මතකයක සුවදක් දිගේ (කෙටි කතාවකි)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්තෝප්පුවේ තබා ඇති හාන්සි පුටුවේ දිග ඇදී සිටි සමන්තා උණු නෙස්කැෆේ කෝප්පය තොල ගාමින් අදුර දෙස බලාගත්වනම උන්නාය. අධික කාර්යබහුල සති කිහිපයක් ගත කර නිවාඩුවට ආ ඇය මෙවන් නිස්කලංක, නිහඩ මොහොතක් ගෙවන්නේ මතක ඇති කාලයකිනි. එයද ඇය ළමා විය ගත කළ ඇගේ සොදුරු මතක රැසක් රැගත් බිමකය.
————————–
විශ්රාම ගැනීමෙන් පසු කොළඹ නිවස විකුණා රඹුක්කන මහ ගෙදර සම්පූර්ණයෙන් ප්රතිසංස්කරණය කර එහි පදිංචි වීමට තමා තීරණය කර ඇති බව ඇගේ අයියා වන ජයන්ත රළපනාව පැවසුවේ ස්කයිප් ඔස්සේ ඇය හා කතා කරමින් සිටි වේලාවකය. එවලේ ඇයට දැනුණු සතුට තවමත් සමන්තාට සිහිවේ. මවගේ වියෝවෙන් පසු පාලුවට ගිය මහගෙදර මැරෙන්නට පෙර එක් දවසක් හෝ ගත කරන්නට අලුත් බලාපොරොත්තුවක් සිතේ පීදුණේ ඒ කතාව සමගය.
අයියා දක්ෂ වාස්තු විද්යාඥයෙකුගේ සහාය ලබාගෙන ඉතා අනර්ඝ ලෙස කාර්යය නිම කර ඇති බව ඇය දුටුවේ පෙරේදා මහ ගෙදර වත්තට ඇතුළු වන විටමය. කෝරළේ වලව්වේ පෞරාණික පෙනුම එළෙසින්ම රැකගෙන නවීකරණය කරන්නට කටයුතු කර ඇත්තේ සිංහල උළු වහලයද එළෙසම තබාය. ගෙයි ඇති කුඩා කාමර කිහිපයක බිත්ති කඩා විශාල කාමර තනා ඇති අතර නාන කාමර සියල්ලට අලුත් උපාංග සවි කර උණු ජලය සපයා ඇත. කුස්සියට යාබද ගබඩා කාමරයක් නවීන පැන්ට්රියක් බවට පත් කර ඇත්තේ නෑනාගේ ප්රයෝජනයටය.
බොල් වී ගිය පැරණි බිත්ති සියල්ල නැවත පිළිසකර කර සුදු පිරියම් කර තිබේ. ඇයගේ පැරණි කාමරයට පිටතින් ඉස්තෝප්පුවක්ද අලුතින් එක් කර පිටතට යාමට දොරක්ද දමා ඇත. ඒ ඇය ලංකාවට පැමිණි විට නැවතීමටය.
ලලිත් හා ඇය ලංකාවට පැමිණෙන සැම විටම කොල්ලුපිටියේ මහල් නිවාසයේ හෝ වෙනත් නගරයක නම් හෝටලවල නතර වන්නේ නෑයින්ගේ නිවෙස් වල නැවතී ඔවුන්ගේ නිදහසට බාධා නොකළ යුතු බව ලලිත් තරයේ අදහන බැවිනි. කුඩා කළ සිට ඕස්ට්රේලියාවේ වැඩුණු ලලිත් එසේ සිතුවත් ආතක් පාතක් නැති එවුන් සේ එලෙස හෝටල්වල නැවතීම සමන්තාගේ රදළ සිතට මදිකමකි. මේ කුඩා ඇනෙක්සිය ඇය වෙනුවෙන්ම සාදා ඇත්තේ එය අයියාටද ලැජ්ජාවක් බැවින් විය යුතුය.
