තාමත් තනිකඩද?
ආදරය ලබන්න බැරිද?
බලාපොරොත්තු වන ආදරය ලැබෙන්නෙ නැද්ද?
අද කතා කරන්නෙ ආදරය ගැන.
මේ ලෝකෙ ඉපදී සිටින හැම කෙනෙක්ම ලෝකෙට වටිනවා. ඔබ හිතනවා තමන් ලස්සන නෑ කියල. අනිත් අයට වගේ තමන්ට ආදරය උරුම නෑ කියල. නමුත් ඒක සිතුවිල්ලක් විතරමයි. ඔබටත් ආදරය උරුමයි. ඔබ කළු කෙනෙක් වෙන්න පුළුවන්. සුදු කෙනෙක් වෙන්න පුළුවන්. උස කෙනෙක් වෙන්නත් පුළුවන්. මිටි කෙනෙක් වෙන්නත් පුළුවන්. මහත කෙනෙක් වෙන්නත් පුළුවන්. කෙට්ටු කෙනෙක් වෙන්නත් පුළුවන්. කොයි වගේ කෙනෙක් වුණත් ඔබ ලෝකෙට වටිනවා. ඔබ රසට කෑමක් හැදුවොත් අනිත් අය ඒක රසවිඳිනවා. ඔබේ රැකියාවෙන් ඔබට වැටුපක් ලැබෙනවා. මේ හැම තැනදීම ඔබ ලෝකයත් එක්ක මුසු වෙනවා.
දිගින් දිගටම ආදරයෙන් පරාජය වූ කෙනෙක් හිතනවා තමන්ට ආදරය උරුම නෑ කියල. ඇත්තටම එහෙමද?
ධණාත්මකව හිතන ගැහැණු ලමයෙක් ඉන්නවා. ඇය කැමැති තමන් වගේ හිතන පිරිමි ලමයෙකුට. ඉතින් එහෙම කෙනෙක් දැක්කොත් ඇය ඔහුව Follow කරනවා. ඔහු ගැන හොයනවා. තමන්ගෙ ආකල්ප වලට ගැලැපෙන කෙනෙක් දැක්කොත් ඔහු හෝ ඇය ගැන කෙනෙක් විමසිලිමත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔබ ගැනත් එහෙම විමසිලිමත්ව කී දෙනෙක් බලාගෙන ඉන්න ඇද්ද? නමුත් ඔබ බාල බොළද විරහ ගීත අහන කෙනෙක් නම්, පවුල් අවුල් ගැන හදපු බාල වර්ගයේ ටෙලිනාට්‍ය බලන කෙනෙක්නම් ඔබට හරියන ආදරයක් ලැබුණත් ඔබට ඒක පේන්නෙ නෑ. මොකද ඔබ Focus කරන්නෙ බිඳවැටීම්. ඔබ හිතනවා “සමාජය විශ්වාස කරන්න බෑ” කියල.
ඔබ ආදර යෝජනාවක් කළ පමණින්ම කෙනෙක් ඔබට කැමැති වෙන්නෙ නැහැ. ඔබ හිතනවා “ඇයි එයා මට කැමැති නැත්තෙ” කියල? විශ්වය ක්‍රියාත්මක වෙන්නෙ යම්කිසි රටාවකට. ඔබ කැමැති වුණත් අකැමැති වුණත් ඔබට ඒකට යටත් වෙන්න වෙනවා. විශ්වය ඔබට ටිකක් දෙනවා. ඔබ එයට දක්වන ප්‍රතිචාරයට අනුව ඉතිරි කොටස දෙනවාද නොදෙනවාද කියල තීරණය වෙනවා. ඔබේ අනාගත පෙම්වතා/පෙම්වතිය ඔබට මුණ ගැහෙන්නෙ වෙනස් චරිතයකින්. සමහර විට බස් එකේදි ඔබ එක්ක එක ආසනයෙ වාඩිවෙලා යන කෙනා ඔබේ අනාගත උරුමකරුවා/උරුමකාරිය වෙන්න පුළුවන්. ඔබෙන් පාර අහන කෙනා, එහෙමත් නැතිනම් ඔබේ නිෂ්පාදනයක් හෝ සේවාවක් මිලදී ගන්න ඔබේ ව්‍යාපාරික ස්ථානයට එන කෙනා ඔබේ අනාගත පෙම්වතා/පෙම්වතිය වෙන්න පුළුවන්. ඔබේ ෆේස්බුක් පෝස්ට් එකකට වෙනස්ම විදියෙ ප්‍රතිචාරයක් දක්වන කෙනා ඔබේ අනාගත උරුමකරුවා/කාරිය වෙන්න පුළුවන්. ඔබ හිතනවා ඔබට උරුම කෙනා එක්වරම පෙම්වතෙක්/පෙම්වතියක් විදියටම ඔබට මුණගැහෙන්න ඕන කියල. නැහැ ඔබේ උරුමකරු/කාරිය ඔබට මුණගැහෙන්නේ වෙනස් චරිතයකින්. ඒ ගැන අවබෝධයක් නැතිනම් ඔබට මුණගැහෙන බොහෝ අය ඔබට මඟහැරෙනවා. ඔබට ටිකක් ලැබෙනවා. නමුත් ඔබ සියල්ලම එක්වර ගන්න උත්සාහ කරනවා. ඒක විශ්ව නීතියට පටහැනියි.
ඔබ අතීතයේ විඳපු දුක් වේදනාවන් නැවැත නැවැත විඳිමින් ඉන්න කෙනෙක්නම් අද වෙනස් වෙන්න. මේ මොහොතේම වෙනස් වෙන්න. අතහැර ගිය අය අමතක කරන්න. ඔබව ප්‍රතික්ෂේප කරපු අය අමතක කරන්න. ඔබ හිතන්න ඔබේ උරුමකරුවා/කාරිය ලෝකයේ කොතැනක හෝ ඉන්නවා කියල. ඔහු/ඇය ඔබ ගැන හිතමින් ඉන්නවා කියල හිතන්න. ඔහු/ඇය ඔබට මුණගැහෙන බව විශ්වාස කරන්න. ඔහු/ඇය සමඟ මනසින් කතා කරන්න. මේක ෆැන්ටසියක් නොවෙයි. බලාපොරොත්තු වෙන්න. එදාට ලබන ආදරය අද මනසින් අත්විඳින්න. ඒ ගැන විශ්වයට ස්තූති කරන්න. අතීත වේදනා කටු ගොඩේ හිරවෙලා ඉන්නෙ නැතිව ඔබේ හදවත ආදරයෙන් පුරවාගන්න. හැම කෙනෙක් එක්කම ආදරයෙන් දයාවෙන් කතා කරන්න. අනවශ්‍ය මානය, අහංකාරකම පැත්තකට දාල හැමෝම එක්ක සුහද වෙන්න. නමුත් අභිමානවත් කෙනෙක් වෙන්න. අරමුණක් ඇතිව වැඩ කරන්න. ඔබට ඔබ බලාපොරොත්තු වන ආදරය අනිවාර්යයෙන්ම ලැබේවි.
ඔබට ගැලැපෙන ආදරය ඉක්මනින්ම ලැබේවා කියල මම ඔබට හදවතින්ම සුබ පතනවා
උපුටා ගැනීම : නුවා-Nuwa