තන්ත්‍රී සහ ට්‍රේනින් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක උනේ එංගලන්තයේ දි. අපි වගේ විදෙස් සිසුන් ට අත යටින් රස්සා දෙන්න නීතියෙන් ඉඩක් නොතිබුණාට එහෙම දෙන්න ඕන තරම් අය වගේම එහෙම කරන ඕන තරම් අයත් ඉන්නවා .ආණ්ඩුවේ සම්මත ගණන පැයට ස්ටර්ලිං පවුම් අටකුත් පැන්ස ගණනක් උනාට , හොරෙන් වැඩ කරද්දි එහෙමත් නැත්නම් කෑෂ් ඉන් හෑන්ඩ් කරද්දි පවුම් තුනයි හෝ හතරයි , හොඳ එකෙක් නම් පවුම් පහක් ගෙවනවා.
අපිට නීත්යානුකූල අවසර තිබ්බේ සතියකට පැය විස්සක් වැඩ කරන්න, නිවාඩු කාලේ නම් සීමාවක් නෑ. ඒත් උනේ අපට හැමදාම නිවාඩු වගේ අපි ෆුල්ටයිම් වැඩ කරලා පාට් ටයිම් ඉගන ගන්න හුරු වෙච්ච එක. ඇපෙන් බේරෙන්න ලෙක්චරස් ගිහින්, ඇටෙන්ඩන්ස් මාකර් එකෙත් කනෙන් රිංගලා වැඩේ කෙරෙනව. වැඩක් සෙට් වෙන්න කලින් හැම විදෙස් සිසුවෙක්ම අනිවාර්යයෙන්ම ගන්න ඕන අංකයක් තියනව. ඒ NI නොහොත් නැශනල් ඉන්ෂූවරන්ස් නම්බර් එක.ඒකට අයදුම් කරන්න ඕන දුරකථන මාර්ගයෙන්, ඒ සඳහාම වෙන් වූ දුරකතනයක් අපිට තිබ්බේ ඉන්ටර්නැසනල් ඔෆීස් එකේ කෙලවරක. එංගලන්තයට ගිහිල්ලා තුන්වෙනි දවසේ මායි තව ලංකාවේ උන් තුන්දෙනෙකුයි ඕං ඒ නයි නම්බරේ ඉල්ලුම් කරන්න ගියා.
ඉස්සරහින් ගිය මං රිසීවරේ කනේ තියන් අංක,තුන ඩයල් කලා. අඩේ . එංගලන්තේ සුද්දෙක් එක්ක පලවෙනි ටැලිපෝං කෝල් එක. සුද්දට ඇඹරෙන්න ටෝක් කරන්න ඕන. මම එහෙම හිතන් දෙන්නම් ජම්බු කියලා ලෑස්ති උනා.
ඒ පැත්තෙන් “හල්ල්ල්ලව්” කිව්ව. මාත් පොල්ලෙන් ගැහුවා වගේ “හලොහ්” කිව්ව.හම්මට කෝමද ගැම්ම සුද්දගේ පලවෙනි බෝලෙටම හයක් ඈ.. මට සන්තෝස හිතුනා. ඊලඟට සුද්ද ආයෙමත් මෙහෙම කිව්වා.
“ආගොන ඈස්ක් යූ ෆි කෙස්චන්ස් .. අ නීඩ එක්සෑ ඉන්ෆොමේන් ඈ යූ පාපෝට්’
අපේ මුතුන් මිත්තෝ සුද්දො එක්ක සටන් කලේ නිකන් නොවෙන බව තේරුණේ අන්න එදා මිත්රවරුනි මොකද ඒ යකා කිව්ව මෙලෝ අලබෝලයක් මට තේරුණේම නෑ. යන්න කලින් අර ielts අටමංඟල්ලේ කලාට මොකද ඒකේ හිටියේ ලංකාවේ පැන්සන් ගිහිපු ඉංග්රීසි ගුරුවරුනේ ඉතිං උච්චාරණය එක පාරටම ඇඟට දිරවන්නේම නෑ.
මං ආයෙම හලෝව් කිව්ව. කිසිවක් නෑහුණ ගාණට. ඒ පොල් සුද්දා කලින්ටත් වඩා වේගෙන් ආයෙත් කියෙව්වා.
“මේයි ආගොන ආස්ක් යු ෆි කෙස්චන්…ස්, අ නීඩා එක්සැක් ඉන්ෆොමේ…හ් ඈස් යුර් පා..ඕට්”
කිව්වට ලැජ්ජ නෑ මං සේප් එකේ ෆෝන් එක තියලා අනිකට දුන්නා. ඌ ඇස් දෙක ලොකු කරන්.
“ඇයි බං තිබ්බේ ?”
“උන් එතන බිසීලු බං ටිකකින් ගන්න කිව්වා”
මං පෝලිමේ පස්සටම උනා. අනිකා ටිකකින් ආයෙම කෝල් එක ගත්තා. ඌත් ගැම්මෙන් හලෝ කියලා යෑස් ඔව්…නෑ නෝ සොරි යේස් කියලා වැඩේ පටන් ගත්තා. දැන් ඌ උගේ නම කියනවා. මේ අපිට ඇහුනු ටික
“වාසලතන්ත්රමුදියන්සේලාගේසාරංගනයනබණ්ඩාර”
“ආ….ඕකේ ඕකේ”
“වා ස ල ත න් ත්රී මු දි යන් සේලාගේ සා ර ං ග නයන බණ්ඩාර”
“එක්ස්ක්යුස්මී….අයි ඩිඩ්න් ගෙට් යූ සර්…. ආ….ආ.. ඕකේ ඕකේ ස්ලෝලි රයිට්. අයි ගෙට් යූ”
ඌ ආයෙම නම කියනවා…
ඩබ්ලිව් ඒ එස් ඒ එල් ඒ වාසල ටී ඒ එන් ටී එච් ආර් අයි ..තන්ත්රී…
නෝ නෝ සර් නොට් නම්බර් ත්රී. ඉට්ස් තන්ත්රී… නොට් දැට් ත්රී , දිසි ඊස් නේම් ත්රී.
