“1940 දී ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඉපදුන ජේම්ස්, හදාවඩා ගන්නට බාරගත්ත දෙමව්පියන් අතින් “ජේම්ස් ලූවිස්” නමින් නම් කෙරුණා. පාසල් යන කාලේ ගණිතය සහ වඩු වැඩට ප්‍රිය කලත් ලුවිස් කොහෙත්ම ඉංග්‍රීසි විෂයට කැමැත්තක් දැක්වුවේ නැහැ. ලින්ඩා නම් කාන්තාව සමග විවාහ වෙන ලුවිස්, බෙටී සමග දෙවැනි විවාහයක් කරගන්නවා. ජේම්ස් ඇලන් ලුවිස් නමින් තමන්ගේ එකම පුතා ව නම් කරන ජේම්ස් ලූවිස්, වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක් වුණා. Chevrolet කාරයක ගමන් ගත් ඔහු දුම් පානයට ඇබ්බැහි වී සිටියා..”
“1940 දී ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඉපදුන ජේම්ස්, හදාවඩා ගන්නට බාරගත්ත දෙමව්පියන් අතින් “ජේම්ස් ස්ප්‍රින්ගර්” නමින් නම් කෙරුණා. පාසල් යන කාලේ ගණිතය සහ වඩු වැඩට ප්‍රිය කලත් ලුවිස් කොහෙත්ම ඉංග්‍රීසි විෂයට කැමැත්තක් දැක්වුවේ නැහැ. ලින්ඩා නම් කාන්තාව සමග විවාහ වෙන ලුවිස්, බෙටී සමග දෙවැනි විවාහයක් කරගන්නවා. “ජේම්ස් ඇලන් ස්ප්‍රින්ගර්” නමින් තමන්ගේ එකම පුතා ව නම් කරන ජේම්ස් ලූවිස්, වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක් වුණා. Chevrolet කාරයක ගමන් ගත් ඔහු දුම් පානයට ඇබ්බැහි වී සිටියා..”
දැන් ඔබ හිතනවා ඇති ඔබ එකම ඡේදය දෙපාරක් කියෙව්වා කියලා. නැහැ ඒත් කෙටි විස්තර දෙක පුද්ගලයින් දෙදෙනෙක් ගැනයි. නමින් ජේම්ස් ලූවිස් සහ ජේම්ස් ස්ප්‍රින්ගර් වූ ජේම්ස් සහෝදරයන් පසු කාළීනව ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධ වුණේ “ජිම් නිවුන් සොහොයුරන්” විදිහටයි.
විශේෂත්වය
ඉපදී සති තුනකවත් ගත වෙන්නට මත්තෙන් එකිනෙකාගෙන් වෙන් වුණු නිවුන් සොහොයුරන් දෙදෙනෙක් 1979දී දෛවෝපගත ලෙස නැවත හමු වුණා. මුණ ගැසෙද්දී 39 හැවිරිදි වියේ පසු වුණු ජිම් සහෝදරයින් ගේ ජීවිතයේ විශේෂ සිදුවීම් බහුතරයක් අත්භූත ලෙස එකිනෙකට සමාන වීම විශේෂත්වයක් වුණා. සැබෑවක්ද අදහා ගන්න බැරි තරම් සුවිශේෂී වුණු ජිම් සහෝදරයින්ගේ ඒ සමානතා ගැන පර්යේෂණ කරන්න විද්‍යාඥයින් පවා ඉදිරිපත් වුණා.
සහෝදරයින්ගේ වෙන් වීම
ජිම් සහෝදරයින් ඉන්න හදාවඩාගත් මව්වරුන් දෙදෙනාම දැනගෙන සිටියා ඔවුන් නිවුන් දරුවන් බව. ඒ අතරින් ස්ප්‍රින්ගර් ගේ මව, ඔහුගේ සහෝදරයා මිය ගිහින් ඇති බව අනුමාන කළත්, ලුවිස් ගේ මවට ඊට වඩා යමක් දැනගන්නට ලැබුණා. ඒ භාරකාරිත්වය පිළිබඳ අධිකරණ ලේඛන සම්පූර්ණ කරන්න ගිය අවස්ථාවේ, තවත් දරුවෙක් ගැන සඳහනක් අහම්බෙන් කන වැකීම නිසයි.