—————————–
ඇය මෙම දෙසැම්බරයේ තනිව ලංකාවට ආවේ ලලිත්ට මෙවර නිවාඩු ලබාගැනීමට අපහසු වී බැවිනි. මේ සති තුන ඇයට රිසි පරිදි නිදහසේ ගත කළ හැක. ඊයේ දිනය මහගෙදර සුදු වැලි මිදුල පාගමින්, අක්කර පහක පමණ වත්තේ ගස් කොළන් අතරේ ඇවිදිමින්, සෝමා උයන මසවුළු කමින් ගත කළ ඇයට සිතුණේ තමන්ට අවශ්ය දේ වලින් සෑහෙන ප්රමාණයක් එක දිනකින්ම ලබාගත හැකි වූ බවය.
අයියා වත්තේ ගම්මිරිස් හා පුවක් අලුතින් ඉන්දා ඇත්තේ ආර්ථික වාසියද අලංකාරයද සැළකිල්ලට ගනිමිනි. අම්මාත් අප්පච්චිත් ඉන්නා කල සිට පවතින ඇට්ටේරියා, සේපාලිකා, අරලිය හා කොබෝලීල ගස් මිදුල වටා මනරම් වියනක් මවන අතර මිදුලෙහි අලුතින් සුදු වැලි ඇතිරීම පමණක් අයියා කර තිබේ. එයින් මැවෙන්නේ සිතට සිසිලද සුවයද ගෙන දෙන නෙත නිවන පියසකි.
————————–
සවස් වරුවේ සමන්තා පන්සලට ගොඩ වැදුණේ නායක හිමියන්ට ගෙනා මල්ටි විටමින් බෝතල් හා ඔලිව් තෙල් කෑනය ලබාදීමටය. ඉතා ගුණගරුක හිමිනමක් වන උන්වහන්සේගේ අල්පේච්ඡ අදහස් නිසාදෝ පසුගිය කාලය පුරාවට පන්සලෙහි වැඩි වෙනසක් වී නැත.
ගල් පඩිපෙළ බසින සමන්තා ආවේ අත් වැට අතින් පිරිමදිමිනි. දහම් පාසල් දැරියක හා ගමේ ප්රධාන දායකයාගේ දියණිය ලෙස මේ භූමිය හා බැදුණු බොහෝ මතකයන් ඇයට තිබේ. සෑම නිවාඩුවකදීම කිසිදු නෑදෑ ගෙදරකට ගොඩවීමට පෙර පන්සලට ඇය පැමිණෙන්නේ ඒ හේතුවෙනි.
පන්සලේ සිට නිවසට යන දුර ඇය ගියේ පා ගමනිනි.
මෙල්බර්න් සරසවියේදී “ප්රොෆෙසර් සෑම්” කියන විට හෝ ලංකාවට පැමිණි විට “මහාචාර්ය සමන්තා රළපනාව” කියන විට නොදැනෙන සතුටක් තමන් උපන් ගමේ මිනිසුන් “සුදු මැණිකේ” කියන විට තවම දැනේ.
ඇය පයින්ම ගියේ දන්නා හදුනන පිරිස හමුවී කතා කිරීමටද ආසාවක් තිබූ බැවිනි. ලලිත් සමග පැමිණි විට මෙන් දහසක් වැඩ රාජකාරි නිවාඩුව මැද්දට දමාගෙන නැති බැවින් තමන්ට වුවමනා තරම් කල් ගමේ ගත කළ හැක.
නිවසේ ගේට්ටුව දෙපස උසැති ගල් කුලුණු මත ඇති වානේ සිංහ රූ තවමත් එළෙසම තිබේ. වසර ගණනාවක් තම සිතේ පවතිනා යමක් ඉටු කරගැනීමට මෙවර කෙසේ හෝ කටයුතු කල යුතු බව සමන්තා නැවත වරක් සිතා ගත්තේ ඊයේ මේ ගේට්ටුව පසු කරද්දීය. නැතහොත් නැවත කිසි දිනක තමන්ට ඒ අවස්ථාව ලැබේද යන්න විශ්වාස නැත.
