කතාව කියවන අයට වඩා ලියන මට කතාව කියනකන් ඉවසිල්ලක් නෑ නේ. ඉතින් පරක්කු නොකර කතාව කියන හිතුවා. ඉස්සරලම කියන්න ඕනා මේ දවස් දෙකක කතාවක් නෙමෙයි, එකම දවසෙ කතාවක් තමයි කොටස් දෙකකට ලියන්නෙ.
ඔන්න ඉතින් උදේ තේ වේලෙන් පස්සෙ පුටුවක් උඩ නිදන් උන්නු කිටියව ශොපින් උරේකට දාගෙන ආයෙත් මන් දුපතේ ජීවිතේට ගියා. ටික දුරක් ගිහින් බලනකොට මාව පහුකරගෙන යන කිටියව දැකලා පුදුම උනු පාර මන් එතනම නැවතුනා. බලනකොට මේකා ශොපින් එක ඉරාගෙන බිමට වැටිලා. කොහොමහරි අපි තීරණය කරා ඉස්සරලම දුපත ගැන අධීක්ෂණය කරන්න. ඉතින් එහෙම හිතලා වටේ පිටේ ගිහින් බැලුවා. එක එක ජාතියේ සත්තු ඉන්නවා. ගස් කොලන්වලින් පිරිලා. වාහන සද්ද බද්ද නැති වනාන්තරයක්. ඇත්තටම මිනිස් වාසයට සුදුසු පරිසරයක්. කිටිය නම් ඒ වෙනකොටත් ගහක මග දුරක් නැගලා නියපොතු වලින් ගහ සූරලා ඉව කරනවා. ඒ අතර මන් බැලුවා අපි දෙන්නටම ඉන්න හොද තැනක්.
ඒ කැලෑවේ කුකුල්ලුත් හිටියා. ඒ හරියෙන් ටිකක් පහලට වෙන්න වත්ත කෙලවරේ ඌරෝ හිටියා. ඔය දෙකම පේන මානේ කජු ගහක් අයින තමයි අපිට ඉන්නම සුදුසු තැන කියලා හිතලා ආයෙත් මුහුදු සීමාවෙ තිබ්බ වී කාමරේට ගියේ පැලක් එලාගන්න පුළුවන් වී උර ටිකක් හොයාගන්න හිතාගෙන. ඊටපස්සෙ ඔය මඩුවෙ ඇවිදලා ඇවිදලා එකතු කරගත්තු පරණ වී උරේකුයි තව තව හැදි ටිකක්, වලං ටිකක්, පරණ කූඩ වගේ බඩු ටිකක් හොයාගන්න පුළුවන් උනා. වී ගබඩාව මට පෙවුනේ රොබින්සන් ෆැමලි එක ගියපු මුදුබත් උනු නැව වගේ. මාත් ඉතින් ඕන ඕන බඩු ටික ගන්න නිතරම ගියෙ ඔය නැවට. ආයෙ සැරයක් ඉතුරු බඩු ටික අරගෙන එන්න කියලා හිතලා මන් දැන් පරණ නැවට ගියා. ගිහින් බලනකොට ගන්න උරයක් නෑ. එකක බාගෙට කැට කැට වගේ මොනාදෝ මන්දා දාලා තිබ්බ පෝර උරයක් තිබුනා. ඒ ටික එතනම හලලා මන් ඒක ගත්තා. ඊටපස්සෙ තව එක එක ජති හොයනකොට මරු බොතලයක් තිබ්බා. අර ඉනෙ බැදගෙන කැලේ යන වතුර බොතලේකට ඕක හොදා කියලා ඒකෙ තිබ්බ වතුර ටික අර පොහොර ගොඩ උඩටම හලලා ලනුවක් අරගෙන බෝතලේ ඉනෙ බැදගත්තා. අම්මෝහ් ඒකෙ සැර.. නහය කඩාගෙන යන සැර සුවදක් ඒක.
කොහොමහරි තව උර ටිකක් ගන්න හිතාගෙන වී උරයක් හිල් කරලා වී ටික එලියට ගන්න ගියත් එකක් උඩ එකක් විදියට ගොඩ ගහලා තිබ්බ වී උර මට ගන්න බැරි හින්දා ඒ වැඩේ මගදි අතෑරලා දැම්ම. වී උරෙන් කාලක විතර වී ටික බිම. දැන් ඉතින් පරණ නැවෙන් බඩු ටිකත් අරගෙන මන් ආයෙත් දූපතට ගියා. ඒ යන ගමන මට හිතුනා මේක දූපතක් නම් සත්තු කූඩු වල ඉන්න බෑ නේ නේද කියලා. ඉතින් කුකුල්ලු ටිකව හිමීට කුඩිවෙන් එලියට ගන්න ගමන් මට මතක් උනේ ක්‍රිස්ටිනාගේ ක්‍රිස්ටියානා කියන කිකිළිව. මාත් ඉතින් ලගින් ගිය කුකුළෙක් ගෙ ඇගට පැනලා ඌව අල්ලගෙන එක්කන් ගියා මගෙ කූඩාරම හදන තැනට. ඒ කුකුල්ලු හරිම සංවරයි. උන් දහයියායි පනුවොයි කෑවා මිසක් උන්ගෙන් කිසිම හානියක් උනේ නෑ. කූඩාරමට ගෙනාව කුකුළව පැතතකින් තියලා. ලොකු ගස්ලබු කොල දෙකක් කඩාගෙන ඒක මගේ අවාන කරගෙන කූඩාරමට වෙලා පවන් ගගහා හිටියා. හිතුවට වඩා දූපතේ ජීවිතේ හරිම සොදුරුයි. කිටියත් ලිං බැම්ම උඩ සැපට නිදාගෙන විවේක සුවයෙන් හිටියා.