දුරකථන ඇමතුමක්
වසර ගණනාවකට කලින් තමන්ට කන වැකුණු මේ කාරණය ලුවිස් ගේ මව ලුවිස් ට පැහැදිලි කළා. ඒ කතාවේ ඇත්ත නැත්ත සොයන්න තීරණය කළ ලුවිස් භාරකාරීත්වය සම්බන්ධව කටයුතු කළ අධිකරණය වෙත ගිහින් තමන්ගේ නිවුන් සහෝදරයාගේ ආගිය තොරතුරු ලබා ගත්තා.
දිනක් වැඩ ඇරී නිවසට එන විට, ජේම්ස් ස්ප්‍රින්ගර් ව අමතන ලෙස ලුවිස් ට කිසිවෙක් දන්වා තිබුණා.
දුරකථනයෙන් ස්ප්‍රින්ගර් ව ඇමතූ ලුවිස් ට “ඔබ මගේ සහෝදරයා ද?” කියන ප්‍රශ්නය සම්පූර්ණ කරන්නට නොහැකි වුණේ ඇමතුමේ අනෙක් පසෙනුත් එම ප්‍රශ්නයම නැගුණු නිසයි.
හමු වීම
දුරකථන ඇමතුමෙන් දින හතරකට පස්සේ සැතපුම් 45 ක දුරින් සිටි සහෝදරයින් දෙදෙනා එකිනෙකා මුණ ගැසුණා. තමන් ට වගේම අනෙකාට ත් නියපොතු සපන නරක පුරුද්දක් වගේම දරුණු හිසරදයකුත් ඇති බව අසා සිනාසුන නමුත්, ඔවුන් විශ්මයෙන් විශ්මයට පත් වුණේ තවදුරටත් තොරතුරු හුවමාරු කර ගන්නා විටයි. කොටින්ම ඔවුන් දෙදෙනාම නිවාඩුව ගත කරන්න තෝරාගෙන තිබුණේ “florida” වෙරළ තීරයමයි.
පර්යේෂණ
නිවුන්නන් පිළිබඳ ඒ වන විටත් පර්යේෂණ කරමින් සිටි මිනිස්සුන්ට විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විද්‍යාඥයන් කණ්ඩායමක් තමන්ගේ පර්යේෂණ වලට දායකත්වය දක්වන්නට ජිම් සහෝදරයන් ට ආරාධනා කළා. 1979 සහ 1999 අතර කාලයේ පින් සහෝදරයන් වගේම උපතේදී වෙන් කෙරුණු නිවුන් යුගල 137 ක් යොදා ගෙන ඔවුන්ගේ මානසික ශාරීරික සමානතා පිළිබඳ පර්යේෂණ ඉදිරියට දියත් කෙරුණා. අතිශය සමාන ජානමය සාධක එවැනි අසාමාන්‍ය සමානකම් වලට හේතු වෙන බවත්, බහුතරයක් එලෙස වෙන්වී වැඩුණු නිවුන්නන් ගේ වෙනස්කම්වලට හේතුවී තිබෙන්නේ බාහිර පරිසර සාධක බවත්,නිගමනය කෙරුණා.
****
හමු වීමෙන් වසර කිහිපයකට පස්සේ, ජේම්ස් ලුවිස් ඔහුගේ දෙවැනි බිරිඳ වුණු බෙටී ගෙන් දික්කසාද වුණා. තුන්වැනි වර “සැන්ඩි” නැමති කාන්තාව සමඟ විවාහ වුණු ලුවිස් ගේ විවාහ උත්සවයේ දෙවන මනමාලයා ලෙස ස්ප්‍රින්ගර් සහභාගි වුණා. ඒත් ස්ප්‍රින්ගර්ට නම් තවත් සැන්ඩි කෙනෙක් හමු වුණු බව වාර්ථා වල සඳහන් වෙලා නැහැ.
මූලාශ්‍ර : https://ceotudent.com , https://worldation.com
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.