වෙලාවකට හිතෙනවා කොරෝනා කියන්නෙ අපිව කාලා අපේ නම්බුවෙ ඉතුරු වෙලා තියන සොච්චමත් කන්න ආපු වෛරක්කාරයෙක් කියලා.
මිනිස් සංහතිය ඇති උනත් හරි අපේ මිනිස්සු මේ වගේ නිවාස අඩස්සියකට අහු වෙලා නැතුව ඇති කිසිම කාලෙක.
දැන් නම් ටික ටික ආයෙත් මිනිස්සු වැඩ පටන් ගත්තත් මොකෝ මං වගේ ගොඩක් උන් තාම ගේ අස්සෙ. සමහර දවස් වලට මිදුලෙ වැලි ඇටයක් කකුල් වලට පෑගෙන්නෙ නැතුවම ගෙවිලා යනවා.
තව පැත්තකින් ඉතින් දෙවි පිහිටයි අම්මගෙ කටට ඉවරයක් නෑ අපේ ගෙදරනම්.
මේක මේ දවස් වල හැම කෙල්ලෙක් කොල්ලෙක්ටම තියෙන කාලීන ගැටලුවක් කියලා තේරුනේ එහා ගෙදර ඇන්ටි එහෙ ඉන්න මගේ වයෙසෙ කොල්ලට අමතන ඇමතිල්ල අහන් හිටියට පස්සෙ. ඒ ඇමතිල්ල කොයි තරම් උච්ච උනාද කියනවනම් අන්තිමට බෙලෙක් කෝප්පෙකින්ද පිඟානකින්ද මන්දා ඒ මනුස්සයට දමලා ගහනවා ඇහුනා සුපින්වතුනි.
අපේ අම්මට දැන් ගෙදර කරන්න වැඩක් නෑ. අම්මලට තියෙනවනෙ අමරුකම් වර්ග දෙකක්.
එකක් තමයි වැඩ කරලා ඇඟට දැනෙන අමාරුව. අනිත් එක තමයි කරන්න වැඩක් නැති උනාම හිතට දැනෙන අමාරුව. දෙයියන්ගෙ පිහිටෙන් අපේ අම්මට පලවෙනි එකටත් වඩා දෙවෙනි එක පිහිටලා තියෙනවා. උන්දැට කරන්න වැඩක් නැත්තන් හෝදපු රෙදි හරි ආයෙ අරන් ගිහින් හෝදයි. ඒ තරමටම නිකන් ඉන්න බැරි අමාරුව.
ඊයෙ ඉතින් ඔය අමාරුව වැඩි වෙලා අපේ අම්මා උදෙන්ම මගෙ කාමරේ අස් කරන්න පටන් ගත්තා. කන් දෙක එහෙම හොඳට සුද්ද කරගෙන හරි බරි ගැහිලා මාත් ඉතින් හිටියෙ දෙයියන්ට කන්නලව් කර කර. හිමීට කන්නලව් කරපු නිසාද මංදා දෙයියොන්ට මාව ඇහිලා නෑ මිත්රවරුනි.
“කෙල්ලෙක්ගෙ කාමරේක හැටි. නයි පොලොංඟුත් ඇති මේක අස්සෙ.”
ඇඳ උඩට වෙලා එරමිණිය ගොතාගෙන මං භාවනාවකට සමවැදෙන්න හිතාගෙන ඉඳගද්දිම අපේ අම්මා හැරුණේ අල්මාරිය පැත්තට. “හුටා… මං විනාසයි”
අල්මාරිය ඇරියා විතරයි වෙනදට මගේ දෙපා වන්දනාමාන කරන රෙදි කන්ද අද අම්මගෙ දෙපා වන්දනා කලා.
“බලාපල්ලකො ඉතින්. උඹට සම්මානයක් දෙන්නෝනෙ මේ දොර වැහුව විදිහ හොයලා බලලා. ගනින් බලන්න මතක ඇති කාලෙකට තව එක රෙදි කෑල්ලක් අලුතින්. ගෙනත් ගෙනත් පුරවනව පිලිවෙලකට තියාගන්නවත් දන්නෙ නැතුව.”
ඇත්තම කිව්වොත් මගේද කියලවත් මතක නැති නා නා ප්රකාර ඇඳුම් ඒක අස්සෙ තියෙනව කියලා දැනගත්තෙ අම්මා ඔක්කොම රෙදි ටික බිමට දානකොටයි.
