෂයේ එංගලන්තයේ ලයිසෙස්ටර් නගරයේ උපත ලබපු ජෝසප් කේරි මෙරික්, බොහෝ දෙනෙක් හඳුනන්නේ “Elephant Man” හෙවත් “අලි මිනිසා” කියන නමිනුයි.  අලි මිනිසා කියපු සැනින් ඔබට මැවී පෙනෙනවා ඇති ප්‍රමාණයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩිය විශාල පුද්ගලයෙක්. හැබැයි ඇත්තටම මේ කියන අලි මිනිසාට ඒ නම ලැබුණේ, එවැනි හේතුවක් නිසා නම් නෙමෙයි.

 

නිරෝගී දරුවෙක්

උපතින් ඉතාම නිරෝගී වුන ජෝසප් හැම අතින්ම සාමාන්‍ය දරුවෙක්ගේ ලක්ෂණ පෙන්වුවා. නමුත් වයස අවුරුදු පහ පසු වනවත් එක්කම ජෝසප් ගේ ශරීරය ටිකින් ටික වෙනස් වෙනස් වෙන්නට පටන් ගත්තා.

 

සාමාන්‍යයෙන් සිට අසාමාන්‍යයට

කාලය ගත වෙද්දී  ජෝසප්ගේ සම තැනින් තැන  ක්‍රමයෙන් අළු පැහැයට හැරෙන්නත්, අනතුරුව ඉතා ගොරෝසු  වෙන්නත් පටන් ගත්තා. බැලූ බැල්මට එය අලියෙක්ගේ සමකට සමාන උණා. හිස  සහ ශරීරයේ තවත් තැන්වල මාංශ පේශි වල වර්ධනය අසාමාන්‍ය බවක් පෙන්වන්න ගත්තා. මේ කාරණාවන් නිසා ජෝසප් සමවයසේ දරුවන් අතින් උසුළු විසුළු වලට ලක් වුණත්, පුංචි ජෝසප්ට දැඩි ලෙස ආදරය කළ ඔහුගේ මව ජෝසප්ව  දිරිගන්වමින්, පාසල් යෑම  ඇතුලු අනිත් හැම දේමත් එක්ක හරිම සාමාන්‍ය ළමා කාලයක් ගත කරන්න අවශ්‍ය වටපිටාව ඔහුට හදලා දුන්නා.

 

මවගේ වියෝව

ජෝසප්ගේ පියා ඉතා සැර පරුෂ  පුද්ගලයෙක් වුණා. එනිසා පුංචි ජෝසප්ට  තිබුණු එකම ශක්තියත්, ඔහුට සැබැවින්ම ආදරය කළ එකම පුද්ගලයා වුනෙත් ඔහුගේ මව පමණයි.
1873 දී, ජෝසප් ගේ වයස යන්තම් අවුරුදු 11 පිරෙද්දී ඉතාම අවාසනාවන්ත ලෙස , ඔහුගේ  මව නිව්මෝනියා රෝගය වැළඳී මිය යනවා.

 

නරක කාලයක්

ජෝසප්ගේ මවගේ වියෝවෙන් වසරක්වත් ගත වෙන්නට කලින්, ජෝසෙප්ගේ පියා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ ඔවුන්ගේ කුලී නිවසේ හිමිකාරිය වුණ කාන්තාව එක්කයි. පියාට නොදෙවෙනි සැර පරුෂ කාන්තාවක් වුණ ඇගේ අඩත්තේට්ටම් නිසා ජෝසප්ට තමන්ගේ  පාසල් ගමන නතර කරන්නට සිදු වුණා. මේ අතරතුර රැකියාවක්  කියාවක් සොයමින් සිටි ඔහුට  සිගරට් කර්මාන්තශාලාවක, සිගරට් ඔතන්නෙක් විදිහට රැකියාව කරන්න අවස්ථාවක් ලැබෙනවා.

 

දිගටම කරදර

කර්මාන්තශාලාවේ රැකියාව කරන්නට පටන් අරන් වසර දෙකක් වත් යන්නට මත්තෙන් ජෝසප් ව රැකියාවෙන් නෙරපනවා. ඒ ජෝසප්ගේ දකුණු අතේ  හැඩය අතිශය ලෙස විකෘති වීම නිසා, තවදුරටත් ඔහුට පැවරුණු සිගරට් එතීමේ කාර්යයේ කරන්නට හැකියාවක් නැති වුණු නිසයි.