————————-
අද අයියා හා නෑනා කොළඹ ගිය බැවින් නිවසේ සිටින්නේ ඇය හා සෝමාද සිරිසේනද පමණි. සිරිසේන විදුලි පන්දමත් රැගෙන වත්ත වටේ ඇවිද ඒමට ගියේ මද වේලාවකට පෙරය. තමන්ට අවශ්ය දේ කිරීමට ඔහුද නිදන තුරු සිටිය යුතු බව ඇය දනී. දෑස් පියාගෙන සිටි සමන්තාට රැහැයි හඩද තවත් හදුනාගත නොහැකි සත්ව හඩවල් රැසක්ද ඇසිණි.
සුදු වැලි මිදුල වටා ඇති සේපාලිකා ගස් කිහිපයේ පිපෙන මල්වල සුමිහිරි සුවද දැනෙන්නේ ඇගේ මතකයන් අවදි කරමිනි. බාල වියේ මේ මල් පැදුරුවල වියළා අම්මා කොට්ට සෑදූ අයුරු ඇයට මතකය. ඇගේ පාසලේද පන්සලේද මෙවැනි ගස් බොහොමයක් තිබේ. අර්ජුන හා මතකයද අලුත් වී සිහිවන්නේ ඔහු ගැන සැමරුම් බොහොමයක් සමග මේ මල් සුවදද බැදී ඇති බැවිනි.
———————–
අර්ජුන ගුණවර්ධන පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට තේරුණේ ඇය උසස් පෙළ පන්තියට ඇතුළු වූ වසරේදීය. යොවුන් වියට එළඹුණු සමයේ සිට ඔහු ගැන තිබූ විශේෂ හැගීම ඉටු කර ගත හැකි බලාපොරොත්තුවක් බව ඇගේ සිතට දැනුනේ එයින් පසුවය.
නැතහොත් කෝරළේ වලව්වේ පොඩි මැණිකේට ගමේ සාමාන්ය පවුලක අර්ජුන හා බැදීමට ඉඩක් ලැබීම උගහටය. මවට හා පියාට දැඩි ආදරයක් දක්වන සමන්තා තමන් විවාහ විය යුත්තේ ඔවුන්ගේ කැමැත්ත පරිදි බව කුඩා කල පටන් සිතා සිටින්නියකි. රාජකීය විද්යාලයේ ඉගෙනුම ලැබූ ඇගේ අයියා සමග මිතුරුකමක් නැතත් අර්ජුන ඇගේ මස්සිනා සිසිරගේ සමීප මිතුරෙකි. මස්සිනාද සමන්තාගේ රූමත් නෑනා වන සුමේධාද ඔහු ගැන බොහෝ විස්තර ඇය හා කියති. ගුණගරුක මව්පියන් යුවළකගේ හොද පුතකු ලෙස තමන්ගේ දෙමව්පියන්ද ඔහු ගැන පැහැදීමකින් කතා කරනු සමන්තාට නොයෙක් වර ඇසී තිබේ.
———————————————————————-
ඇය වසර ගණනාවක් මහා දුකකින්ද පසුව එය තුනී වි ගිය පසු සියුම් ශෝකයකින්ද සිහි කරන ඒ කතාවෙහි හැරවුම් ලක්ෂය එළඹුණේ අසූ අට වසරේ වෙසක් පෝ දිනයේය.
සරසවියේ සිට පැමිණ සිට අර්ජුන ඇගේ නෙත ගැටුණේ පඩිපෙළ පාමුල පොඩි හාමුදුරුවන් සමග කතා කරමින් සිටියදීය. ඇය සමග සුමේධාද සිටි අතර ඔවුන් හා සුහදව කතා කළ ඔහු වඩා කඩවසම් වී ඇති බව සමන්තාට බැලු බැල්මට පෙනුනි.
