එළබටු / Solanum insanam (සෞඛ්‍ය හා යෝග්‍යතාවය )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එළබටු ශාකය සදහා පර්යාය නාමයන් වන්නේ වෘහති , වෘන්තාක , වර්තාක , වර්තාකි , සිංහි , හිංගුලි , රාෂ්ට්ර , දුෂ්ප්රධර්ෂණී ආදී නාමයන් වෙයි. ඉංග්රීසියෙන් Wild Egg plant ලෙසට හදුන්වනු ලබන්නේ එළබටු ශාකයයි. දෙමළෙන් කත්තිරික්කා කියාත් සංස්කෘතයෙන් බෘහති , වෘහති ලෙසට හදුන්වනු ලබයි.ශ්රී ලංකාවේ තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප්රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප්රභේද 3කි. එනම් කොළ පැහැති එළ බටු , දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු වර්ග තුනයි. ඒ බටු ප්රභේද අතරින් ගුණදායක වර්ගය සුදු පැහැති එළ බටු වර්ගය යැයි සදහන් වෙයි. ආයුර්වේදයට අනුව ශ්වේත ඵල (සුදු ගෙඩි), භණ්ඩාකි , ක්ෂුද්ර භණ්ඩාකි (කුඩා බටු) යන අන්වර්ථ නාමවලිනුත් එළ බටු හඳුන්වන අතර එළ බටු සංහී යන නමිනුත් සදහන් වෙයි.
ඝෘජුව පදුරක් සේ උසට අඩි 3ක් පමණ වැවෙන කටු සහිත පැළෑටියකි. පාදීය කොටස කාෂ්ඨියයි. බෙහෙවින් අතු බෙදී හා විහිදී විසිරී ඇති අතර පත්ර ආයාත ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර කෙටි තුණ්ඩ වලින් වැසී ඇත. පත්රයක දිග 5 – 18cm පළල 3 – 11cm ක් පමණ වෙයි. කටු 1 cm පමන දිගය. පුෂ්ප තනිව හෝ කක්ෂීය බහු අක්ෂ මත පුෂ්ප කිහිපයක් ලෙස හට ගන්නා අතර මල් දම් පැහැයක් ගනී. ගෙඩි වටකුරු වන අතර විෂ්කම්භය 2.5cm ක් පමණය. සුදු හෝ ලා කොල පැහැයෙන් හා දම් පැහැයෙන් යුත් ගෙඩි කොල පැහැති ඉරි සහිතවේ. ඒ තුල බීජ රාශියක් දැක්නට ලැබෙන අතර බීජ මගින් ව්යාප්තිය සිදුවෙයි. SOLANACEAE උද්භිත කුලයේ ශාකයක් සේ එළබටු ශාකය හදුන්වනු ලබයි.
එළබටුවල දෝෂ කර්ම වන්නේ ළපටි ගෙඩි ත්රිදෝෂ ශාමකයි. කඵවාත ශාමකයි. පිත්ත ශාමකයි. මේරූ ගෙඩි – ත්රිදෝෂ කෝපකයි. එම නිසා වාත හා සෙම් රෝග , මූත්රා රෝග , මුඛ රෝග , ශ්වසන රෝග , කැස්ස , වලිප්පුව , උණ , අංශභාග , අර්ශස් , චර්ම හා දද , කුෂ්ඨ රෝග , කෑම අරුචිය , බඩගිනි අඩුකම , මල බද්ධය සහ අක්මා ආබාධ , හෘද රෝග , කක්කල් කැස්ස , ඇදුම , ක්ෂය රෝග , උගුරේ බැරැණ්ඩිය , සර්ප විෂට මෙන්ම වාජිකරන ගුනයෙන්ද යුක්ත අතර ඔසු පිණිස එළබටු ශාකයේ මුල් , කොල , ගෙඩි , දඩු , ඇට ආදී සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ක්ෂුද්ර ජීවී නාශක ගුණ සහිත එලබටු ලෝක පිළිකා සංවිධානය පෙන්වන්නේ ඇදුම හා පෙණහළු පිළිකා වළකන ප්රතිඔක්සිකාරක ගුණ අඩංගු බවයි.
* සෙම් රෝග සදහා එළබටු මුල් වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම සුදුසුය.
* සෙම් රෝගවලට එළබටු ශාක පත්ර වලින් කොළ කැඳ සකසා දීමත් එළබටු දලුවලින් පොල්කිරි නැති කැඳ සදාදීමෙන් කල් පවතින කැස්ස සුවපත් කරගත හැකි වෙයි.
