ඔන්න බොලේ අද කියාන්ඩ ලකලෑස්ති වෙන කතා පොඩ්ඩ නම් මේ ඇත්තොන්ට නිකන් අල්ලන්නෙ නැති වෙයිද මන්ද. එකේක පලාතේ එකේක නමින් හැදින්වූද පාරේ හක්කලාං කොරන ඔබ කාගෙත් ශ්‍රී මුඛයට නොසරුප් වදන් ගෙන්වමින් ඔබේ ආඝ්‍රාණය නව මානයන්ට දොරටු විවර කළ ඔබත් මමත් මේ කවුරුත් දන්නා ‘ඒක’ ගැනයි අද ඇද බාන හෑල්ල. හැබැයි ආයුබොවන්ඩ මෙ අහවල් සිද්ධි පොජ්ජ මෙ උන්දැලාගෙයි හිනා පොජ්ජ මන්දු කොරාන්ටය විනා මෙමා ගොතා ලියා දුන්නයි කියා හිතා ගනිල්ලකෝ. දැන් ඉතින් මේ උදවිය ඊයා මීයා ගැවට මට කාරි නෑ ඕං. සංසාරේ භවේ දුකා කියල වරෙල්ලකොයි මා පස්සෙන්.
ඉතින් ආයුබොවන්ඩ මං පුංචි සන්ධියේ මට හරීයට ඉහෙන් බහින සත්ත්ව කරුණාව. කරුණාවේ තරම කෙසේදයත් ගෙවල් ළග බළල්ලු සේනාවකට කෑම සලාකෙ බෙද්ද උපාසක මාතාව මමලු. මොකෝ කිව්වොත් මං ඒ කාලෙ හරි බළල් රසිකයා. දැන් වුණත් මගේ අපාය සහයක මිත්‍රවරුන් ” බළලෙක් දැක්කොත් ඇති මුට ඉතින් කිරි එරෙනවනෙ”යි කියපි. කට හම යන්ඩෝනෙ ඕකුන්ගෙ. ඒ කෝමහරි ඒ දවස්වල මගේ මව්තුමී සහ පියතුමා කොහෙත්ම ඔය බළල් ඇයි හොදයියට එහෙමකට මනාපයක් තිබුන්නෑයි ආයුබොවන්ඩ. මොකෝ ඉතින් මුන්දැලගෙ මහ රෑ දෙගොඩහරි යාමෙ “හෑව් හෑව්” ගා කෙරෙන බිළාල සන්නියයි, කෑමෙන් බීමෙන් පස්සේ වත්ත පුරාවට ස්ථානගත කොට තිබෙන නැචුරල් පොහොර දීමනාවයි නිසා අපේ අප්පොච්චාට රතු කට්ට පනිනවා. මුළු මහත් ජාතියම අමතා අවසානයේ උපාසක මාතාවට විශේෂයෙන් දෙන්නා වූ දේශනාවටත් පසුව තමා ඕං එතුමාගේ වත්ත අස් කෙරිල්ලේ ආරම්භය සනිටුහන් වෙන්නෙ.
