අප කවුරුත් දන්නා සාපේක්ෂතාවාදයේ පියා ලෙස හදුන්වන ඇල්බට් අයින්ස්ටයින් ගැන, ඔහුගේ අමතක වීම් ගැන හාස්යජනක කතා ගොඩක් අහල ඇති. විහිලු තහලු කරමින් සරල ජීවිතයක් ගත කර ඔහු භෞතික විද්යාවට කල සේවය නම් සරල නැහැ.
භෞතික විද්යාවේ වඩාත්ම ජනප්රිය සමීකරණය වන ශක්ති සමීකරණය, E=mc2 සොයාගත් පුද්ගලයාත් ඔහුයි. ප්රකාශ විද්යුත් ආචරණය සොයාගැනීම සඳහා ඔහු නොබෙල් සම්මානයත් දිනා ගත්තා. ඔහු ජීවිතකාලය පුරාම විද්යාවේ දියුණුවට මහත් සේවයක් කල විද්යාඥයෙක්.
මේ තරම් බුද්ධිමතෙක් වූ අයින්ස්ටයින් උන්මත්තක විලාසයෙන් දිව දික්කරගෙන සිටින ලෝකප්රසිද්ධ වුණු ඡායාරූපය ඔබ මින් පෙර දැක ඇති. නමුත් එය පිටුපස ඇති රසවත් කතාව නම් අහල නැතුවැති.
20වන සියවසේ පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද හොදම ඡායාරූපයක් ලෙස සලකන මෙය Wacky Einstein Tongue Photo, A Timeless Tongue යනාදී නම් ගණනාවකින් හැඳින්වෙයි. මේ ඡායාරූපය ගනු ලැබුවේ 1951 වසරේ මාර්තු 14 දින එනම් ඔහුගේ 72 වැනි උපන්දිනය දවසේ.
ඔහු එදින පැවති තම උපන් දින සාදයට සහභාගි වී ප්රින්සෙන්ටන් සරසවියෙන් බැහැරව යමින් සිටියා. ඔහු එදින සාදය තිබූ නිසා සිටියේ මදක් වෙහෙසෙන්. ඔහු වාහනයට නැග පිටිපස අසුනේ සිටි, ප්රින්සෙන්ටන් සරසවියේ උසස් අධ්යයනයන් පිළිබඳ අංශයේ හිටපු ප්රධානියා වුණු ආචාර්ය Frank Aydelotte සහ ඔහුගේ භාර්යාව වන Marie Jeanette අතරින් අසුන් ගනු ලැබුවා. එමෙන්ම වාහානයෙන් පිටත අයින්ස්ටයින් සමග කතා කිරීමට, ඡායාරූප ගැනීමට, ඡායාරූප ශිල්පීන් හා මාධ්යවේදීන් සිටි නමුත් ඔවුන් සමග කතා කළ හැකි තත්ත්වයක් අයින්ස්ටයින්ට තිබී නැහැ. ඡායාරූප ශිල්පීන් අයින්ස්ටයින්ගෙන් සිනාමුසු ඡායාරූපයක් ගැනීමට උත්සහ කරත් එය තරමක් අපහසු වුණා. අයින්ස්ටයින් මේ අවස්ථාවේදී එක්වරම මදක් කෝප වූ ආකාරයෙන් හැසිරුණු අතර එකවරම ඔහු කළේ ඡායාරූප ශිල්පීන් දෙස බලා දිව දිගු කර, එසැණින් ඉවත හැරීමයි.
UPI පුවත් සේවයේ Arthur Sasse එසැණින් ඒ නිමේෂය තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමත් වුණා.
පසුදින තමන්ගේ විසුළු ඡායාරූපය පුවත්පත්වල පළ වී තිබෙනු දැක අයින්ස්ටයින් කෝපයට පත් නොවුනු අතර එම ඡායාරූපයට ඔහු ප්රිය කර නිසා UPI පුවත්සේවයට කතා කර, එම ඡායාරූපයෙන් පිටපත් 9 ක් ඉල්ලා සිටියා. ඒවා තමාගේ සමීප මිතුරන්ට ද යැව්වා. ඡායාරූපයේ මුල් පිටපතේ Aydelotte මහත්මා හා ඇයගේ භාර්යාවද සිටින නිසා ඔහු සිටින කොටස පමණක් ඔහු විසින්ම කපා වෙන් කරගනු ලබනවා.
එදා පටන් දිගු කාලයක් ඉක්ම ගියත් මේ ඡායාරූපයට තිබූ ජනප්රියත්වය අඩු නොවුනු අතර 2017 වසරේ මේ එක් ඡායාරූපයක් ඇමරිකානු ඩොලර් 125 000 කට වෙන්දේසි වී තිබුණා.
උපුටා ගැනීම : Nivarthana Gamage