* නොදැන මුත්රා පහවීමට එළබටු මුල් කලන් 12 කෂාය පත අට එකට සිඳුවා පත බාගය බැගින් උදේ සවස දින 3ක් පානය කිරීම.
* පණු රෝගයට එළබටු කොළ කොටා මේස හැඳි 2ක් ගෙන ඉඟුරු යුෂ මේස හැඳි 2ක් මිශ්ර කර බීම පණු අමාරුවට බඩේ රුදාවට ඉක්මන් සහනයකි.
* ඇඟ කැසීම හා දැවිල්ල වගේ කායික ආසාත්මිකතාවලටත් එළබටු කොළ සහ ගෙඩි ගෙන මී පැණියෙන් අඹරා දැවිල්ල , කැසීම ඇති ස්ථානයේ ආලේප කර මොහොතකින් සේදීම.
* කෑම අරුචිය ඇති වන අවස්ථාවලදී එළබටු ගෙඩි තම්බා ආහාරයට ගැනීමත් එළබටු කැඳ පානය කිරීමත් කෑම රුචිය වර්ධනය කරවීමට හා බඩගින්න ජනනය කිරීමට සමත් වෙයි.
* උණ නිසා සිරුර දුර්වල වූ විට ළපටි ගෙඩි වෑංජනය උයා කෑමත් එළබටු කොල කැද සාදා දීමත් ප්රතිශක්තිය වඩවයි.
* අර්ශස් වේදනාවට වියලි එළබටු ගෙඩි ගිනි අගුරුවලට දමා එයින් නැඟෙන දුම අර්ශස් ගෙඩිවලට ඇල්ලීමෙන් වේදනාව අඩුවි සහනයක් ලබා දෙයි. තවද අර්ශස් පූර්න සුවයට ළපටි ගෙඩි තම්බා මීපැණි හා සහිඳලුණු මිශ්රකර දිනපතා ටික දවසක් ගැනීම සාර්ථක බව දැක්වෙයි.
* සර්ප දෂ්ටයක දී ප්රථමාධාරයක් ලෙස එළබටු ගෙඩි තම්බා කෑමත් තැම්බූ වතුර බීමට දෙයි. දෂ්ට කළ ස්ථානයේ එළ බටු මුල් අඹරා ආලේප කිරීමත් යෝග්යයි.
* සිරුරේ සන්ධි ඉදිමීමට එළබටු පංචාංගය තම්බා බීම.
* උඳුගොව්වා කෑමට එළබටු ගෙඩි කිහිපයක් ගෙන තළා යුෂ ගෙන ඒ යුෂ සමඟ මී පැණි මිශ්ර කර දිනපතා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයකින් යථා පරිදි රෝම වැවෙනවා. ඒ වගේම එළබටු ඇට ගෙන දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කළත් එයත් ගුණදායකයි.
* ගැබිනි මවට නුසුදුසු අවස්ථාවල වමනය යෑමට එළබටු ගෙඩි යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි 2ක් මිශ්ර කර ගිතෙල් තේ හැඳි දෙකකුත් එයට මිශ්ර කර හොඳින් කලවම් කරගෙන දිවේ ගෑම තුලින් වමනය යන තත්ත්වය නැතිව යයි. කුඩා දරුවන්ට කිරි වමනය යන අවස්ථාවලදීත් මේ ඖෂධය බිලිඳාගේ දිවේ ආලේප කළොත් දරුවා කිරි වමනය දැමීමත් නතර කරනවා.
* මුඛ රෝග සදහා (විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය) එළබටු ගෙඩියේ වියළි ඇට පුච්චා නඟින දුම මුඛයට ගෙන එය පුළුවන් තරම් වේලාවක් තබාගෙන නැවැත පිට කරන්න. මුඛය ආශ්රිත රෝගාබාධ රැසකට එය හොඳ ඖෂධයක්.
* මුඛය ආශ්රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධීය දුම් වැටියක් සාදාගැනීමට වියලි එලබටු ඇට ගෙන එයට ගිතෙල් මිශ්ර කර සියුම් වන තුරු හොඳින් අඹරා ගෙන තෙතමනය අඩු වී තරමක් ගන වේගෙන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස (දුම් වැටියක් ලෙස) සාදාගන්න. ඉන් පසු මඳ වේලාවකින් තෙතමනය නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මඳ වේලාවක් රඳවාගෙන නැවැතත් පිට කරන්න. මුඛය ආශ්රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම්වැටිය ඉතාමත්ම ගුණදායකයි.