ඔන්න දවසක් අප්පොච්චා ඔය ජරාව අයින් කොරල තියෙන්නෙ අපෙ අම්මගෙ මල් පාත්තියට කියමුකෝ. මල් ගස්වලට හොද පොහොරක් ලබා දීමේ අරමුණෙන් මෙය සිද්ධ කොරාය කියලයි පසු විමසීමකදි අපිට දැනගන්ට නම් ලැබුණෙ ඕං. කෙසේ වෙතත් පින්පව් එනවා අපි පසු පස්සේ කියාල අපේ ගෙදර වසන පොඩි එකීටත් එදාම මල් පැළයක් හිටවන්නම හිතිලලු. අයියෝ සල්ලි. දැන් ඉතින් මූ ගිහිල්ල හාරනවලු වලක්. අත් දෙකෙන්ම ඔන්න හාර හාර ඉන්නකොට කවදත් හුරුපුරුදු සුගන්ධයක් වහනය වුණාලු. මේ යකා තබේකට ගනන් ගත්තෙ නැතිලු. ටංට ටෑං…. අපෙ අප්පුච්ච්ගෙ පොහොර සලාකෙ බබාගෙ අතේ ගෑවිලා… හූහ්… පව් අප්පා… ඒත් මූ වැඩේ අතෑරියෙ නම් නෑ බොලාන්ට. කොහෙන්දෝ කෝටු කෑල්ලකුත් හොයාන එතනම පහුරු ගාලා වලක් හදාගෙන පැලේ හිටව්වලු. ගේම නම් ගේම. වහලෙ නම් වහල. ආයෙ මුන්දැ නිකං ඉදීවිද? නෑ මයෙ මිත්‍රවරුනි. දැන් ඇරඹෙන්නේ බළලුන්ට විරුද්ධව ගතු කේලම් කියා අදටත් නිම නොවූ බළල් මිනිස් ගැටුමට මග පෑදූ මහා පලිගැනීමේ සමයයි.
ඔය වැඩෙන් පස්සෙ නම් අප්පොච්චාටත් උපරිම මල පැනලලු. “මොන කරුමයක්දැ බොල මේ ? ආයෙ කරහල්ලකො මමත් කොරන්නම් හොද වැඩක්” කියල අප්පච්චිත් ඉන්නවලු අවි ආයුධ අමෝරගෙන. බළල්ලුන්ටත් වෙන වැඩක් නෑනෙ. මුන්ටත් ඕනෙ ඉතින් අපෙ ගෙදරම රිංග ගන්ට.
කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් එන්නා වාගෙ ඔන්න එදා අපෙ අප්පොච්ච්ගෙ දවස. මුළු වත්තම සැණකෙළියේ සද එළියේ ඔමරි ලතාවයි කරල තිබ්බ අපේ බළල් උන්නාන්සේලාට එදා නම් අපේ පියතුමාගෙන් ගැලවීමක් ලැබුන්නෑ ආයුබොවන්ඩ. දැන් මෙ උන්දැලා කියාන එන්ඩ එපා අපෝ සත්ත්ව හිංසනේ කියල නං. කොහොමහරි අපේ පියතුමාගෙ අත් අඩංගුවට බදුන් වෙන්නෙ අපි ‘කටබරියා’ ලෙස හදුන්වපු පූස් තඩියා. ඌ නම් නමේ පරිසමාප්ත ආකාරයෙන්ම කට කමසෙයියාවක්. කොයිවෙලෙත් “මියැව් මියැව්” ගාන මූ හින්ද අපිටත් කනක් ඇහිල ඉන්ට නෑ කියහල්ලකො. බෙල්ලෙන්ම අල්ලගත්තු කටබරියව කුදලන් ගිය අප්පොච්චා උගෙ නහය මුදුනෙම අර ජරාවෙන් බිදුවක් ගා තියව්වලු. හූහ්.. බළලටත් දැන් උපරිම මොංගල්ලු. ඕහ් අප්පොච්චා….. බිග් බ්‍රේන් ආහ් ඔයා.. කන්ට දුන්න අත හපා කෑවම ඔහොම නොවී තියේවියෑ දෙයියෝ.