ඒ ගැමි තරුණයෙකු සරසවි මානවකයකු බවට පෙරළීමේදී සතුවන නව පෞර්ෂයෙන් එකතු වන පෙනුමය.
එදා බොහෝ වාරයක් ඔහුගේ දෑස ඔවුන් ලුහු බැදි බව ඇයට පෙනුණී. ඇයට සුමේධාට හෝ එය කියන්නට ඉඩ නොලැබිණි. ඊළග දිනයේද ඔවුන් පන්සල් ගියේ සතියක් උත්සව තිබුණු බැවිනි. සුමේධා එදා නොපැමිණි බැවින් ඇයට තනිව එහා මෙහා යන්නට සිදුවිය.
එදා ඇය මල් මට්ටියක් සකසන අතුරතුර ඔහු එතැනට ආවේ අහම්බයෙනි.
“අද සුමේධා නැද්ද නංගි”
“නෑ අයියා, හොස්ටල් එකේ භක්ති ගීත තියන නිසා අක්කා යනවා කිව්වා”
“නංගී දෙයක් දෙන්න තියෙනවා ගෙදර යන්න කලින්”
කුමක්දැයි අසන්නට නොලැබුණේ ඇගේ දිවග වියළී තිබුණු බැවිනි. එවිටම ඔහුට කවුදෝ කතා කළ බැවින් ඒ සොදුරු මොහොත එතැනින් නිමා විය.
තවත් මද වේලාවකින් ඇයට පිටත් වන්නට වූයේ අම්මාට හා අත්තම්මාට නිවසට යාමට වුවමනා වූ බැවිනි.
ඇය පිටත් වන විට ඈතින් හිද බලා සිටි ඔහු ඔවුන් පසුපස ආවේ පාපැදියෙනි. ඔවුන් පසුකර යන්නට ගොස් පාපැදියෙන් බැස්ස ඔහු එවලේ දැක්කා මෙන් අගවා අම්මා සමග කතා කරමින් ඉදිරියට යන්නට වූ අතර සමන්තා මදහස සගවා ඉදිරිය බලා ඇවිද ගියාය.
අම්මා ඔහුගෙන් සරසවියේ විස්තර අසමින් පැමිණි අතර ඔවුන්ගේ ගේට්ටුව ළගට පැමිණි පසු ඔහු සමුගත්තේ අත්තම්මාටද අම්මාටද පහත් වී ආචාර කරමිනි. කුඩා කල සිට ඔහුට ඉතා ප්රිය කළ අම්මා ඔහු සරසවියට තේරුණු පසු කමිස රෙදි හා කලිසම් රෙදි අඩංගු තෑගි පාර්සලයක්ද රැගෙන ඔහු බැලීමටද ගිය බව සමන්තා දනී.
සමන්තා ගෙදරට යන අතර මගදී හැරී බැලුවේ ඉවෙන් මෙනි. අර්ජුන දකුණු ගේට්ටු කණුවට අත තබා ඉහළට එසවී ඒ මත ඇති ලෝහ සිංහ රුවේ කටට අතේ තිබූ සුදු පැහැති යමක් දමා ඇයට එය ගන්නා ලෙස අතින් සන් කළේ ඒ අවසරයෙනි. ඒ මොහොතේ තමාගේ යොවුන් සිතට දැනුණු ප්රහර්ෂයත් ඉහ වහා ගිය සතුටත් ඇයට අද මෙන් සිහි කළ හැක.
———————-
සමන්තා ඒ ලිපිය රැගෙන කියවා පිලිතුරු ලියූ බවත් එයින් පසු ඔවුන්ගේ ප්රේමය මල් පළ දරා වැඩුණු බවත් ලියන්නට තිබුණා නම් මේ කතාව බොහෝ සුන්දර වනු ඇත.
නමුත් ජීවිතයේ කතාවල සිදුවීම් එළෙස සරලව, සුමටව සිදුවන්නේ නැත.