මේ අතරතුර තොරම්බල් බඩු හදන්නෙක් වුනු ජෝසප් ගේ පියා ජෝසප්ට පදික වෙළඳාම් කරන්න අවශ්‍ය බලපත්‍රයක් අරන් දෙනවා. පියා හදන තොරම්බල් බඩු පදික වේදිකාවල ඉඳන් වෙළදාම් කරන කාර්‍යය ජෝසප්ට භාර වුණා. ඒත් මේ වෙනකොට, ජෝසප් ගේ දකුණු අතේ හැඩය තව තවත් වෙනස් වෙනවත් එක්කම, කටහඬ ශබ්ද උච්චාරණයේත් දරුණු සංකූලතා ඇති වෙන්න පටන් අරන් තිබුනා. ඔහු කියන දේ තේරුම් ගැනීම ඉතාම අමාරු කාර්යයක් වුණා. පදික වේදිකාවේ වෙළදාම් කරපු ජෝසප් ගෙන් බඩු මිලදී ගන්න තබා ලගින් යන්නවත් බොහෝ දෙනා බය උනා. ඒත් ජෝසප් ගේ පියාට නම් මේ කිසිම කාරණයක් අදාළ වුණේ නැහැ. ප්‍රමාණවත් තරම් වෙළඳාමක්  සිද්ධ නොවුණු දවසට ජෝසප් ට ඉතා පහත් ආකාරයෙන් බැන වදින්නත්, පහර දෙන්නත් ඔහුගේ කෲර පියා පටන් ගත්තා.

පියාගේ අඩත්තේට්ටම් ඉවසාගන්නට ම නොහැකි වු තැන නිවස හැර යන්න ජෝසප් තීරණය කළා. මේ වෙද්දි ජෝසෙප්ගේ වයස අවුරුදු 17ක්.

 

අලි මිනිසා

නිවස හැර ගියායින් පස්සේ, ඔහුගේ මාමා කෙනෙක් ගේ නිවසක ජීවත්වෙමින් ටික කාලයක් වැඩපළක රැකියාවක් කළ ජෝසප්, ජීවිතය ගැන තරමක් වෙනස් විදියට හිතන්න පටන් ගත්තා. තමන්ගේ විකෘති තාවය , රැකියාවක් කරගන්න අරමුණින්, ලයිසෙස්ටර්  හි සංගීත ශාලාවක හිමිකරුවෙක් වුණු සෑම් ටෝර් ව මුණ ගැසුණා.

ජෝසප් ගේ සිහින මල් ඵල ගන්වමින් “The Human Oddities Show” නම් සංදර්ශනයක සාමාජිකයෙක් වෙන්නට ඔහුට අවස්ථාව උදා වුණා. ලයිසෙස්ටර් වගේම නොටින්හැම් ප්‍රදේශයෙත් ජෝසප් ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණේ “අලි මිනිසා”  “භාගෙට අලි මිනිසා”වැනි නම් වලිනුයි. ලන්ඩනය අවට රෝහල් සහ විශ්ව විද්‍යාල වල වෛද්‍ය ශිෂ්‍යයින් සහ පර්යේෂකයින් අධ්‍යයන කටයුතු සඳහා ජෝසප් ව දැක බලාගන්නට පැමිණියා.

 

රෝගය උත්සන්න වෙයි

සංදර්ශන වල සාර්ථකත්වයත් සමඟ හොඳ කලක් උදා වුණත්, ජෝසප් ගේ සංකූලතාවයනුත් ඒ අතරතුර දිගින් දිගටම වැඩි වෙන්න පටන් ගත්තා.  මේ වෙනකොට ඔහුගෙ  හිසේ වට ප්‍රමාණය අඟල් තිස් හයක් වුණා. ඉණ සහ දෙපා වල හැඩය මොන තරම් විකෘති උණාද කියනවා නම්, හැරමිටියක ආධාරයක් නැතිව ඇවිදින්නට බැරි තත්ත්වයට පත්වුණා.

මේ කාලයේදීම ශරීර ව්‍යාකූලතාවයන් පිළිබඳ පර්යේෂණ කරන ට්‍රෙවිස් නම් වෛද්‍යවරයෙක් ජෝසප්ට  ප්‍රතිකාර කරන්නට පටන් ගන්නවා. ආරම්භයේ දී ජෝසප්ගේ සුබසිද්ධිය උදෙසා ප්‍රතිකාර කරන බවක් පෙන්නුවත්, කාලය ගත වෙද්දී තමාව රෝගියෙකුට වඩා “පර්යේෂණ සඳහා කූඩුවක දැමූ සතෙකු” ගේ තත්වයට පත්තර ඇතිවෙන බව ජෝසප්ට ඒත්තු යනවා. එනිසා ප්‍රතිකාර ලබා ගැනීම ජෝසප් විසින්ම ප්‍රතික්ෂේප කරනවා.

***************

අලි මිනිසා ගේ ජීවිත කතාවේ ඉතිරි කොටස මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.

 

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!