මම ආනමඩුවේ ට්‍රේනින් ඉද්දී එහේ ඇන්ටිලාගේ තිබ්බා කුකුල් කූඩුවක්,
ඕකේ හිටියා කුකුල්ලු සෙට් එකක්,
කොහොම හරි මුන් එක්ක ෆාම් කුකුලෙක් සෙට් වෙලා,
ඌ මුන් එක්ක හිටියා ටික දවසක්,
ඊට පස්සේ මැරිලා හිටියා,
මට ඒක මතක් වුණා මේ රෑ ජාමේ,
ඒකේ සිද්ධිය වෙන්ඩ ඇත්තේ මේම,
ෆාම් කුකුලෙක්ගේ දින 51ක සිතුවිලි (සත්‍ය කතාවක් ඇසුරිණි)
දිනය 1
කට්ට කඩාගෙන ආවා අද එළියට,
හොට රිදෙනවා ඉන්ඩ බෑ,
හරිම සැනසීමයි,
මාර සැහැල්ලුවක් දැනෙනවා,
ඒත් කට්ට බින්දේ දෙපාරක් හිතලා,
අපේ අයියෙක් කීවා එහෙම බිඳින්නේ නැතිව එක තීරණේම ඉඳලා දෙතුන් දෙනෙක් මැරිලත් තියනවලු හුස්ම හිර වෙලා,
අම්මෝ…
වෙලාවට මම අමාරුවෙ හරි හිත එකඟ කරගත්තේ.
දිනය 5
පව්,
බඩගිණි වුණ කපුටෙක් කෑම හොයාගෙන පියාඹනවා දැක්කා,
කාලකන්නි ජීවිත,
ඒකට අපිට,
මොනවාගෙන්ද අඩු,
නොමිලේ ඉඳුම් හිටුම්,
නොමිලේ කෑම බීම,
නොමිලේ බේත් හේත්,
ප්‍රවාහන පහසුකම් එහෙමත් දෙනවාලු ඉස්සරහට,
තාමනම් හම්බුණේ නෑ,
ආසයි මං පියාඹන්න,
ට්‍රයි කලා,
ඒත් තාම බෑ,
පොඩි හින්දා වෙන්න ඇති.
අපේ කුකුල් ගෙදරට එහා පැත්තේ දෙහි ගහේ පැනි පැනි කුරුලු පැටව් වගයක් ඉපදිලා බිත්තරෙන්,
උන්ගේ සද්දේ,
උන් තාම පොඩියි.
දිනය 20
දැන් අපේ කට්ටිය අඳුරන්නත් බෑ,
අර කට්ටෙන් ආපු පැටව් ටිකමද කියලා හිතෙනවා,
පැනි කුරුලු පැටව් ඒ සයිස්මයි වගේ තාම,
ඒකට අපි,
බලාන ඉද්දී ලොකු වෙනවා,
කෑම බීම හොඳයිනේ,
බලන්න එපායෑ කට්ටියගේ කටේ සද්දේ,
හැමෝම හරීම සතුටෙන්,
අද පොඩි වලියක් ගියා අපේ දෙන්නෙක්,
ලොකුවටම ඇදුණේ නෑ,
අයියලා හිටපු කූඩුවේ දැන් ඉන්නේ,
අයියලා පේන්න නෑ,
සමහරවිට පියාඹන්න පුරුදු වෙනවා ඇති,
තාම හරියකට පියාඹන්න බෑ,
ලොකු වුණාම පියාඹනවා ඈතට ඈතට,
දිනය 30
කබරයෙක් දෙන්නෙක් ආවා කූඩුවට පනින්න,
අපි ගොඩක් බය වෙලා හිටියේ,
අපිට කෑම බීම බේත් හේත් දෙන මනුස්සයා උන්ව පැන්නුවා,
අපි වෙනුවෙන් මෙච්චර ආදරයක්
මඟුල පියාඹන්න බෑ,
බර වැඩිද
ඩයට් කරන්න ඕනේ
දිනය 40
අපිව බලාගන්න මනුස්සයා ඇවිත් බලලා යනවා නිතරම,
ගනන් කරනවා හැමෝම ඉන්නවාද කියලා,
මේ පව් කාරයෝ වෙනුවෙන් මෙච්චර ආදරයක්
කබරයෝ එයි කියලා වෙන්න ඇති,
මිනිස්සුනම් රත්තරන් මිනිස්සු,
කිසි ලාභ ප්‍රයෝජනයක් නැතුවනේ අපි වෙනුවෙන් මේ කැපකිරීම කරන්නේ,
පව් කියලත් හිතෙනවා,
දිනය 45
හරි අමාරුවෙන් ඉන්නේ,
ප්ලාස්ටික් කූඩුවකට දැම්මා,
දාලා දාගත්තා ලොරියකට,
දැන් අපි සෙට් එකම අරන් යනවා කොහේද,
හුස්ම ගන්නත් අමාරුයි
එන පොට හොඳ නෑ වගේ,
කොහේ එක්කන් යනවාද දන්නේ නෑ.