නෝ සර් නෝ… අයි ඩෝන්ට් හෑව් අ නම්බර් ඉන් මයි නේම් නෝ සර්. අයි නෝ සර්. අයි…අයි …
එහෙම කිය කිය හිටපු අපේ මිත්රයා එක පාරටම ඩෝං ගාලා පෝන් එක තියලා කාමරෙන් එලියට ගියේ මෙන්න මෙහෙම
“ඒ පර ඒස සුද්දාට …මං කියන එක තේරෙන්නෙ නෑ බං…ඌ කියනවා නමක් අස්සෙ තුනේ ඉලක්කම එන්න විදියක් නෑ කියලා…”
තන්ත්රී ඊට තන් ත්රී වෙලා අන්තිමේ බූබී ත්රී උනේ අන්න එහෙම. ඊට පස්සෙ අපි රස්සවක් සෙට් කරගත්තා එංගලන්තේ ඉපදුන පකිස්තාන කාරයෙක්ට අයිති පීසා කඩේක. පීසා කඩයක් කීවට ඒකේ බුරියානි ඇරෙන්න අනිකා සේරෝම හදනව ඩිලිවරි කරනවා. ඉදලා හිටලා වේලිච්ච සුද්දෙක් දෙන්නෙක් ගොඩ උනාට ,හෝ ඩිලිවරි වලින් ගෙන්න ගත්තට , ඒකේ බහුතරයක් පාරිභෝගිකයන් උනේ බංගලි, පකිස්තාන සහ ඉන්දියන් සෙට් එක. මායි තන්ත්රී කාරයයි මුලින්ම ගිය දවසේ අයිති පකිස්තාන කාරයා අපි දෙන්නට මෙහෙම කිව්වා.
පිරිසිදු කම අංක එක
විනීත කම අංක එක
කස්ටමර් ට ආචාරශීලීවීම අංක එක
කඩිසර කම අංක එක
හැබයි පලවෙනි සති දෙකේ පඩි නෑ. කෑම විතරයි. ඒ ට්රේනින් එක ඉවර උනාම උඹලට මම ගෙවනවා පැයට පවුම් තුන ගාණේ. කැමති තරමක් වැඩ කරන්න පුලුවන්. අපි හෙන උනන්දුවෙන් වැඩ කලා. සති දෙක ඉවර උනා. මිනිහා අපිට සල්ලි ගෙවන්න අපි වැඩ කරන වෙලාවන් ලකුණු කරගත්තා. තවත් සති දෙකක් ඉවර උනා. අපි දෙන්නම පැය හැට ගාණේ පැය එකසීය විස්සක් වැඩ කරලා තිබ්බ. පවුම් තුන්සීය හැටක් ගෙවන්න ඕන හරි නම් උනාට මිනිහා අපිට ගෙව්වෙ එකෙක්ට පවුම් සීය ගාණේ. ඒ ගෙවලා ඌ හෙනම ලොකු සද්දයක් දාලා කිව්වා වැඩ කරන්න බැරි නම් පලයන් කියලා. අපි අහු උනා.
ඒත් ඊට පහුවදා අපි ඌ හම්බවෙලා අපිට පවුම් සීය ගාණේ ගෙවනවා නම් වැඩ කරන්න කැමති බව කිව්ව. ඌත් හෙන අහංකාරකමට හොක් හොක් ගාලා කින්ඩියක් දාල හා වරෙල්ලා කිව්වා. අපි එහෙම ආපහු වැඩට ගිහින් දෙවනි දවසේ රෑ හතට විතර ලොකු ඕඩර් එකක් ආවා. පහලොස් දෙනෙක්ට රෙගියුලර් මීල් පහලවක් , කුකුල් අඬු බකට් තුනක්, ලාර්ජ් ෆ්රයිස් පහලවක්. පෙප්සි බෝතල් පහක්. කෑෂ් ඔන් ඩිලිවරි ඕඩර් එක.
ඕඩර් එක අරන් ගියේ මම ඒ මම පකිස්තාන රෙස්ටුරන්ට් එකට ගිය අන්තිම දවස. මම ගිහින් විනාඩි දහයක් යද්දි සේරම දමලා ගහලා තන්ත්රී කාරයත් ආවා. එදා අපේ හොස්ටල් එකේ ලොකු පාට් එකක්. අනුග්රහය කුෂාන් ඇන්ඩ් තන් ත්රී සමාගම.
ඕඩර් එක කලේ අපේම එකෙක්. අපිට කරපු බලු වැඩේට අපි එහෙම කලාට පකිස්තාන මුදලාලිට අම්බානකට නැඟ්ගා අපි එක්ක. ඌ අපිට තර්ජනයකුත් දැම්ම.
අපි එක්ක උන්න අරුණ අයියා හිනා වෙලා ඌට මෙහෙම කිව්වා.
උඹ පොලිසියට ගිහින් කොම්ප්ලේන් කරපං…හැබයි මතක තියා ගනින්… ස්ටුඩන්ට්ලව හොරෙන් වැඩට ගන්න එකට දඩය පවුම් දහදාහක් විත්තිය.
ඊට පස්සෙ අපි පොරගේ කඩේ ඉස්සරහින් ගියත් ඌ නෙමේ ඇහැක් ඇරලා බලන්නේ
එඤ්ඤං

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!