අපි පුංචි කාලේ නත්තල් සීයා අවුරුද්ද පුරාම ආවා.
අපි නිදි වෙලාවට හොරෙන් ඇවිත් ලස්සන කතන් දර පොත් කොට්ටෙ යටින් තියලා යන්න ගියා.
ළමා මල් කළඹ, මාෂා සහ වලහා, සිරිත් මල්දම, හත්පෙති මල…..ඔය හැම පොතක්ම මට තෑගි ලැබුනෙ නත්තල් සීයාගෙන්.
මාව පොත් ගුල්ලෙක් කලේ නත්තල් සීයා!
දැනුම් තේරුම් ඇති වයසට ආවට පස්සෙ නත්තල් සීයා කොට්ටෙ යටින් කතන් දර පොත් තියලා යන එක නතර කලා. ඒ වෙනුවට අප්පච්චී පොත් ගෙනල්ලා දෙන්න පටන් ගත්තා.
ඒත් නත්තල් සීයා කියන සුන් දර සංකල්පය කවදාවත් මගේ හිතෙන් ඉවත ගියේ නෑ.
‘පුළුන් වගේ සුදු රැවුල දිගයි
ලස්සන ඇඳුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි…..’පුංචි කාලේ ඉගන ගත්ත විදිහටම නත්තල් සීයා මගේ හිත තුල ජීවත් වුණා.
ඉතින් ලොකු දුව පුංචි කාලෙත් නත්තල් සීයා හොරෙන් ඇවිත් පුංචි පුංචි තෑගි ඇගේ කොට්ටෙ යටින් තියලා ගියා.හැබැයි නත්තල් දාට විතරයි!
ඇමරිකාවෙ නත්තල් සීයා තෑගි තියලා යන්නේ නත්තල් ගහ යට. අපිට නත්තල් ගහක් නොතිබුණු නිසා කෑම කාමරයේ තිබුණු විසාල විසිතුරු ගහ යට නත්තල් සීයා තෑගි තියලා ගියා.පස්සෙ කාලෙක නත්තල් සීයාට ලේසි වෙන්න අපිත් නත්තල් ගහක් සරසන්න පටන් ගත්තා.
දැනට අවුරුදු කීපෙකට ඉස්සරලා නත්තල් සීයා වගේම දරුවන්ට සතුට ගෙනෙන තවත් චරිතයක් ඇමරිකාවේ නත්තල් සම්ප්රදායට එකතුවුණා.
ඒ ‘එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්'(රාක්කයේ කුඩා ජීවියා).
එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් ඉස්සරලාම එළියට ආවෙ 2005 වසරේ කැරොල් ඒබර්සෝල්ඩ් සහ ඇගේ දියණිය චන්ඩා බෙල් විසින් රචිත ළමා පින්තූර පොතකින්.මේ කතාවෙන් කියවුනේ නත්තල් සීයා හොඳ හා නරක ළමයින් හොයා ගන්නා ආකාරයයි.
කතාවේ හැටියට උත්තර ධ්රැවයේ සිට පැමිණෙන ‘එල්ෆ්’ දවස පුරා නිවෙස්වල සැඟවී සිට, ළමයින් ගැන හොයා බලනවා. රාත්රියට සෑම දෙනාම නින්දට ගිය පසු, නැවතත් උත්තර ධ්රැවයට ගොස් නත්තල් සීයාට දවස පුරා සිදු වූ සිදුවීම් වාර්තා කරනවා.
සෑම දෙනා අවදි වීමට පෙර ආපසු පැමිණෙනවා.
මෙසේ ළමා පින්තූර පොතකින් බිහිවූ එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් 2012 දී, පළමු වරට මේසීස් ස්තූති කිරීමේ දින පෙළපාළියේ පෙනී සිටියා.
2013 වසරේ එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් සැබැවින්ම ළමයින් බැලීමට නිවෙස් වලට පැමිණෙන්නට පටන්ගත්තා.
දරුවන්ගේ ආදරණීය චරිතයක් බවට පත්වුණා.
ස්තූති කිරීමේ දිනයට නිවසට පැමිණෙන එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් නත්තල් දිනය තෙක් රැඳී සිට අවුරුද්දේ ඉතිරි කාලය නත්තල් සීයා සමඟ ගත කිරීමට උත්තර ධ්රැවය බලා පිටත් වෙනවා.
එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්ට ඔවුන්ගේ මැජික් බලය ලැබෙන්නේ දරුවෙකුගේ ආදරයත් සමගයි.දරුවෙකුගේ ආදරය පෙන්වන්නේ නමක් දීමෙන්. නමත් සමඟම ඔහුට විශේෂ මැජික් බලයක් ලැබෙන අතර, එමඟින් උත්තර ධ්රැවයට හා අපේ නිවෙස්වලට පියාසර කිරීමට හැකියාව ලැබෙනවා.
සෑම උදෑසනකම උත්තර ධ්රැවයේ සිට පැමිණෙන එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් නිවසේ නව ස්ථානයක සැඟවී සිට, පවුලේ අය පුදුමයට පත් කරවනවා.
එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් දඟකාරයෙක්.එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්ගේ විකාර වලට පෙරලි පෙරලි හිනාවෙන්න පුලුවන්.නමුත් දඟකාර වැඩ කිරීමට ගොස් කරදරයේ වැටෙන වෙලාවල් ඕනෑ තරම් තියනවා. ඒත් ඔහුට උදව් කිරීමට අපට පුලුවන් කමක් නෑ.
එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් ස්පර්ශ කිරීම අපට තහනම්.ස්පර්ශ කළහොත් මැජික් බලය නැති වෙනවා.
නත්තල් සීයාට හා එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්ට ආදරය කරන අය වගේම විවේචනය කරන අයත් ඉන්නවා.
විවේචනය කරන අය කියන්නේ මේ මනංකල්පිත චරිත විශ්වාස කිරීමට දරුවන්ට ඉඩදීම වැරදි බවයි.
නමුත් මම නම් නත්තල් සීයා හා එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් යන සුන් දර මනංකල්පිත චරිත වලට කැමතියි.
අපි දරුවන්ට බොරු කිව යුතුයයි මම කියන්නේ නෑ. නත්තල් සීයා, එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් සැබෑද නැද්ද යන ප්රශ්නය දරුවා අසන දිනයට අපිට ඒ ගැන කියාදෙන්න පුලුවන්.දරුවා ඒ ප්රශ්නය අසන්නේ යථාර්ථය සහ ප්රබන්ධ චරිත අතර වෙනස හඳුනා ගැනීමට හැකි අවධියට පැමිණි විටයි. එසේ නොමැතිව සෑම දරුවෙකු සමඟම මේ ගැන සාකච්ඡා කිරීමට අවශ්ය යයි මම හිතන්නේ නෑ.
නමුත් දරුවා ප්රශ්නය ඇසුවහොත් නිවැරදි පිළිතුර දෙන එක වෙනම කතාවක්!
ඒ මම මම හිතන විදිහ.ඔබේ අදහස වෙනස් වෙන්න පුලුවන්.
නත්තල් සීයා, එල්ෆ් ඔන් ද ෂෙල්ෆ් වැනි මනංකල්පිත චරිතවල පැවැත්මට සහාය වීම තුලින් අප හා දරුවන් අතර බැඳීම තීර්ව වන බවත්, ධනාත්මක හැඟීම් ප්රවර්ධනය වන බවත් සමහරු පෙන්වා දෙනවා.
කොහොම වුනත් දරුවාගේ වයසට ගැළපෙන විනිශ්චයන් ගැනීම දෙමාපියන් වන අපට අපහසු දෙයක් නොවේ.
මා මේ සටහන ලීවේ ඇමරිකාවේ නත්තල් සම්ප්රදායට අලුතින් එකතුවු චරිතයක් ගැන ඔබට කීමටයි.
සීතල වුනත් කැලිෆෝනියාවේ නත්තල් හරිම ලස්සනයි. හැම තැනම සරසලා!බලන්න ලස්සනයි!
ඒ වගේම විශේෂයෙන් සරසන පාරවල් තියනවා.ඒවා බලන්න යන්නත් පුලුවන්.
වරාය වල සරසන ලද බෝට්ටු පෙළපාලි තියනවා.
නැති බැරි අයට නත්තල් සමරන්න උදව් කරන තැන් ඕනෑ තරම් තියනවා. ඒ තැන් වලින් කෑම බීම තෑගි බෝග ලබා දෙනවා.
මේ සැරේ නත්තල වෙනදා වගේම සමරන්න පුලුවන් වේදැයි දන්නේ නෑ. නමුත් පසුගිය මතක නම් බොහෝම සුන් දරයි. පින්තූර අතර ඒ මතකයන් හා කාලෙකට පෙර අපේ නිවසට පැමිණි දගකාර එල්ෆ් ඔන් ද ෂෙල්ෆ්ගේ මතකයන් කීපයක්ද සණිටුහන් වී තිබෙනවා.
උපුටා ගැනීම : Sripali Kotuwella