“බලහං.. අර කොල්ලගෙ ඩෙනිමකුත් මේක අස්සෙ. මේ තාත්තගෙ ටී ශර්ට් එකක්. උඹ ගෙදර ඔක්කොගෙම ඇඳුම් අඳිනවද මේක අස්සෙ ඔබාගෙන ඉන්නෙ?”
“මං දන්නෑ අම්මා. මං දැම්මෙ නෑ ඕවා ඕකට”
“නෑ නෑ උඹ දැම්මෙ නෑ. මේව මේ ඇවිදගෙන ඇවිත්. මේ ගිය අවුරුද්දෙ නෙමේ ඊට කලින් අවුරුද්දෙ අලුත් අවුරුද්දට ගත්ත ගවුම. එකපාරයි ඇන්දෙ. මේ බලපන්.. මේක මේ ලොකු නැන්දා අරන් දීපු බ්ලවුස් එක. ටැග් එකවත් ගලවලා නෑ. මේකිට රෙදි වැඩි වෙලා.”
හිතේ කොනකවත් මතකයක් නැති ඇඳුම් ගැන අපේ අම්මට දින වකවානුත් එක්කම මතක තියෙන විදිහ ගැන ආව පුදුමෙට ලොකු උන මගේ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න තියෙද්දිම එකපාරට මූණට ඇඳුමකින් දමලා ගැහුවා පින්වතුනි.
“ලෝකෙ පෙරල පෙරල හෙව්ව ටී ශර්ට් එක නේද ඔය? මේක අස්සෙ ඉතින් මෙලෝ දෙයක් හොයාගන්න පුලුවන්ද? රෙදි කොටලා තියෙන්නෙ අල්මාරියට.” අම්මා මැනික් හොයනවා වගේ රෙදි ගොඩේ පීනනවා.
“මෙන්න මේ බ්ලව්ස් එක මං දෙනවා නංගිට. මේක ඔයාට මදිනෙ. නිකන් අල්මාරිය පුරවන් ඉන්න එකේ”
“එපා…ඕක මං තියන් ඉන්නෙ කෙට්ටු උනාම අඳින්න”
“අනේ උඹගෙ කෙට්ටු විල්ල. කවද ඉඳන්ද කෙට්ටු වෙන්න දඟලන්නෙ. ගිලින්න ගියහම ඔය මහත කෙට්ටු කම් මොකුත් මතක නෑ.”
ඔය විදිහට සෑහෙන වෙලාවක් තිබුණ යුද්දෙ අන්තිමට ඉවර උනේ යටගිය ඇඳුම් උඩින්ම තියෙන විදිහට අල්මාරිය අස් කලාට පස්සෙ.
වැඩ වගයක් තිබුන නිසා ටවුන් එකට යන්න අල්මාරිය ඇරලා ඇඳුමක් තෝරද්දි තමා මතකෙන් විසි වෙලා ගිහින් තිබුන, කාලයක් මං ආසාවෙන් ඇඳපු ගවුමක් දැක්කෙ. ඇත්තම කිව්වොත් ඒ කාලෙ නම් මං මෙහෙම ඊරි වගේ මහත නෑ. හිතට ආව ආසාවත් එක්ක ඔය ගවුම ඇඳන් ටවුන් එකට යන්න ලෑස්ති උනේ අල්මාරිය අස් කරපු එක ගැන අම්මට හිතින් පින් දිදී.
ඉණ ටිකක් උඩට වෙන්න මහල තිබ්බ ඒ ගවුම ඇන්දම මට නිකන් මාව පෙනුනෙම වට්ටක්කා ගෙඩියක් වගේ. වෙන එකක් අඳින්න කම්මැලිකමට ඒකම ඇඳන් ගෙදරින් එලියට බැස්සෙ හොඳට කාලා උල් වෙලා තිබ්බ බඩත් බලෙන්ම අකුලගෙන.
ඔය බඩ අකුල ගන්න අත් දැකීම ගොඩක් ගෑල්ලමයින්ට තියෙන දෙයක්. ඒක ගෑල්ලමයි උපතින්ම ගෙනාව විශිෂ්ට හැකියාවක්. තඩි බඩක් උනත් පොඩි ප්රමාණෙකින් හරි හංගගන්න පුලුවන් ක්රමයක් ඕක. හැබැයි ඉතින් ටිකක් වෙලා යනකොට ඕක අමතක වෙලා යනවා. ආයෙ මතක් උන ගමන් බඩ පස්සට කරගන්නවා.
