කොළුවාගේ හනුමා වන්නම (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගිනි තැබීමට කාන්තාවන් බොහෝ දක්ශතා දක්වනවා නොවේද….?
ටිකෙන් ටික ඔබ හමුවට වඩාත් උද්වේගකර ස්වභාවය වැඩි කතා වස්තූන් ගෙනහැරපෑමට අවශ්ය බව ලැබෙන ප්රතිචාරයන් ගෙන් පෙනීයන බැවින් එම ඉල්ලුමට සාපේක්ෂව ඕනෑතරම් සැපයුම් ලබාදීමට ජීවිතයේ අත්දැකීම් ඇති බව සතුටින් දැනුම් දෙමි..
බියගම ප්රධාන තුන්මන් හන්දියේ සිට බටහිරට කිලෝමීටර් 5.5කුත් කැලණිය පුදබිමේ සිට කිලෝමීටර් 5.7 ක් නැගෙනහිරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදු භූමිය මැදින් දිවෙන මාර්ගයේ සපුගස්කන්ද පොලිසිය ලඟ සිට කිලෝමීටර් 3.1 යන අක්ශාංශ දේශාංශ වල මධ්ය ලක්ෂයේ පිහිටා ඇති කැලණිගම් මිටියාවතේ එක් සොදුරු ගමක් වන පට්ටිවිල ග්රාමය මා හපන්කම් පෑ උපන්ගම වශයෙන් සිතියම් ගතවත්, භූවිෂමතා ලක්ෂණ අතින් දකුණින් කැලනි නදියත් ඊසාන දෙසින් පුරන් කුඹුරු යායත් බටහිරින් මෑතකදී ප්රසිද්ධ වූ බොල්ලෑගල මානෙල්වතු පංසලත් වශයෙන් දැක්විය හැක..
⁣ක්රි:ව 2000ත් 2001 ත් අතර වූ මෙම සිදුවීම අදටත් කැලනිය පොලිස් ස්ථානයේ ලිඛිතව සදහන් පුරාවෘත්තයකි… ඔබ බියගම කොළඹ ප්රධාන මාර්ගයේ ගමන් කරන්නේනම් ගමන්විස්තර මීට ප්රථම ලිපියක දක්වා ඇත..
ඒ අනුව දැනට ජලපිරිපහදු භූමියක් වන සිද්ධියට අදාල ස්ථානයේ දැන් ජලපොම්ප ස්ථානගත කර ඇත… එකල එම භූමිය අදටත් ඇති බෝධිවෘක්ෂය හැරුණුකොට කැලණි ගඟ අද්දර මුඩුබිමකි..
අප ගමෙහි සිට තොටලග දක්වාත් අනෙක් පැත්තට කඩුවෙල දක්වාත් වෙළෙද ද්රව්ය මිලදී ගැනීම සදහා පොළක් නොවූ අතර එහි අවශ්යතාවය කලක පටන් ගමටම දැනුන අඩුපාඩුවකි… ඇතැමෙකු පෙරකී භූමියේ හිසට ඉහලින් ඉටිකොලයක් ඇද යම් යම් දේ ඉදහිට අලෙවි කල අතර වළන් ලොරියක් පොල් ලොරියක් ආ විට නැවැත්වූයේද මෙහිය…මෙම කාල වකවානුවේදී එකී අවශ්යතාවය මුදුන්පමුණුවා ගනු වස් ගමෙහි සමෘධි සමීතියත් සිවිල් සමිති කිහිපයක් හා දේශපාලන මැදිහත් වීමක්ද සහිතව ප්රාදේශීය ලේකම් කාර්යාලයේද සහයෙන් පොළක් ඉදිකිරීමට සැලසුම් කලේ ප්රධාන මාර්ගය අසල වීම නිසාත් හොද වෙළෙද මර්මස්ථානයකට කදිම ගැලපීමත් හේතුවෙනි..
