මේ කථාවත් මට කිව්වෙ ස්වර්ගෙට ගිය මගෙ ආච්චි.
ඇඩි අයිය කසාද බඳින්න කලිං හෙන වලි කිං නෙ…
බැඳල බොරලැස්සෙ පදිංචි උනාට පස්සෙත් ඒ ගති පැවතුම් එලෙසම පැවතියත්, පිට ගමක් නිසා ඉතිං කුරණ ගමේදි තරංම වැඩ කිඩ නොදා ඉන්න තමයි පොර බැලුවෙ…
ඇඩිය ගමේ ඉන්න කාලෙ මිනිහ වටා මාරම යාලුවො සෙට් එකක් හිටිය.
ගමේ පොදු වැඩ වලදිත් මේ කට්ටිය පෙරමුණේම හිටිය ඉතිං.
වැඩිහිටියොත් මේගොල්ලන්ට ආදරේ කළා, මොනව උනත් හිත හොඳ කොල්ලො ටිකනෙ කියල.
ඒ කාලෙ දැං වගෙ නෙමෙයි , ගමේ පල්ලිය හරි ප්රබලව මිනිස්සුංගෙ එදිනෙදා ජීවිතේට සම්බන්ධ වෙලා තිබුණෙ.
මිනිස්සුත් දැං වාගෙ , ඉරිද පූජාවට ගිහිං ගෙදර යනව විතරක්ම නැතුව හැම දේටම පල්ලියෙ සුවාමිව පෙරදැරි කරගෙන , උන්නාන්සෙට ගෙදර ගහේ වැටෙන පළවෙනි කෙහෙල් කැනේ ලොකුම ඇවරිය පවා තෑගි කරගෙන ගත කරපු ජීවිතයක් තමයි ඒ කාලෙ කතෝලිකයන්ට තිබුණෙ ඉතිං …
කුරණට අල්ලපු ගම බෝලවලාන..ඊට අල්ලපු එක තමයි කටුවපිටිය. ඒ ගම කවුරුත් දන්නව , දුක්මුසු පාස්කු සිදුවීම නිසා.
බෝලවලානෙ පල්ලියෙ සුවාමි තමයි මේ කියන කාලෙ ඔය ගම් තුන හතරකම මීසම් භාර පියතුමා වශයෙන් ඉඳල තියෙන්නෙ.
පල්ලියෙං පල්ලියට ගොහිං පූජාව තියන එක තමයි උන්නාංසෙගෙ රාජකාරිය වුණේ..
ඕං ඉතිං එක දවසක් හදිසියෙම ගමේ හිටපු සුවනේරිස් කියන මනුස්සය මිය පරලොව ගියා.
මිනිහ රැකියාව වශයෙන් කළේ රා මැදිල්ල. එහෙමට පල්ලි ගිය කෙනෙකුත් නෙමෙයි.
හැබැයි පවුල් පොතක් තිබුණ.
මිනිහ දේව දරුවෙක් නොවුනට ගෙදර අනික් අය නං බොහොම භක්තියෙන් ආගම ඇදහුව…
ඒ කට්ටිය අයිති උනේ බෝලවලාන මීසමට.
අනෙ ඉතිං අපරාධෙ කියන්න බෑ අපෙ ඇඩි අයිය , ටෝනි , ඇක්මොං , විලිසොං , මර්තේලිස් කට්ටිය නිදි වරාගෙන මේ මළ ගෙදර වෙනුවෙං වෙහෙස මාන්සි උනා.
මිනිය වලදාන්න , කනත්තෙ වලකුත් කපල කට්ටිය ගියා සුවාමිට දැනුං දෙන්න අහවල් දවසෙ මළගමය , හවස තුනට මිනිය බෙංසාරු කර ගන්න පල්ලියට ගෙන එනවාය ආදී වශයෙන්..
සුවාමි මේ තරුණයො සේරම හොඳිං අඳුරණව.
උන්නාංසෙ දක්වපු ප්රතිචාරය උනේ
” මේ කාලක්රියා කළ සුවනේරිස් බොහොම අධාර්මික ජීවන වුර්තියකනෙ යෙදිල තියෙන්නෙ. ඒ මදිවට පල්ලි ආපු කෙනෙකුත් නෙමෙයි..ඒ වගේ කෙනෙක්ගෙ මිනිය පල්ලියට ගේන්න ඉඩ දෙන්නෙ කොහොමද…??