* කැස්ස , සෙම , සෙම්ප්රතිෂ්යාව , උණ , ඇදුම , හතිය ආදී රෝගවලට බටු පැණිය ගුණදායක වන අතර බටු පැනිය සකසා ගැනීම නම් එළබටු මුල් ගන්නා කොටස් ප්රමාණයට වඩා හතර ගුණයක් එයට වතුර මිශ්ර කර කෂායක් ලෙස හතරෙන් එකකට සිඳ ගෙන ඉන් පසුව එය පෙරා ඒ ද්රව්යයට සමානව සීනි මිශ්ර කර පැණි පදම එනතුරු ළිපේ කකාරා එයට තිප්පිලි කුඩුත් මිශ්ර කරන්න. පසුව ළිපෙන් බා ගත් බටු පැණිය නිවුණු පසු හොඳ ඇසුරුමකට දමා වසා තබන්න. දිනකට තේ හැඳි දෙක ගාණේ උදේ සවස දිනපතා බොන්න. පෙර සඳහන් කළ සෑම ලෙඩකටම ඒ බටු පැණිය ඉතාමත්ම ගුණයි.
* ග්රහණි නම් රෝගයේ රෝග ලක්ෂණ නම් දියරමය ස්වභාවයකින් මල පිටවීම සහ නොදිරවූ ආහාර මල ලෙස පිටවීමයි. ශරීරයට අහිතකර රෝගයක් වන එයට ප්රතිකාරයකි එළ බටු මුල් වියළා සියුම්ව කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින සේ වසා තබා රෝග තත්ත්වය ඇති වූ විට එළ බටු මුල් කුඩු මේස හැන්දක් බඳුනකට දමා ඉන් පසුව වෙනත් බඳුනකට මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් හතරක් මිශ්ර කරලා හොඳට ගසලා (කලවම් කර) මෝරු හදාගන්න. ඉන් පසු ඒ මෝරු එකට එළ බටු මුල් මේස හැන්දක් මිශ්ර කර එයට ගම්මිරිස් , සූදුරු ස්වල්පය බැගින් මිශ්ර කර එයටම වියළා කුඩු කර ගත් එළ බටු ගෙඩි මේස හැන්දකුත් මිශ්ර කර සියල්ලම හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. දින කිහිපයක් උදේ මේ ආහාරය ගන්නව නම් ග්රහණි රෝගය සුව වෙනවා. එළබටු වල ඇති තවත් ගුණයකි ඇට මිදුළු වඩන ස්වභාවය. එම නිසා යම්කිසි රෝගයකදී ක්ෂය වූ ඇටමිඳුළු යතාතත්වයට පත්කරලීමට උපකාරිවෙයි.
දශමූල කෂාය , ලඝු පංචමූලය , වෘහත්යදී ක්වාත , බටු තෙල් , බටු පැණිය , සංස්කාරික ඖෂධ අතර දශමූල අරිශ්ටය , දන්තාරිෂ්ඨය , මහා සිද්ධාර්ථ තෛයිලය , වාත විදුරංග තෛයිලය , අශ්වගන්ධ තෛයිලය , මහා නාරායන තෛයිලය , නීලාරාජ තෛයිලය , විෂ්ණු තෛයිල ආදී රෝගයන් සදහා නිෂ්පාදිත ඖෂධ ගණනාවකම එළබටු ශාක කොටස් අඩංගු වෙයි.
එළබටු ගෙඩි ආහාරයක් ලෙසටත් කොළ කැඳ ලෙස රසවත්ව ඖෂධීයව පිළියෙළ කරගත හැකි වටිනා ශාකයකි…
එළබටු ගෙඩි එළවළු අතරින් කැල්සියම් වැඩිම ප්රමාණයක් ඇති ගෙඩි වර්ගය යැයිද ප්රෝටීන් , පිෂ්ටය , යකඩ , පොස්පරස් ආදි තවත් පෝෂකවලින් යුක්ත බව කියවෙයි. එසේම එලබටු ශාකයේ රසායනික ගුණ අතර ඇමයිනෝ අම්ල වන arginine , හා valine. සීනි ලෙස sucrose , glucose , fructose මීට අමතරව ශාකයේ Solanine , solasonine , හා solamargine අඩංගු වේ.
ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් පිටුවේ හා ඉපැරණි හෙළ වෙදකම පිටුවෙන් මෙන්ම ඔසු පැල හදුනාගනිමු පිටුවේ තොරතුරු ගෙන සැකසුනකි …
උපුටා ගැනීම :   Rms Sudarshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!