ඒ අනුව ගමෙහි සියල්ලෝ රැස්වී පහසුවෙන් සපයාගත හැකි කහඋණ බම්බු සිටවා පොල්අතු සෙවිලි කොට හරස් අතට දිගැති තීරු 5 කින් සමන්විත කඩ 250ක් පමණ ඇති සුවිශාල මනස්කාන්ත පොළක් ඉදිකර මාර්තු මාසයේ අග සතියේදී සුභ මොහොතින් විවෘත කිරීම කුඩා අපටත් පුදුමාකාර සතුටක් විය… මාගේ පියානන්ද ඉරිදා දිනයේ පමණක් තිබූ එම පොළෙහි කෙසෙල්කැන් කඩයක් ඇරඹූ අයුරු මට අද මෙන් මතකය…
සතියේ විවේක දිනය වූ ඉරිදා දින හිමිදිරියේ පටන් කෙසෙල්කැන් එල්ලා, පොල් ගොඩගසා, එළවළු බක්කිවල පිලිවෙලට අඩුක්කර, විවිධ අරුමෝසම් බඩු ප්ලාස්ටික් බඩු සිත්ගන්නා ලෙස වැල්මාලාවන් සේ දමා ඇති පොළ, පසෙකින් පෙනෙන කැළනි නදියත් සමඟ දර්ශනීයව දිස්විය… උදෑසනම පොළ ඉදිරිපස ඩේවිඩ් මහප්පාගේ කඩයේ ටක ටක ටක ටක සුරූ……..ස්…. තේ ගසනා ශබ්දය අසමින් සීනිමිශ්ර පැණියේ ගිල්ලවූ විස්කිරිඤ්ඤා රස බැලූ හැටි… කොතරම් සුන්දර අතීතයක්ද….. ගමෙහිත් පිටගම්වල අයත් නිවසට අවශ්ය දෑ ගෙනයාමට ටිකෙන් ටික සේන්දු වී පොළ භූමියම කාර්යබහුල විය….
“ආ එන්ඩ අලලූණු ලාභෙටටට
ආ එන්ඩ නෝනා පලාගන්ඩ එන්ඩ පලාගන්ඩ එන්ඩ….
අන්…නාස්සේ…….අන්නා…සේ……. පොළකට ආවේනික වූ සෑම ශබ්දයක්මත් තුනපහ,මිරිස්,කහ ඇතුළු කුළුබඩු සුවදත් කරවල ගඳත් නාස්පුට විටෙක දවාලයි වටෙක හකුළුවයි…..
කෙසේ නමුත් මාර්තුඅග සහ අප්රේල් මුල පළමු අන්තර් මෝසම් වැසි නියමිත කාලයට සක්රීය නොවීම නිසා කාලගුණය බෙහෙවින් වියලි විය එබැවින් වහලයට සෙවිලි කල පොල් අතුත් සිටවූ උණබම්බුත් දැඩි ලෙස වියලී කරකුට්ටම් වී ගොස් තිබිනි… අප්රේල් 11 අවසාන සිංහල හිංදු අළුත් අව්රුදු පොළ අවසන් වීමෙන් පසුව පොළ භූමිය පාළුවට ගොස් හුදකලා වී බල්ලන්ගේ වාසස්ථාන බවට පත්වී අනෙක් සතියේ දින 6 ආකාරයෙන්ම දිස්විය…
සිංහල හිංදු අළුත් අව්රුදු අපටත් පුදුමාකාර සතුටක් ගෙනා උත්සවයයි.. පසු කලෙක දැන් දක්වා පෞද්ගලිකව මා සමරන විශාලම උත්සවය වෙසක් උත්සවයයි… අළුත් ඇදුමින් සැරසුන සම වයසේ අය ගම පුරාම රස්තියාදුවේ ඇවිදීමත් සූදූවට ඉමහත් ප්රසිද්ධියක් ගෙනෙන අප ගමෙහි තැන තැන කැටපලවල් වල බෙලි උළුක් කරගෙන ජිරාෆ් බැලුම් හෙලීමත් රතිඥ්ඥා දැල්වීම හා ගහමරා ගැනීමත් සුපුරුදු දසුන්ය…
තාත්තා සිල්ලර කඩ හිමියෙක් බැවින් මා හට “පිංගොනා පුපුරණද්රව්ය බලපත්රයක්”විය.