මටනම් ඕක ටික වෙලාවක් යනකොට අමතකම වෙලා යනවා.
“ඕකද ඇඳන් යන්න. ඒ ගවුමට බඩ ලොකුවට පේනවා.” අම්මා එහෙම කීවත් මගෙ පණ්ඩිතකම ඔලුවට උඩින්නෙ.
“මගේ බඩ දිහා කවුරු බලන්නද අම්මා”
ගෙදර හිටපු ටික කාලෙට මගේ බඩ නම් ලෝබ නැතුව ඉස්සරහට ඇවිත් තිබුනා. ඒකටම හරියන ගවුමකුත් ඇඳගෙන එලියට බහිද්දි ඉතින් වට්ටක්කයක් වගේ පේන එක අහන්න දෙයක්ද.
කොරෝනා කියලා මොන සෝශල් ඩිස්ටන්ස් ද. ගෙවල් පාරෙ යන බස් එකෙත් සෙනඟ. හිටගෙනත් යනවා මිනිස්සු.
ඉස්සරහ දොරෙන් බස් එකට නගිද්දිම ඩ්රයිවර් උන්නැහේ කෑ ගැහුවෙ නැතෑ.
“කවුරු හරි නැගිටලා සීට් එකක් දෙන්න……”
මලා.. වට පිට බලන්නැතුව මං නැග්ගනෙ. මං බස් එකේ ඇතුලෙම ටිකක් අයිනට උනේ මට පිටිපස්සෙන් ඉන්න ඒ කෙනාට ඉඳගන්න යන්න ඉඩ දෙන ගමන්.
“හෑ… මොකෙක්වත් නෑනෙ.” උන සීන් එක තේරුනාට පස්සෙ මගෙ ඇස් දෙක කෙලින්ම ගියෙ මගේ බඩ පැත්තට. මගෙ ඇස් දෙක පුලුවන් නම් බඩ උඩට වැටෙනවා සුපින්වතුනි මං ඒ බලපු බැල්මට.
“මෙතනින් ඉඳගන්න”
මගේ වයසෙම වගේ හිතෙන නලුවෙක් වගේ ලස්සන කොල්ලෙක් සීට් එකෙන් නැගිටලා මට ඉඩ දුන්නා. යන බස් එකෙන්ම එලියට පනින්න හිතුනත් කීකරු පූස් පැටියෙක් වගේ ගිහින් ඉඳගත්තෙ ‘මං ප්රෙග්නන්ට් නෑ’ කියලා කියන්න ගිහින් බස් එක ඇතුලෙ විහිලුවක් වෙන්න බැරි කමට. එකම සහනෙට තිබ්බෙ මූණෙ දාන් හිටපු මාස්ක් එක.
වෙන ඇඳුමක් ඇඳන් ඇවිත් වැඩ ටික කරනව කියලා හිතන් බස් එකෙන් බැහැපු ගමන් ටවුන් එකේ ත්රීවිල් පාක් එකකින් කතා කරගත්ත ත්රීවිලර් එකක නැගලා හැරෙන තැපෑලෙන්ම ගෙදර ආව හිතවතුනි.
හිතේ පිරිලා තිබ්බ ලැජ්ජාව උතුරලා පිටාර ගැලුවෙ ත්රීවිල් ඩ්රයිවරුත් හිමීට ත්රීවිලර් එක අරන් ගියපු විදිහ තේරුන නිසයි.
ගිය ගමන් ගෙදර දුවන් එන මාව දැකලා අම්මා ඇස් දෙක නලලෙ තියන් බලන් හිටියත් මං කෙලින්ම කාමරේට ගිහින් ගවුම ගලවලා ඩස්ට් බින් එකට දැම්මෙ ගවුම් සංහතිය ගැනම හිතේ තිබ්බ ආසාවත් ඒකෙ ගුලි කරලමයි.
අද ඉඳන් ඉතින් මං බඩ අඩු කිරීමේ මහා මෙහෙයුමකයි ඉන්නෙ. කොරෝනා නිසා තමයි ඔක්කොම!