තවත් සුපින්බර උදෑසනක කුකුළත් අතින් ඇන්න මං ගොඩ බැස්ස ඉස්කෝලෙට. ඔය කාලෙ නම් අපි නමය වසර විතර. ඔයි වෙලේ නං එහෙමකට කවුරුත් ඇවිල්ලත් නෑ. මොකෝ උදේ පාන්දර නොවැ. අපේ පන්තියට යන්ටත් මහගිරි දඹේ යන්නා වාගෙ නගින්ට ඕනැ පඩිපෙල්. මාත් ඉතින් හති හලාන නගින වෙලේ මෙන්න බොලේ පඩිපෙලක් පෙලක් ගානේ ගොම ගෑවිල. අඩේ යප්පා අපෙ ඉස්කෝලෙ කෙල්ලො ටික බලා කියාගන්ට වැටෙන් පැන්න හරකෙක්වත් සෙට් වුණාවත්ද? අම්මෝ කලින් නම් මෙහෙ හරකෙක් හිටියෙ නෑ නොවැ. දැන් මං පඩිපෙලේ එහාට පැනපි. මෙහාට පැනපි. ගොම ගෑවෙයි කියලා බයයිනෙ බොල. ඒ අස්සෙ මට කුලප්පු වෙච්චි හරකෙකුත් පේනව කියහල්ලකො මැවි මැවී. ළගපාත රතු රෙද්දක්වත් නෑ යකෝ හදිස්සියට. කෝකටත් සූදානං සරීරෙ කියල මං දිඩිබිඩි ගාන නගිනවා පඩිපෙල. නගිනවා නෙවේ මං පඩිපෙල උඩ දුවනවා බයට. කෝමහරි දෙයියනේ කියල ඇවිදින් පන්තියේ. අඩෝ ! ගොමවල අයිතිකාරයා පන්තියෙ නොවැ. මේන් අපෙ පන්තියේ එකියක් ඩෙස් එකක් උඩ ඉදගෙන සපත්තුවෙ ගෑවුණ ගොම වගයක් පිහිනවා. අම්මෝ මට දැන් උගුර අස්සෙන් ‘හික්’ ගෑවෙනවා. කොහොමහරි හිනාවත් තද කොරාන මං බලාන හිටියයි කියමුකෝ. මාර අප්‍රප්භ්‍රංසයයි. ඒ අස්සෙ අරකිත් දැන් ලැජ්ජාවෙ රතූ වෙල ඇඹරෙනවා. කටහැකර මෙ උන්දැ ඔන්න සිද්ධිය කියාපි මට. මූ උදේ පාන්දර පාර දිගේ ඇවිදන් එනකොට බස් එකට නගින්ට ලස්සන කොල්ලෙක් හිටියලු.
ඒ අස්සෙ ඈතින් බස් එකකුත් එනවලු. දැන් ඉතින් ෂුවර් ඇන්ඩ් ෂොට්. අර කොල්ල නගිනවනෙ ඔයි බස් එකට. මේකිටත් දැන් ඒ අසරණයා පස්සෙ එන්ට ඕනෙ වෙලා දිව්වලු දිවිල්ලක් පාර දිගේ බස් එක අල්ලගන්ට. මුගෙ සිහියෙ තරම කොච්චරක්ද කියනවනම් දිව්ව දිවිල්ලෙ හැටියට මූ ගිහිල්ල ‘තොග් ‘ ගාලා ගොම ගොඩක් උඩලු. රූං ගාලා ලිස්සුවත්ලු. චාටරේ කෙසේදයත් කොල්ලා පවා දැක්කලු මුන්දැ ලිස්සනවා. ඒ උන්දැටත් පණ යනකං හිනාලු. මුළු කාන්තා පාර්ශ්වයටම නව නිංගිරාවයි. මේ මනුස්සයත් ඉතින් මුකුත් නොවුන ගානට කකුලත් ඇද ඇද ඇවිල්ල ගොඩ වුණාලු බස්සෙකට. පව් ඉතින් උන්දැත්. ඒත් ලැජ්ජයි ලැජ්ජායි සහෝදරවරුනි. දැන් බලාන්ට ආදරයක් වෙනුවෙන් ලබපු චාටරේක මහත. ඒක කොච්චර බලවත්ද කියනවනං ඔයි අහවල් ආදරේ කෑදරේ ලකුණු අපෙ පඩිපෙල් උඩ පවා. ඕක දැක්ක මිනිස්සුයි අහපු මිනිස්සුයි ඉතින් අපෙ පොරට පින් දීල ටිකට් නැතුව පික්චරයක් බැලුවයි කියලයි ආරංචිය. හරි හරි කමක් නෑ බම් දුකක් නෑ.
චතුරිකා අබේසේකර