දිනය 46
ඊයේ ලොරියෙන් බාද්දී අපි ගෙනියපු කූඩුව වැටිලා මට පැනගන්න පුලුවන් වුණා,
නරක තැනකටනම් නෙවෙයි වෙන්න ඇති එක්කන් යන්නේ,
ඒත් එහෙම පැක් වෙලා යන්න අමාරුයි.
දිනය 47
මේ ටිකේ කම්මැලී,
මම කොහේද ගමකට ඇවිත්,
එහේ කුකුල්ලු ටිකක් එක්ක සෙට් වුණා,
මම ෆාම් කියලා ගං එවුන් මාව කොන් කලේ නෑ,
ලොරියෙන් මිස්ටේක් එකක් වෙලා ආවේ කීවාම සමහර ගං කිකිලියෝ පපුවට තටු තියාගත්තා,
අපිව මරන්ඩලු ගෙනියල තියෙන්නේ,
මම ඒත් කිව්වා ඒ රත්තරන් මිනිස්සු එහෙම කරන්නේ නෑ කියලා,
වලි හාමි කුකුලා හොට පැත්තකට කරලා හිනා වුණා,
දිනය 48
මම සුදුයිනේ,
උන් වැඩිපුර ලෙංගතුයි මට,
කෙකරහාමි කෙල්ල කට සැර වුණාට උණුවන හදවතක් තියන කිකිලියක්,
ඒකි දවසක්ම මහන්සි වෙලා පොළොව හාරලා පණුවක් හොයාගෙන කන හැටි,
රෑ නින්ද ගියේ නෑ,
නියපොතුයි හොටයි රිදෙන්න ගත්තා නිකම් කට්ට බිඳන් ආව දවසේ වේදනාව වගේ,
ඒත් පනුවන්ගේ රස,
තාම හොටට කෙල උනනවා,
දිනය 49
මේ ටිකේ හැමදාම අලුත් සිද්ධි,
අද හැකරැල්ලෙක් කැවුණා,
කටම තිත්තයි,
කෙකර හාමි කෙල්ලට හිනා ඒකට,
හවස කෙකර හාමිට කූඩුවේ අනික් කුකුලෝ ගමේ වැල ගමේ ගමේ කුකුලන්ට කියලා අනන්මනන් කියලා,
පව් ඒකි,
මගේ තට්ටට බර වෙලා සෑහෙන වෙලා ඇඬුවා,
කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින්,
ආදරයේ අනුකම්පා….
ඒ සින්දුව ගේ ඇතුලේ රේඩියෝ එකකින් ඇහුණා,
දිනය 50
අද හරිම ලොකු ඔලුවේ කැක්කුමක් ආවා,
ඇයි දන්නේ නෑ,
ඊයේ තෙමුණෙත් නෑනේ,
මොකද දන්නේත් නෑ,
කෙකර හාමි කෙල්ල පේන්ඩ හිටියේ නෑ,
ඇඟේ අමාරුව හින්දා මමත් හොයන්න ගියේ නෑ.
දිනය 51
දෙවියනේ,
කෙකර හාමි කිකිලි අම්මෙක් වෙන්න යනවාලු,
මට ආපු හැඟීම් ගැන කියන්න වචනනෑ,
අපේම කියලා පුන්චි කුකුල් පවුලක්,
අද හරියට කැස්සක් ආවා,
කහිද්දී ලේ වගෙත් ආවා උගුරෙන්,
ඇයි දන්නේ නෑ,
ඔලුවේ කැක්කුම වැඩියි,
බඩ හරියේ තටු ටික ගැලවෙනවා වගේ නිකම්ම,
බේතක් හේතක්වත් ගන්න ඕනේ,
වලිහාමි කුකුලා – “අර අපේ කෙකර හාමි එක්ක රෝන්දේ ගහ ගහ හිටිය පාම් කුකුලා මැරිලා හිටියා”
රන් පිහාටු හාමි – “ඔව් මමත් දැක්කා,
උන් දවස් 45 එවුන්නේ,
අපේ වගේ පණ හයිය නෑ,
දවස් 45 පැන්නාම ලෙඩ ඇවිල්ලා මැරෙනවා පව්”