-සමාජ සේවය- (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න ඉතින් ඒ ලෙවල් කාලෙ මට හිටියා හෙන ලොකු ඉත්තෑවෙක්. (පස්ස පැත්තේ)මට ඒ කාලෙ හරිම මේනියාව අනුන්ට උදව් කරන්න. පුදුම උණක් තිබ්බෙ. තරුණ ජවයනෙ ඉතින් ඒ කාලෙ ඉහටත් උඩින්. හත් පොලේ ගාගත්ත අවස්තා එමටයි ඉතින් සත්ව කරුණාව පෙන්නන්න ගිහින්.
ඒ ලෙවල් කාලෙ ක්ලාස් තියෙන හැමදාම ඉතින් මහ පාන්දර ඉඳන් ගෙදර අමු යුද්ධෙ. මට ක්ලාස් දවසට වට පිටේ ගෙවල් වල මිනිස්සුත් ඇහැරගෙන. ඇයි? ක්ලාස් යන්නද? නෑ නෑ හත්තිලව්වෙ… එලාර්ම් එකට වඩා හයියෙන් කෑ ගහන අම්මගෙ කටේ සද්දෙට.
කොච්චර නසරානි දුවෙක් එයාට හිටියා උනත් ඉතින් ක්ලාස් අරන් යන බත් එක ලෑස්ති කරලා දෙන්න නම් අම්මා අමතක කරන්නෙ නෑ. පාන්දර 3.30 ඉඳන් ඇහැරගෙන උන්දැ මට ගෙනියන්න බත් තම්බනවා.
ඈලි මෑලි වෙවී නැගිටගන්න මම වරුවක් විතර ලෑස්ති වෙලා අන්තිම මොහොතෙ තමා ස්ටේශමට දුවන්නෙ. අම්මේ ඉතින් මගෙ යාලුවා කොච්චර කලින් ස්ටේශමට ආවත් වැඩක් නෑ මං එනකොට එකියි ඒකිගෙ අම්මයි එක කකුලක් කෝච්චියෙ තියන් තමා මං එනකන් බලන් ඉන්නෙ. හති දාගෙන ඔලිම්පික් වගේ කෝච්චියට දුවලා ගම්පහට යනකන්ම හති අරිනවා.
ඔන්න ඉතින් මං දැන් මේ කියන්න යන දවසෙ යාලුවා නෑ. 6.15 කෝච්චියේ ගම්පහට යද්දි 6.45 ට වගේ ඇති. උදේ කියලා නෑ ඉතින් ක්ලාස් දවසට ගම්පහ කියන්නෙ තනිකර ඔලු ගොඩක්. හැප්පි හැප්පි තමා පඩිපෙල් නගින්නෙ බහින්නෙ. තල්ලු වෙලා ගිහින් පඩිපෙලෙන් බිමට වැටිලා හතර හන්දි කැඩෙයි කියලා පරාන බයෙන් තමා අඩිය තියන්නෙ.
ඔයින් මෙයින් පොරකාගෙන, තැලිලා පොඩි වෙලා ස්ටේශමෙන් එලියට එද්දිම අනේ ඔන්න වැටුනා මෙන්න වැටුනා වගේ ආච්චි කෙනෙක් සල්ලි එකතු කරනවා කෑම එකක් ගන්න කියලා. දැක්කම පපුව හෝස් ගාලා ගියා. හිටගෙන ඉන්න වාරු නෑ. හතරට පහට නැමිලා කුදු වෙලා.
මගේ ඉත්තෑවට ඉතින් ඉන්න බෑ ඔන්න. ගත්ත ස්ත්රී ශක්තිය පපුවට. සෙනඟ මැද්දෙන් ආච්චි ලඟට ගිහින් කන්න ගෙනාපු බත් එක බෑග් එකෙන් අරන් ආච්චිට දුන්නා. ඒක දීලා දණ ගහලා වැන්දෙ නැති ටික විතරයි. පුලුවන් නම් ඒකත් කරනවා.
හම්මේ ඉතින් හිතට දැනෙන ආඩම්බරයක්. ගෙදර ගිය ගමන් හොඳ වැඩ පොතක් හදලා උඩින්ම මේක ලියන්න හිතාගෙන ආපහු හැරුනා.
” මේ හු&@ බත් එකක් දීලා යනවා සල්ලි ඉල්ලුවම “
බුදු අම්මෝ හතරට පහට නැමිලා හිටිය ආච්චි කෙලින් වෙලා මගෙ හතර වරිගෙ අමතන්න ගත්තෙ නැතෑ… කණට මී පැනි සීනිත් එක්ක කලවම් කරලා වක් කරනවා වගේ දැනුනෙ ඒ කියපු වචන සෙට් එක ඇහුනම.
ලැජ්ජාව දෙපිටින් විසි උනේ.. දෙපිටින්. අඩියක් තියන්න උස්සගත්ත කකුල තාම ඉස්සිලා කියලා තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙ. දෙනෝ දාහක් සෙනඟ අත් වලින් කටවල් වහගෙන එහෙට මෙහෙට ගියේ රෙදි ගලවන් නටන එකෙක් දිහා බලන් යනවා වගේ.
ආච්චිව මට පෙනුනෙ මායාකාරියක් වගේ. දෙපයට වාරු ගත්ත මං තිස්තුන් කෝටියක් දෙවිවරු සිහි කරගෙන එතනින් මාරු උනේ පණ එපා කියලා.
