ඇය යන්නටම ගොසිනි…. (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එවර හිරු රැස් එක එල්ලේම පතිත වූයේ ඇගේ මුහුණ මතටය. තවමත් උදෑසන නිසා හිරු එළියේ එතරම් දැඩි බවක් දකින්නට නැත. විහාරමහා දේවි උද්යානයේ නමක් නොදන්නා, එහෙත් සුවිසල් වෘක්ෂ ලතාවන්ගේ අතු අතරින් පෙරී ආ හිරු රැස්, නොයෙක් රටා මවමින් ඇයගේ මුහුණ මතට වැටී තිබුණි. ඇය හිරු රැස්වලට රිසි සේ සිය මුව ස්පර්ශ කිරීමට ඉඩ හසර ලබාදෙමින් වියනක්සේ හිසට ඉහළින් විහිදී තිබූ ගස් අතු අතරින් අහස සෙවීමට වෑයම් කළාය.
උද්යානයේ සුපුරුදු ගල් බංකුව මත, ඇයට ගෑවෙන නොගෑවෙන දුරිකින් වාඩිවී සිටි මා, මේ මුලු කාලය පුරාම කළේ නිහඬවම ඇගේ වත දෙස බලා සිටීම පමණකි.
කලින් කීමට නොහැකි වීම ගැන සමාවෙන්න…. අද ඇය මේ පැමිණ සිටින්නේ අපේ ආදර කතාවට සමුදීමටය. අද ඇය මේ පැමිණ සිටින්නේ මා හැර දමා යන බව කීමටය. එසේ නම් මා මේ ගෙවා දමන්නේ ඇය අසළ සිටින අවසන් නිමේශය ය.
උදෑසන හිරු එළිය වැටී දිස්න දෙන ඇයගේ මුහුණ දෙස මම තවත් හොඳට බලා සිටියෙමි. ගණන් කළ නොහැකි වාර ගණනක් ආදරයෙන් සිපගත් ඒ මුහුණේ තිබූ හැඟීම අදටත් මට තේරුම් ගැනීමට නොහැක. ගණන් කළ නොහැකි වාර ගණනක් ආදරයෙන් සිපගත් ඒ මුහුණ, අදින් පසුව මා නොහඳුනන, ඒත් ඇය හොඳින් හඳුනන ඒ පිටස්තර මිනිසාගේ දෙතොල් පහසින් විකසිත වනු ඇත.
විප්රයෝගයේ හෝරාව පැමිණ ඇති බවත්, අවසන් වරට ඇගේ මුව සිපගන ඇයට සමුදිය යුතු බවත් ඒ මොහොතේ මගේ සිහියට නැගිණ. ඉතින් මම ඇයගේ මුහුණ මා දෙසට හරවා ගතිමි. සුපුරුදු ලෙසම මා වෙත හැරුණු ඇය හීන්සීරුවේ දෙනෙත් පියා ගත්තාය. අපේ දෙතොල් එකිනෙක ගැටුණු ඒ නිමේශය, ලෝක අවසානයටත් වඩා දිගු විය.
අවසානයේදී ඇය මා හැර නික්ම ගියාය. දැන් ගල් බංකුව මත සිටින්නේ මා පමණකි. හදිසියේ හැමූ සුළඟ නිසා නටුවෙන් ගිළිහුණු මැයි මල් කිනිත්තක් කොහේදෝ සිට පාවිවී විත් ගල් බංකුවේ හරියටම ඇය හිඳ සිටි තැනම පතිත විය. අවසන් වතාවටත් ඇය දැක බලා ගැනීම සඳහා මා උද්යානයේ ඈත කෙළවර දෙස බැලීමි. නැත… ඇය පෙනෙන්නට නැත…. ඇය යන්නටම ගොසිනි….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!