කෝරළේ වලව්වේ සුදු මැණිකේට තනිව ගේට්ටු කණුවට නැග ලිපිය ගත නොහැකි බව අර්ජුනට සිතන්නට තිබිණි. ඇයට රාත්රියේ තබා දිවා කාලයේ පවා ගේට්ටුව අසලට තනිව යන්නට නොලැබුනේ අම්මා හෝ මැගිලින් රැකවළට පැමිණි නිසාය. දින ගණනාවක් ගේට්ටු කණුව දෙස අනිමිස ලෝචනයෙන් ගත කළද ලිපිය ගන්නා ආකාරයක් ඇයගේ සිතට ආවේ නැත.
අවසානයේ ඇය සිතුවේ බාල වියේ සිට තම සිතේ ඇති සියල්ල බෙදා ගන්නා සුමේධා අක්කාට සියල්ල පවසා ඇගේ අදහස් විමසන්නටය.
කෑගල්ලේ කන්යාරාමයේ නේවාසිකව උගන්නා සුමේධා අක්කා නිවාඩුවට ගෙදර එනතුරු ඇයට ඉවසා සිටින්නට සිදුවිය. මේ අතර රටේ විවිධ අදුරු සිදුවීම් වූවත් ඇය ජීවත් වූ සාමකාමී ගම්මානයට එහි බලපෑම් එතරම් දැනුණේ නැත.
කෙදින හෝ අර්ජුන හා තමන් විවාහ වී දරුවන් ලද පසු පියා තමන්ට පළමු ලිපිය දුන් ආකාරය ගැන කියා දරුවන් හා සිනාවෙන්නට පවා මේ අතරේ තමා කල්පනා කළ බව සමන්තාට මතකය.
රටේ දේශපාලනය ආණ්ඩුව ගැන සමන්තාට එකලද කිසිදු උනන්දුවක් තිබුණේ නැත. රට තුළ කලබල ඇති වුවත් ඇගේ ජීවිතයට එයින් මෙතෙක් බලපෑමක් වී තිබුණේ නැත.
කුළුදුලේ පෙම් කරන ඕනෑම යුවතියක මෙන් සමන්තාද මායාමය සිහින ලෝකයක සැරසරමින් ඒ මාසය ගෙවා දැම්මාය.
———————————————–
සමන්තා අම්මා තැනූ රුලං අලුවා පාර්සලයක්ද ගෙන මැගිලින් සමග වතු මැදින් සුමේධාගේ නිවසට පිටත් වූයේ සුමේධා නිවසට පැමිණීයේ යැයි ආරංචි වූ දිනට පසුදින උදෑසනය.
නැන්දලාගේ නිවසට ආසන්න වන විට සමන්තාගේ පය පැකිළුණේ ගෙතුළින් ඇසුණු හඩ නිසාය. සැමදාම වැඩිහිටියකු, ශක්තිවන්තයෙකු ලෙස ඇගේ සිතේ රැදී සිටි සිසිර අයියා ඉස්තෝප්පුවේ පඩියක වාඩිවී ඉකි ගසමින් හඩන බවද නැන්දාද සුමේධාද ඔහු අසලින් නැගී සිට කදුළු සලන බවද ඇය දුටුවේ ගෙට ගොඩ වන විටමය.
එවිට හෝ තමන්ගේ සිහින ලෝකයද දෙපා මුල කඩා වැටීමට ආසන්න බව සමන්තාට සිතුණේ නැත.
නන්නාදුනන්නන් විසින් කදින් වෙන් කළ අර්ජුනගේ හිස පේරාදෙණියේ අල්විස් පොකුණ ළග තිබී හමුවී ඇති බවට සිසිරගේ මිතුරකු පැමිණ කියූ බව ඔවුන් අතරින් කවරෙකු පළමුව කීවේද යන්න පවා ඇයට අදද සිහි කළ නොහැක.