හිතේ හැටියට පොලොවේ ගසන විට පුපුරන චීනපටස්, අධික ශබ්දයක් එන තුන්හුලස් හැඩයක් සහිත බට්ටා, මෙන්ම කිරිහට්ටියක් මෙන් එක බංඩලයක කරල් 100ක් වූ රතිඥ්ඥා රෝල්ද, නිලාකූරු, අහස්කූරු ,
බඹර චක්ර, මාහට හිඟයක් නොවීය…
අද මෙන්ම, තිබෙන ආකාරයට නොව අමුතු ආකාරයට ඕනෑම දෙයක් අත්හදා බැලීමේ කඩප්පුලි දක්ෂතාවය නිසා දෙකට බෙදී චීනපටස් වලින් ගහ ගැනීම, අහස්කූරු බිමදිගේ යැවීම හෝ ඉරටුව කඩා පත්තුකර බැලීම, රතිඥ්ඥා කරල හිල් පොල් කටුවේ ගසා පත්තු කර
“ප්ටුස් හුඤැස් පොඃ ශබ්දය හා බට්ටා කරල පත්තුකර බැරල් එකක හෝ බෝක්කුවක් තුල දමා එහි ගැඹුරු “බු..ම්…ම්ම්ම්ම්……” ශබ්දය අසා බැලීම ආදී තෝමස් අල්වා එඩ්සන් බල්බය සොයාගැනීමේදී අසමත් වූ වාර ගනනට වඩා වාර ගනනක් අසමත්වීම් මධ්යයේ මා අත්හදාබැලීම් කර ඇත….
අදාල දිනයේද එක් සාක්කුවක චීනපටස්ද, අනෙකෙහි රතිඥ්ඥා කරල්ද පුරවා අහස්කූරු කීපයක් පිටෙහිද ගසාගෙන ගමවටා සවාරියට රම්බෝ මෙන් සන්නද්ධව සුදානම් විය.. පොළභූමියට මෙහා පිට්ටනිය ආසන්නව ඇළ කන්ඩියේ නතර වී රතිඥ්ඥා කරල දල්වා පුපුරන්න ආසන්න වනතෙක් අතෙහි තබාගෙන සිට එක් වරම ඇළට විසිකල විට යන වේගයට ගොස් දිය යටදී “බොඃ” ශබ්දයක් නැගී මඩ කැලැත්තෙන හැටි බලා එම වින්දනය අවසන් වූ පසු පොළ භූමිය පසුකර ගඟ අසබඩට සේන්දු විය…
සමවයසේ වූ “උක්කු” නැමති පාසලේ එකම පංතියේ යහළුවෙක්ද එහිදී මට එකතු විය.එක පංතියේ සමවයසේ බැවින් එක වල්ලේ පොල් බව අමුතුවෙන් කිවයුතු නොවේ.. අප දෙදෙනාම ගිනිකෙළි වලින් එක එක කෙළි කරන්නට විය… උස්වූ ගඟඉව්රේ සිට යවන අහස් කූරු රූ……….ශ්………ඩොං…………
ගා පුපුරන දෙස බලා සිටීම සැබවින්ම මනස්කාන්ත දසුනකි. ඒවායේ රාත්රියේදී මෙන් ආලෝක රටා නොවූවත් නයාගියා මෙන් ඇදවෙවී ගොස් ජලතලය මත පුපුරා යයි… ඉරට්ට කැඩූ අහස්කූරු රූ……ශ් බුර්ර්ර්……පුශ්ෂ්…ර්ර්..
