කැම්පස් චිම්පන්සියා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඕනම කෙනෙක්ගෙ ජීවිතේ සුන්දරම පරිච්ඡේදයක් තමා විශ්වවිද්යාල ජීවිතය කියන්නෙ. ඒ කාලෙදි වෙන අමතක නොවන සිද්ධි ඉහේ කෙස් ගානට ඇති. මේ පොටෝ එක දැක්කම ඔය පොටෝ එක ගහලා විනාඩි පහකින් විතර මට වෙච්ච කුජීත සිද්ධියක් මතක් උනා.
අපි රුහුණෙ දෙවන වසරෙ ඉද්දි ලෙක්චර් මුකුත් තිබ්බෙ නැති වෙලාවක මොකක් හෝ නොවැදගත් හේතුවක්ට ජිම් එක පැත්තට ආවා. මට හරි හැටි මොකටද ආවෙ කියල මතකයක් නෑ. හැබැයි ඇති වැඩකට නම් නෙමේ. රුහුණ විශ්වවිද්යාලයට ඇවිල්ලා තියෙන කෙනෙක් දන්නවා ඒක ලංකාවෙ ලස්සනම කැම්පස් වලින් එකක්. ලංකාවෙ අග්රගණ්ය ගෘහනිර්මාණ ශිල්පියෙක් වන ජෙෆ්රි බාවා මහතා තමා එය සැලසුම් කරල තියෙන්නෙ. දැන් සාමාන්යයෙන් අපි ගෙයක් හදද්දි මුලින්ම ඉඩම බැකෝ කරලා ගල් ඒම තියේ නම් අයින් කරල ෆ්ලැට් බිමකනේ අත්තිවාරම දාලා ගේ හදන්නෙ සාමාන්යයෙන්. නමුත් ජෙෆ්රි බාවා රුහුණ විශ්වවිද්යාලය සැලසුම් කරද්දි එක කලු ගලක් එක කන්දක් කපලා නෑ. ඒ කියන්නෙ සමහර බිල්ඩිං තියෙනවා එක කොටසක් කන්ද පල්ලෙහා ඉතුරු කොටස කන්ද උඩ. පඩිපෙලවල්ම ඇති නැගලා නැගලා දනපොල්කටු ගෙවෙන්නම. ලංකාවෙ විශාලම පුස්තකාල වලින් එකක් තියෙන්නෙ රුහුණෙ. ගියපු අය දන්නවා ඒ ගොඩනැගිල්ල මැද්දෙ තඩි කලුගලක් තියෙන්නෙ. ඒක එතනින් අයින් නොකර වට කරලා තමා බිල්ඩිම හදලා තියෙන්නෙ. ඉතිං හරිම සුන්දරයි. කෝමහරි කැම්පස් එක පුරාවටම ඔය වගේ තඩි ගල් තියෙනවා. ඔය අපි ගියපු ජිම් එකට යන පාරෙ දෙපැත්තෙත් ඒමයි ලොකු කලු ගල්.
අපි ඉතිං ඒ තඩි කලු ගලක් උඩ වාඩි වෙලා වල් පල් කියෝ කියෝ අහල පහල ඉන්න ගෑල්ලමයිට රබර් ඇහැ දාගෙන හිටියා. ඒ වෙලේ තමා ඔය සෙල්ෆිය ගත්තෙත්. කතාවෙන් කතාව මම එතන තිබ්බ ෆ්ලැට් කලු ගලක හාන්සි උනා. අනේ එතන තිබ්බ සුලං රැල්ලටයි පරිසරයෙ සිසිල් ගතියටයි මට ශෝක් නින්දක් ගියා. කොච්චර වෙලාවක් ඒම හිටියද දන්නෑ. හැබැයි මම නැගිටිද්දි ඔය මගෙ වටේ හිටපු පජාත අතිජාත මිත්රයො ටික මාව ඇහැරවන්නෙ නැතුව කුපාඩි කමට යන්න ගිහිල්ලා. මරු වැඩේ ඒක නෙමේ. මට ඇහැරුනේ කුචු කිචු ගාලා ඇහිච්ච ටිකිරි හිනා රැල්ලක් නිසා. ඇස් බොඳ ගතිය අඩු වේගෙන යද්දි මට ඉස්සරහින් සුදු පාටින් පේලියක් තියෙනවා වගේ පෙනුනා. තප්පදර දහයක වගේ යද්දි තමා ටිකෙන් ටික දර්ශනය පැහැදිලි වෙන්න ගත්තේ. අහෝ දුකකි! එදාම ඉස්කෝලෙකින් ඇවිත් ලමයින්ට කැම්පස් එක පෙන්නන්න. අනේ මගේ ඉස්සරහම පෝලිමට ඉන්නවා ගෑල්ලමයි වගයක් අතින් කට වහන් කුචු කුචු ගගා හිනා වෙවී හරියට දෙහිවල සූ එකේ චිම්පන්සි කූඩුව ඉස්සරහ ඉඳං චිම්පන්සි ගොනෙක් දිහා බලං ඉන්නවා වගේ. වැඩි වයසක් නැති ටීච කෙනෙකුත් සාරි පොටෙන් කට වහගෙන හිනා වෙවී සංදර්ශනය රස විඳිනවා ඒ අස්සෙ. හිතන්නකො ලමයින්ට කැම්පස් එක පෙන්නගෙන යද්දි පාරක් අයිනෙ ගලක් උඩ පතබෑවෙලා තඩි කබරයෙක් වගේ එකෙක් හොඳට නිදාගෙන ඉන්නවා දැක්කම කොයි වගේද කියලා.
මිත්රවරුණි, මට එ වෙලේ ගණ දෙවි නුවන පහල උනා. ඒ වෙද්දි මම ඇහැ ඇරලා තිබ්බට තාමත් ගල උඩ හිටපු විදියටම බුදි. ඔතන මම නැගිටලා සේප් එකේ මාරු උනා නම් විලි ලැජ්ජාව ගුණ කිරීම
නමසිය හතලිස් පහ වගේ අගයක් වෙනවා. ඒ නිසා මම එහෙම්මම ආයෙත් ඇස් පියාගත්තා. පියාගෙන ගල් පිලිමයක් සේ නොසෙල්වී හිටියා අර ලමයි පෝලිම එතනින් යනකන්ම. උන් ටික ගියාට පස්සෙ පටාස් ගාලා නැගිටලා ගිහිං මාව එතන දාලා ආපු ඒ සොඳුරු මිනිසුන්ට සිංහල සංස්කෘතියේ සුහදම සොඳුරුතම වදන් වලින් ගුණ කථනයක් කලා. උන්ට සතුටු කඳුලු එන්නැති මයෙ හිතේ….
ප. ලි – මේ පෝස්ට් එක දැකලා අර මාව ගල උඩ දාලා ගිය මගේ අසමජ්ජාති යාලුවොන්ගෙ එකෙක් මම නිදාගත්තට පස්සෙ ගහපු පොටෝ එකක් එව්වා. ඔය දෙවෙනියට තියෙන්නෙ ඒක.
උපුටා ගැනීම : Sathsara Jayanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!