ගමට පහනක් මෙන්වූ යහපත්, උගත් තරුණයකු අකාලයේ මිය යාම ගමටම හැඩීමට කාරණයක් බැවින් ඇය හඩා වැටීමද එතැන අරුමයක් වූයේ නැත. සමන්තාට ගෙදර ඒමට පය ඔසවා ගත හැකි වූයේද තවත් සෑහෙන වේලාවකට පසුවය. මැගිලින් සමග ඇය හඩමින්ම නිවසට ආ අතර තම නිවසේද එදා බත වත් නොපිසුණු බව ඇයට මතකය.
—————–
රටම ගිනි ඇවිලී ඔවුන්ගේ තරුණ කාලය මහා බියකින් ගත කිරීමෙන් අනතුරුව සමන්තා රුසියාවේ මිත්රත්ව සරසවියට ඇතුළු වූයේ ශිෂ්යත්වයකිනි. එයින්ද පිටවී ඔස්ට්රේලියාවේ ආචාර්ය උපාධිය හදාරන තුරු ඇය ප්රේමයක පැටළුනේ නැත.
පෙම් වදනක් හෝ හුවමාරු නොවුණද ඇය තම සිත අර්ජුන වෙනුවෙන් වෙන්කර තිබීම එයට හේතුව විය. තමන් හා එක්ව පර්යේෂණ කටයුතු වල නිරත වූ ලලිත් ප්රනාන්දුගේ යෝජනාවට බොහෝ කලකට පසු ඇය කැමති වූයේද ඔහුගේ දෑසේ හා කතා විලාසයේ අර්ජුනගේ සේයාවන් රැදී තිබූ බැවිනි.
ඇය ඔහුටවත් තමාගේ ළබැදි කිසිවකුටත් අර්ජුනට තමා පෙම් කළ බව හෝ ඔහුගෙන් ලද කියවා ගත නොහැකි වූ ලිපිය ගැන කියා නැත. එය ඇගේ සිත තුළ සැමදාම රහස් මංජුසාවක දමා රැකි මහා වස්තුවක් ලෙස ඇය සැළකුවාය.
පාසල් වියේ ඔහු යන එන මග බලා සිටි අයුරු, ඔහුගේ නිවස පසු කර යන සැම විටම ඔහු සිටින්නේදැයි දෑස් දල්වා බලා සිටීම ඇරුණු කොට ඒ ආදර කතාවේ ඇයට සිහි කර රස විදිය හැකි මතකයන් බොහොමයක් තිබුණේද නැත.
නමුත් තනිවූ බොහෝ වේලාවල සමන්තා ඒ සිහි කළාය. පන්සලකට ගොඩවැදුණද ඔහුද සිහි කර පින් පෙත් දීමට අමතක නොකළාය.
—————–
විවාහ වී මෙල්බර්න් නුවර පදිංචි වූ පසු ලංකාවට ඒමට ලැබුණේ පතිනියක ලෙස වසර ගණනකට වරක් සති කිහිපයක නිවාඩුවට පමණි. ඒ ආ කිසි අවස්ථාවක ඇයට ගේට්ටු කණුව පිරික්සන්නට ඉඩ ලැබුණේ නැත. වසර දහයකට පමණ පෙර අම්මාගේ අවමංගල්යයෙන් පසු මහගෙදර පාලුවට ගිය අතර ඇතැම් විට ලංකාවට ගියත් ඇය ගමට ගියේ පවා නැත.
අර්ජුනගේ ලිපිය තවත් එහි තිබේද කියා හෝ ඇය දැන සිටියේ නැත.
මෙවර ලලිත් නිවාඩුවට නොයන බවද තමන් මහගෙදර නවතින බවද තීරණය කළ වහාම සමන්තා අදිටන් කර ගත්තේ තම හිතට සහනයක් ලැබීමට කෙසේ හෝ අර්ජුනගේ ලිපිය එහි තිබේ නම් ගත යුතු බවය.