ගාමින් පිස්සු කෙලින්නට වීම අපූර්වයි…
පහල ඉව්රේ ගඟට සමීපව පිට ගමක හතර පස්දෙනෙක් බෝතයකුත් තබාගෙන අව්රුදු සමරමින් සිටි අතර අප දෙදෙනාගේ ගිනිකෙළි සංදර්ශන නැරඹූ ඔව්න්ද “බලපන්කො අරුන් දෙන්න ගන්න ආතල් එක” කිය කියා ස්වකීය කටයුතු පාඩුවේ කරගෙන ගියේය.. අහස්කූරු ගඟේ ජලතලය මත වැදී නිමෙන බැවින් අප දෙදෙනාද ටිකෙන් ටික පස්සෙන් පස්සට ගොස් මිනින්දොරුවන් මෙන් දුර මනිමින් වැඩය ජයටම කරගෙන යන ලදි…
එසේ යැවූ එක් අහස්කූරක් බිම දිගේ ගොස් ගුවන්ගතවී ගඟ අසල බක්මී ගසෙහි වැදී වැලමිට වංගුවක් ගෙන කෙලින්ම පොළමත වූ පොල්අතු වහලය මත පතිතව ⁣”බොඃ” යන බොල් හඩින් පුපුරා ගියේ පොල්අතු කැඹලි කිහිපයක්ද සීසීකඩ විසිර යවමිනි… දුර විනිශ්චය වැරදි බැවින් අපි නැවත ගඟ අසලට ගොස් අහස්කූරු යවන විට හිටිඅඩියේ………..ම්………… මොකද්දෝ කර ගඳක් නාස්පුඩු වලට දැනෙන්නට විය… උක්කු හෝ මා හයියෙන් කෑගැසුවේද නැති බැවින් වයර් පිලිස්සෙන්නේ කාගෙදැයි හැරී බැලූ විට……අහෝ…….
සිරියහන ගිනිගනී හෝ සළුපට අහසට නොව සබඳ පොළ ගිනිගනී ගිනිදැල් අහසට….. සුළඟ හමන දිශාව පටන් ගන්නා පැත්තේ කෙලවරේ කඩයෙන් ඇරඹි ගින්න එක් තප්පර දහයක් ඇතුලත පෙට්රල් යොදා ඇවිලුවා මෙන් හෝ..හෝ….ස් ගා අග්නිජාලාවකින් ප්රදේශයම වැසී යන්නට විය… උක්කුත් මමත් කරකියාගත නොහැකිව ගල්ගැසී ගින්න දෙස බලා සිටියදී මට පෙර සිහියට එළැබි උක්කුවා මාද එතැනම දමා පැන දිව්වේය..
ජීවිතයේදී මා සමඟ ගේම් දෙන්නට ගිය බොහෝ උන් මා තනිකර දමා පැන දිවීමේ පුදුමාකාර වාසනා ගුනයක් මට ඇත..
මමද එනපොට හොද නැත අවබෝධවීමත් සමඟ දුවන්නට පය ඔසවන්නට හැදුවා පමණි පහල මත්පැන් බොමින් සිටි හතර පස්දෙනාම දුවවිත් මා බදාගත්තේ.. “බුදු මල්ලියේ දුවන්ඩෙපා අපි ගිනි තිබ්බා කියල ගමේ උන් අපිව මරයි..” කියමින්ය.. ඔව්න් සිතුවා නිවැරදිය ගින්න දුටු බොහෝ අය ඒ දෙසට දිව ආවේ අතට හසුවන දෙයත් රැගෙනය…
ඒ අතර මාපියානන්ගේ මිතුරෙක් වූ ඇන්ටනි මහත්තයා නම් අයෙක් අප සිටි දෙසට පොල්ලකුත් රැගෙන “මුං තමා ගිනිතිබ්බේ” කියා දිව එන විට මා බදා සිටි උන් මරබියටම මා අතහැර දැමීය ඒ අවසරයෙන් ඉස්සරහට පැන්න මා.. “ගහන්ඩෙපා ගහන්ඩෙපා මහත්තයයියෙ මා අතින් ගිනි ගත්තෙ” කියා ඔහුව බදාගත් නිසා ඔහුටත් කරකියා ගත හැකි දෙයක් නොවී මාද ගසා දමා අතට හසුවූ උණ බම්බුවකින් කඩ පේලියක් කඩා ගින්න පැතිරීම වලක්වන්නට දැඩි උත්සහයක් දැරීය…
වාල්මිකීගේ රාමායනයේ හනුමා ලංකාද්වීපයම සිය නැට්ටෙන් ගිනි තබන්නට ඇත්තේ මෙසේ විය නොහැකිද..? අද මා හනුමා වී ඇති අතර වෙනසකට ඇත්තේ නැට්ට වෙනුවට අහස්කූරක් භාවිතයත් රට වෙනුවට මගේ පස්සා පැත්ත ගිනිගැනීමත්ය.
