වසුන්දරා යාන්තම් ඔළුව විතරක් නොතෙමී ගෙදරට ගොඩ වුණේ හරිම මහන්සියෙන්..
පාසැල ඇරෙනවාත් සමඟම කඩා වැටුණු මහ වැස්ස නිසා ඇගේ කුඩයත් මදි තරම්.තෙතබරිත සාරිය ඇඟට ඇලී වතුර බේරෙන විට මහ අමුතු සීතලක් ඇයට දැනුණි.කරේ එල්ලා තිබූ බැගය ද කුඩයද පසෙකින් තබා දොර හැර ගෙතුලට ගොස් නැවත දොර වසා වතුර බේරෙදිදීම ඇය නාන කාමරයට වැදුනාය.
හනික නාගෙන විත් තේ එකකුත් සුදානම් කරගෙන දිග පුටුවේ හිඳගත් වසුන්දරා තවත් දවසක් නිමා වූවා යැයි දිග සුසුමක් හෙළුවා ය.
රාත්රී ආහාරය පිළියෙල කර අවසන් වනවිට ගොම්මන් කළුවර වැටී තිබුණි.සුපුරුදු පරිදි හේන් යායෙන් නැගෙන බටනළා රාවයට ඈ වශීවී මෙන් අසා සිටියාය.සුනිමල් හැමදාම වයන බටනළා හඬ හිත පාළුව තනිකම මකා ගන්නට උපකාරී විය.
මව්පියන් ජීවතුන් අතර සිටියදී ධනය කුලය බලය ට මුල් තැන දුන් නිසා ඔවුන් මිය යන තුරු වසුන්දරා ට දීගයක යන්නට නොහැකි විය.ඇයගේ සතුට වෙනුවෙන් තිබුණේ ගුරු වෘත්තීය පමණි.
සුනිමල් ගේ බටනලා හඬ රෑ මැදියම තෙක් අසා සිටි වසුන්දරා පසුදිනට රැගෙන යායුතු පාඩම් පිලියෙල කර ගත්තාය.
‘ සුනිමල් හරි හොඳ ළමයෙක් ‘ .. වසුන්දරා තමාටම කියා ගත්තාය.
උදෑසන පුංචි මල් වැටුණු සාරිය ඇඳගත් ඇය කණ්නාඩිය ඉදිරියට ගොස් තමා දෙස බලා සතුටු විය.හැඩවැඩ අඩුවක් නැති, දේපල අඩුවක් නැති,ඇයට සහකරුවෙකු නොසිටියේ දෙමාපියන් නිසා බව සිතන්නට විය.සූදානම් වී අවසන දොර ජනෙල් වසා හෙමින් හෙමින් ගුරු පාර දිගේ පාසලට යන්නට විය.
හැමදාම වගේ උදෑසන වසුන්දරා පාසලට යද්දී හමුවන සුනිමල් පුංචි කතාබහකින් පසු ඇය පසුකර යද්දී ඈ හැරී නොබැළුව දවසක් නැත.දවස ආරම්භය ද අවසානයද සුනිමල් වීම වසුන්දරාට විටක ප්රහේලිකාව ක් විය.
එදින පාසැල ඇරී නිවසට පැමිණි ඇය විශාල වත්තක් මැද මේ විසල් මැදුර මොනතරම් පාළුද, මෙහි මට කියා කිසිවෙක් නැත යැයි කල්පනා ලොවක තනි විය.දෙනෙතින් ගලන උණු කඳුලැලි දෙකොපුල් දිගේ ගැටෙන විට තමා හඬනා බව වසුන්දරා ට තේරුම් ගියාය..
ඇය ඉක්මනින් කා බී වැඩ අවසන් කර නින්දට ගියත් නින්ද අසලටවත් නොආවේය.යහනේ ඒ මේ අත පෙරලෙමින් රැය පහන් කරන්නේ කෙලෙසදැයි කියා ඇයට සිතුනි.යලි නැගිට ගොස් දොර හැර එළියට ගිය ඇය නැවත ඉහළ මාලයට පැමිණ ජනෙල් පියන් හැර මඳ පවනේ නටන තුරුපත් දෙස බලමින් දිග සුසුමක් හෙළුවාය.
රැය පහන් වීමට ඇත්තේ තව ටික වෙලාවකි.ඈත පැලේ සිට එන සුනිමල් ගේ බටනලා හඬ ඉතා දුක්බරය.ඇයගේ නොඉවසිලිමත් සිත ඇයට අවනත නොවුණි.යලි පහල මාලයට ද ඉහල මාලයට ද කීපවරක් දිවගිය වසුන්දරා තීරණය ක් ගත්තාය..ඇය විදුලි පන්දමක් රැගෙන සුනිමල් ගේ පැල්පත කරා ඇදුණාය.
” සුනිමල්” ඇය සෙමෙන් පවසනවාත් සමඟ සුනිමල් ඇලවී සිටි තැනින් විදුලි වේගයෙන් නැගිට්ටේය.” ව.සු..න්..ද..රා..නෝනා”යැයි ගොත ගසන්නට විය.” කෑ ගහන්න බයවෙන්න එපා සුනිමල්.වාඩිවෙන්න” කියමින් ඔහුගේ උරහිසෙන් අල්ලා එහි වාඩිකරවා වසුන්දරා ඇගේ කතාව දිගටම කියාගෙන ගියාය.සියල්ල නිහඬව අසාසිටි සුනිමල් ඇය තරයේ වැලඳගෙන” නොකියාම හිටියට මං හිතින් ආදරය කළා නෝනෙ” පවසද්දි වසුන්දරා ට මහා ලොකු සතුටක් දැනුණි..
වසුන්දරා සුනිමල් ගේ අත අල්ලාගෙන ගෙඹි ගීත පළඟැටි නාඳ අතරින් ඇගේ නිවසට ගොඩවිය..” හෙට සෙනසුරාදා” කියමින් ඇය සුනිමල් ගේ කනට ළංවී පවසද්දී ඔහු ආදරයෙන් ඇගේ නලළ සිපගත්තාය.
අලුත් දවසක අලුත් ඉරක් පායා එද්දී වෙනදා මෙන් නොව ඇය අවදිව “විය යුත්තේ එය නම් එසේ සිදුවිය යුතු “යැයි තමාටම කියා ගනිමින් තේ කෝප්ප දෙකක් පිළියෙල කළාය
උපුටා ගැනීම : Malani Weerasinghe