——————-
සිරිසේනද පැමිණ ඇයට පවසා මුර මඩුවට ගොස් තවත් වේලාවක් යන තුරු සමන්තා නිහඩව සිටියාය. රෑ කුමාරි හා සේපාලිකා මල් සුවදින් පරිසරය පිරී තිබේ. ඇය ඇද සිටි පිජාමා කලිසම හා අත් දිගු කමිසය පසා කරගෙන යන්නේ සුවදායී සීතලකි. ඇය සෙමින් ගබඩා කාමරයට ගොස් හකුළන ඉනිමග ගත්තේ අසල කාමරයේ නිදා සිටින සෝමා අවදි නොවන පරිදි ඉතා සීරුවෙනි.
එහි පසෙක තිබූ අයියගේ රබර් අත් වැසුම් යුගලද ගෙන ඇය සෙමින් ගේට්ටුව දෙසට ගමන් කරන්නට වූයේ දුරකථනයේ විදුලි පන්දම යොදාගනිමිනි. ඉනිමග සෑහෙන බරින් යුතු වුවද යෝග ව්යායාම වල නිරත වන සමන්තාගේ කායික යෝග්යතාව ඉහළය. ඇය ගේට්ටුව අසල නැවතී ඉණිමග බිම තැබුවේ හතියක වත් නොහෙළමිනි.
ඉණිමග සකසා නැගි ඇය සිංහ කටට අත දැමුවේ සීරුවෙනි. දශක තුනකට කිට්ටු කාලයක් එකතුවූ මකුළු දැල් හා දුඹුලු එහි පිරී තිබේ. පොලිතින් පැකට්ටුව ඇගේ අතේ ගැටුණේ දෙවන වර දුඹුලු ඉවත් කිරීමෙන් පසුවය.
එය රැගෙන ඉණිමගෙන් බැසි සමන්තා වහා නිවසට පැමිණ ඉණිමගද අත්වැසුම්ද නිසි තැන්වල තැන්පත් කළාය.
අත් සෝදාගෙන කාමරයට ආ ඇය වෙව්ලන අතින් ඉටි කවරය විවෘත කළේ දොරද අගුල් දැමීමෙන් පසුය. මෙතෙක් කලක් මෙය මෙලෙස රැකි තිබුණේ පොලිතින් කවරය නිසා බව ඇයට සිතිනි. එය අවපැහැව තිබුණද ඉරී හෝ නොමැත.
ශීලාචාර ගැමි තරුණයකු වූ අර්ජුනගේ පළමු ලිපිය ඉතා සංවර එකක් වනු ඇති බව ඇය දනී. ඇතැම් විට එහි ඇත්තේ “නංගී මට ඔයා ගැන අදහසක් තියෙනවා.” යන්න පමණක් විය හැක.
නමුත් එය හෝ කියවා ගැනීමට තමාට ශක්තියක් තිබේදැයි ඇදේ ඉදගත් සමන්තා කල්පනා කළාය.
වසර තිහකට ආසන්න කාලයක් මේ ලිපියේ මොනවා තිබෙන්නට ඇත්දැයි කුකුසෙන් ගත කළත් දැන් එය කියවීමට සිත පැකිළේ.
ඉටි කොළය ගලවා ඇය අර්ජුන නැවූ ෆුල්ස්කැප් කොළය මත ලියා තිබූ අකුරු වෙත නෙත යොමු කළ් තවත් බොහෝ වේලාවකට පසුවය.
ඒ අකුරු කියවූ පසු සමන්තාගේ කන් අගුලු වැටුණු බවත් දෑත් සීතල වූ බවත් ඇයට එක්වරම දැනිනි.
මහා ලැජ්ජාවකින්ද කම්පාවකින්ද ඇය හදිසියෙන් ලියවුණු ඒ ඇද සිංහල අකුරු දෙස බලාගත්වනම උන්නාය.
“සමන්තා නංගී, මෙහි ඇති ලිපිය සුමේධාට දෙන්න”
    මූලාශ්‍රය:  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!