ගමේ සියළු දෙනාම එකාවන්ව එකතුවී ගින්න නිවීමට ගඟෙන් වතුර පනිට්ටු ගෙන උත්සාහ කලද එයින් පලක් නොවූ බැවින් සියළු දෙනා උත්සාහය අතහැර දැමීය… මාපියානන්ගේ නාමයෙන් කිසිවෙකු හෝ මට අත නොතැබූ අතර ඒවනවිට දනිස්දෙක නොව සර්වාංගයම ගැහෙමින් දියෙන් ගොඩදැමූ මාළුවෙක් මෙන් සිටි මා මහත්තයා අයියා විසින් නිවසට ඇරලවා සිදූවීම පියානන්ට විස්තර කිරීමේදී….
ඇවිලුනු ගිනිදැල්… නිවි නිවී යා…ද්දී…… මට හමුවූවා…….හ්..
චටාස්….පටාස්….ඩොං…. ඒ ඇසෙන්නේ අව්රුද්දට පත්තු කරන රතිඥ්ඥා ශබ්දය හෝ රබන් හඬ නොව මා පියානන් මාගේ පිට පලන හඩයි…… මද වේලාවක් නිදහසේ කෑමට දීමෙන් අනතුරුව මහත්තය අයියා විසින්ම වෙහෙසකර වෑයමකිනි මා ගලවා ගන්නා ලදි…..
කඩ දෙකක් තුනක් හැරෙන්නට අනෙක්වා සියල්ලම පාහේ ගින්නෙන් අළුවී ගිය අතර පොළෙහි මස්කඩයේ මස් කපන කොටය කාගේවත් කරදරයක් නැතුව දින දෙකක් පමණ ඔහේ දුම් දදා පිච්චි පිච්චී තිබුනි…
නීතිය හමුවේ මා වැරදිකරුවෙකු වන කිසිදු අවස්ථාවක දඩුවම දෙගුන කිරීමේ සහය මිස මාගේ පාර්ශවය නොගන්නා බවට මා පියානන් මට කුඩාකල පටන් කරන සිහිකැදවීමකි… ඒ අනුව ගමේ දන්නා අදුනන අයත් සමඟ පොලීසියට ගොස් පැමිණිල්ලට අදාල කටඋත්තර ලබාදෙන ලදි…
” බාලවයස්කාර පාසල් සිසුන් දෙදෙනෙකු අතින් අත්වැරදීමකින් සිදුවූ අනතුරක්..”
ලෙස පොලිස් පොතෙහි නොලිය වෙන්නට……….
රාජ්ය දේපල ගිනිතැබීමේ වරදට අද මෙම කතාව ලියන්නේද පරිවාස භාරයේ සිට වන්නට ඉඩ තිබුනි….
ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීද කරුණුවිභාගයක් සිදුකොට සිදුවීම සමතයකට පත්වී අදාල ලේකම්වරයා මා සහ උක්කුවා කැදවා…
“මොකද කරන්නෙ.. දැන් ඉතිං වෙච්චි දේ උනා.. අපි පොළ ආයි ගොඩ නගමු නේද පුතාලා….. දෙන්නත් එක්ක හොදට ඉගෙන ගන්න දැන්වත් දුරදිග කල්පනා කරල මීට පස්සෙ පරිසමින් වැඩ කරන්න..” ආදී වශයෙන් අවවාද රැසක් ලබාදී… “මොකද කියන්නෙ.. පොළ හදමුද..?”