දරුවනි..නුඹලා අමනාප වන්නට එපා. මේක රෙගුලාසි වලට පටහැනියි. “
කොල්ලො ටිකට හරි හිතට අමාරුයි. කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි සිද්ද උනේ.
අනික , කතෝලිකයංට තමංගෙ ආගමානුකූලව ආශිර්වාද කරල මිනිය වලලන්න බැරි වෙනව කියන්නෙ ඉතිං…නිකං ස්වර්ග රාජ්ජෙ පෙනි පෙනි අපායට යන්න උනා වාගෙ වැඩක්.
එඩිංබරෝ ආදිපාද සහ යාලුවො ටික තීරණය කළා මේ විත්තියක් කාටවත් නොකියන්න.
” අනෙ බං රා මැද්දට සුවනේරිසා මොන තරං අහිංසක එකෙක්ද.. පව්නෙ බං පල්ලියට නොගොහිං වල දාන එක..” ටෝනි තමංගෙ සොව පල කළා…
” බොලා කලබොල නොවී හිටහං…එහෙම කොහොමද පල්ලියට යන්නැතුව ඉන්නෙ ” ඇඩී පිළිතුරු දුන්නා..
නියමිත දිනයේ පවුලෙ සියළුම නෑ හිත මිතුරන් විශාල පිරිසකගෙ හැඬුම් මැද මළගිය සුවනේරිස් අවසන් ගමන් ඇරඹුවා , ඇඩී අතුලු ගමේ හිතවතුංගෙ කරවල් මතින්.
අවමගුල් පෙරහැර බෝලවලානෙ පල්ලියෙ ගේට්ටුවෙං හැරෙද්දිම ඊට හරස් කැපූ අන්නවි රාළ
” උඹල මොනවද මේ කරන්නෙ…සුවාමි කිව්වනෙ මේ මළගම පල්ලියට ගේන්න බෑ කියල “
කියමින් සුවාමිට විස්තරේ කියන්නද කොහෙද පල්ලිය පැත්තට දුවන්න තියා ගත්ත.
කොල්ලො ටික මිනිය එක්ක පල්ලියට ලං වෙනකොටත් සුවාමි දොරකඩ…
” මේ මොකද පිරිස…? මං දැනුං දුන්නා නෙවෙද භාර ගන්ට බෑ කියාල…”
ඒ විරෝධය සත පහකට නොතැකූ පිරිස කෙලිංම උස්සං ගිහිං පෙට්ටිය තිබ්බ පල්ලිය මැද.
මළ මනුස්සයගෙ වැන්දඹුව ඉකි ගගහා අඬන්න ගත්ත අර කථාවට. මළ දුක ඉවසන්න පුලුවං ඒත් පල්ලියෙ චාරිත්ර නොකිරීමෙ දුක කොහොම ඉවසන්නද…!!
සුවාමි ඇස් උඩ ඉන්දං බලං ඉද්දි මිනිය විතරක් පල්ලිය මැද තනිකරල ආපු සෙනග එළියට ගියා…
ඇඩි අයිය මද දුරක් ගිහිං ආපිට හැරිල හයියෙං කිව්ව
” ඕං පියාණෙනි…කනව නං කන්න පුලුවං. කරෝල වේලනව නං එහෙම පුලුවං. මේං අපි ගියා…” කියල.
හපොයි දෙවියනේ මේ මොන නස්පැත්තියක්ද…!
කිව්ව නාහන මේ මිනිස්සු එක්ක රෙගුලාසි කථා කරණ එක පැත්තකට දාපු සුවාමි ඒගොල්ලො පස්සෙං ඉක්මං ගමනිං ගියා මෙහෙම කිය කිය
” මෙහෙ වරෙල්ලාආආආ…
හා මං බෙංසාරු කරල දෙන්නං…අනේ හොඳ එකාල වගෙ මෙහෙ තියල නොයා අරං ගොහිං වල දාපල්ලා…”