වෙනදට බස් එකේ යන මං එදා පයින්ම ක්ලාස් එකට දිව්වෙ බස් එකේ ඉඳගත්තොත් ඒක අද්දන්න කලින් අර ආච්චි බස් එකට නැඟලා බත් එක මගෙ ඔලුවෙ ගහයි කියන බයට.
******************************************
ඔන්න ඉතින් තව දවසක් මං ගියා කඳානට පොඩි වැඩ වගයක් කරගන්න. එතකොට මං ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ. ලොකු ලමිස්සිනෙ ඉතින්. ඔය වගේ ලොකු වැඩ වලට හරි ආසයි. ආසාව තිබුනට මොකෝ තනියම පාරට බැස්සම රෙද්දෙ චූ වෙන තරමට බයයි. කරගන්න ගිය වැඩ ටිකත් ඉවර කරන් බස් හෝල්ට් එකට ආවෙ ආයෙත් ගෙදර එන්න හිතාගෙන.
හා හා පුරා කියලා ස්මාර්ට් ෆෝන් එකක් හම්බුන අලුත ඉතින් ඔය. කක්කුස්සියට යන්නෙත් ඕක අරගෙන ඒ කාලෙ.
බස් හෝල්ට් එකේදිත් මෙලෝ සිහියක් නෑ ගෲප් චැට් කරනවා තනියම හිනා වෙවී. මිනිස්සු බලන් ඇති කියලා ඉඳලා හිටලා මතක් උනාම තමයි දත් තිස් දෙක ඇතුලට දාලා බලියන් ඉන්න කට වහගන්නෙ.
ඔහොම චැට් එකේ ඉන්නකොට ඇහැ කොනින් දැක්කා වයසක සීයා කෙනෙක් බස් හෝල්ට් එකේ ඉඳගෙන දඟලනවා. එවලෙ කුරුණෑගල-කොලඹ සී ටී බී බස් එකක් ඇවිත් නැවැත්තුවා විතරයි අපි ඉස්සරහ. ඔන්න ඉතින් මගේ පඬුපුල් ආසනේ රත් වෙනවත් එක්කම ඉත්තෑවා අවදි උනා. සීයා නැගිටින්න හදනවා ඒත් ඉන්ද වෙනවා. අනේ පව්. බස් එකට නැගගන්න විදිහක් නෑ. මං ඉතින් සිරිමත්ගෙ පොඩි නංගි වගේ සීයව අල්ලගෙන ගිහින් බස් එකට නැග්ගුවෙ කොන්දොස්තරගෙත් උදව්වෙන්. සීයව බස් එකට දාලා හැරමිටියත් අතට දීලා ආපහු හැරුනේ රටක් රාජ්ජයක් ගොඩ දැම්ම මොරාල් එකෙන්..
“තාත්තේ…. තාත්තේ…. ” අපේ අම්මගෙ වයස විතර ඇන්ටි කෙනෙක් බස් එක පස්සෙන් දුවන්න ගත්තෙ මර ලතෝනි දීගෙන. කොහෙ අල්ලන්නද ඒ බස් එක. ඒක යනව පිඹගෙන.
“හෑ….. තාත්තෙ?” බස් එක යන දිහා බලලා ආයෙත් ඇන්ටි දිහා බලන ටිකට මෙන්න එතනම තිබ්බ ත්රීවිලර් එකේ නැගලා කඩාගෙන බිඳගෙන යන්න ගියා.
මාව ෆුල් හොල්මන් වෙලා ගියා උන දේට.
“ඒ සීයව එක්කන් ඇවිත් ඔතනින් ඉන්දලා එයාගෙ දුව බෑග් එක ගන්න ත්රීවීලර් එකට ගිය ටිකට ඔය ලමයා ඒ මනුස්සයව බස් එකට දැම්මා. බස් එකත් එවලෙම ආවනෙ.” ලඟ හිටපු ගෑනු කෙනෙක් ඒ ටික කියද්දි මට දැනුනෙ හුස්ම වෙනුවට නහයෙන් ගින්දර පිට වෙනව වගේ කුජීත හැඟීමක්. ඒ ඇන්ටිත් ඒක එවලෙ කියන්නැතුව මොන ඉටිගෙඩියක් කලාද මන්දා බස් එක යනකන්.
බස් එක ගිය යෑමට කොලඹට යන්න කලින් අර ඇන්ටි බස් එක
අල්ල ගත්තනම් මට ඇති.
ඊලඟට ආව බස් එකේ බෝඩ් එකවත් බලන්නැතුව මං නැග්ගෙ වැරදි එකක නැගලා නම් බස් එකේ ඉන්න මනුස්සයෙක්ගෙන් අහලා මඟින් බහින්න හිත හදාගෙන.
ඇයි දෙයියනේ ඒ වගේ නුවණක්කාර වැඩක් කරාට පස්සෙ මූණෙන් මූණ බලාගෙන තමන් ගැන කසු කුසු ගාන මිනිස්සු ටිකක් ලඟ මේ ලෝකෙ මල යකෙක්ට හිත හදන් ඉන්න පුලුවන් ද මං අහන්නෙ.
    උපුටා ගැනීම :   ✍🏼Madushika Sugandini

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!