“හී….හදමු…” අප දෙදෙනාම එක්වර අහිංසක සිනහවකින් පිලිතුරු දී නිවස කරා පිටත්විය…. පියානන් විසින් මාගේ “පින්ගොනා පුපුරනද්රව්ය බලපත්රය” අවලංගු කරන ලදි…
හැදුන පොලක් නැත… තැනින් තැන කඩයක් දෙකක් අටවා ඇතමෙක් දෙදෙනෙක් වෙළෙදාම් කලත් සාර්ථක නොවීය… අතපසු වීමකින් උවත් සිදුකල වරද මට මහා සිත් වේදනාවක් ගෙනදුන් බව අවංකව ප්රකාශ කරනු කැමැත්තෙමි…
එයින් වසර හය හතකට පසුව…… දිවිනැගම ව්යාපෘතිය යටතේ අප ගමට සිමෙන්තියෙන් ඉදිකර දේදුනු හැඩයෙන් නැමූ අමානෝ තහඩු වහලයට යොදා ෆයිබර් එළවළු බක්කිද සහිත සුපිරි තත්වයේ නවීනම පොළක් ඉදිවූ අතර…. එය දැනුත් පිරිසිදුව විරාජමානව එමස්ථානයේ පිහිටා ඇත..
එයට අමතරව ඉතාමත් හොදම තත්වයේ ක්රීඩාපිටියක්ද ගමට හිමිවිය… නමුත් එම ක්රීඩා පිටියේ හරකුන් විසින් හෝ කෑමට නොගන්නා උල් උල් රටතණකොළම සිටවීමට අදාල ව්යාපෘතියභාර ආයතනය තීරණය කලේ මන්දැයි මට අදටත් ගැටලුවකි…. මෙය කියවන ඇතමෙක් එහි දිවාරාත්රී සැහැල්ලු පංදු තරඟ වලට පවා සහභාගී වී තිබෙනවා වියහැක…
ගමේ මළගෙදරක නිදිවර්ජිත අවස්ථාවක..
“කොළුවො.. තෝ ගමේ පොළත් ගිනිතිබ්බා නේද..?” ඇතමෙකු උපහාසාත්මක හඬින් ඇසූවිට පෙර නිහඬව සිටි නමුත්
“අනෙ පලයන් යාන්..ඩ… මං ඕක ගිනි නොතිබ්බ නම් තොපි තාම අර උණබම්බු ගහපු පොල්අතු යට හොරොව්පතාන පැත්තෙ හද්ද ඩොටේ එවුන් වගේ බිම දාගෙන එලෝළු විකුනනවා… පිං දීපිය මට පිං..පිං….. ඔහොම සුපිරි පොළක් තොපිලට දකින්නවත් හම්බුනේ මං නිසා..” කියා සිංහනාද කිරීමට දැන් පසුබට නොවේ….
සැබවින්ම එතැන පොල්අතු පොළක් වූයේ නම් එස්ලෝන්බට කනු යෙදූ ටකරන් මඩු මිස මෙවැනි සුපිරි පොලක් ගමට හිමිවීමේ වාසනාව ගිලිහී යනු ඇතිබව මගේ මතයයි… ඉදින් මම ගමට කලේ ඉමහත් සේවයක් නොවේද…?
පොඩ්ඩා කොළුවා යනු ගමක් ගිනිතැබූ නමක් බව කියාපෑමට මේ එක් උදාහරණයක් පමණි..
මෙම කතාව සත්යම කතාවක් බවට ඔබ දන්නා හදුනන ඒ ප්රදේශයේ ඕනෑම අයෙක්ගෙන් අසා සාක්ෂි මගින් සහතික කරවා ගැනීම ඔබට බාරයි…
හනුමා වන්නම කෙසේද..?
මෙයත් යුගල කතාවක එක් කතාවකි… අනෙකත් ඕනෑමද..?
                                                                    මූලාශ්‍රය:  Hilarious රස කතා
                                                                                     Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!