අපේ මේ නිසංසල වින්දනය චංචල වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඒ එකපාරම කඩා වැදුනු ඒ කැලෑව ජීවිතය කරගෙන ජීවත් උනු ගෝත්‍රික කන්ඩායමක් එකපාරම මගේ කූඩාරම වටකරගත්තු නිසා. මන් එකපාරම කජු ගහේ අස්සක හැන්ගිලා බලන් හිටියා. එතකොට උන්
අල ගල බල අල ගල බල හහ් හහ් අල ගල බල…
කියලා කකුල් වලට ගගහා කජු ගහ වටෙට නටනවා. ඊටපස්සෙ ආයෙ මන් කජු ගහගාවට දුවලා හැන්ගිලා තුවක්කුවක් හොයාගන්නවා ඇල්බීසියා ලීයකින්. ඊටපස්සෙ ආයෙ මන් දුවනවා ගහ ඉස්සරහට. ඔව් ඔව් ගෝත්‍රික නායකයත් මන්ම තමයි. මේ කල බල අස්සේ කිටියාව හෙව්වත් කිටියා පේනතෙක් මානෙකවත් නෑ. ටක්ගාලා ගිහින් ලිපෙන් අගුරු අරගෙන මූන ඇදගෙන ආයෙ දුවගෙන ආවා දූපතට. දැන් මන් ගෝත්‍රික නායකයා.
හකුනමටාටා… අල ගල බල අල ගල බල ජිං ජිං.. ගෝත්‍රික නායකයා කියන කිසිදෙයක් මට තේරෙන්නෙ නෑ. හැබැයි එයා මොනාහරි බිම ඇදලා පෙන්නුවා. කන්දක් තියනවා ඒ කන්දෙන් එහා කතිර සලකුනු දැම්මා.
ජා ජා අයිජේ හකුනමටාටා.. මොකක්ද මේ මනුස්සයා මට කියන්නේ? මට හරිම ප්‍රශ්නයක්. එයා බිම ඇන්දේ සිතියමක් කියලා මන් තේරුම් ගත්තා. ( මොකද ඉතින් ගෝත්‍රික නායකයා කියන්නෙත් කෲසො කියන්නෙත් දෙන්නම මං හින්දා උන් දෙන්නම හිතනෙ මගෙ යටි බඩෙන්නේ. ) මන් දැන් හොදට මේ සිතියම විශ්ලේෂණය කරා. ඔව් මේ ලකුනු කරලා තියෙන්නේ බලකොටුවක්. මේ තැනට ගෝත්‍රික නායකයා මට යන්න කියලා සංඥා කරනවා. ඒත් මොකටද?
අල ගල බල ජිං ජා කිජ ගං ජික ජා.. එහෙ ලොකු ප්‍රශ්නයක් වගෙයි. මගෙන් උදව් ඉල්ලනවා.
ජා ජා ජා ජා.. ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න ඕනා. මන් හිතන්නෙ ගොත්‍රික කන්ඩායමට තර්ජනයක්. මන් මගෙ බඩු ටිකත් දාගෙන ගෝත්‍රික නායකයා එක්ක යන්න පිටත් උනා. දැන් අපි දෙන්නම සිතියමේ තියෙන විදියට යනවා. ඒ යනකොට අපිට කූඹි, කඩි ගැඩවිලෝ පනුවෝ වගේ විශාල සත්තුගෙන් බේරෙන්න වෙනවා. සිතියමට අනුව ටික ටික ලන් වෙනකොට අපිට දිවුල් කියලා විශේෂ් පාශාන වර්ගයක් හම්බෙනවා.ගෝත්‍රික නායකයා විස්තර කරපු විදියට මේක විශේෂ පාෂාන වර්ගයක්. මේ දූපතෙන් විතරයි මෙව්වා තියෙන්නේ. මන් කීපයක්ම අහුලගෙන බෑග් එකට දාගත්තා. මෙහෙම ටික දුරක් යනකොට තියනවා විශාල කදවුරක්.. දෙයියනේ…..
ගෝත්‍රිකයි ගොඩක් හිරකරලා. එයාලව බේරගන්න තමයි ගෝත්‍රික නායකයා මගෙන් උදව් ඉල්ලුවෙ. මේක ශුවර් එකටම පාසන්ස් කියන නපුරු මිනිහගෙ වැඩක් වෙන්න ඕනා. ටික වෙලාවක් මන් හැන්ගිලා බලන් හිටියා. හිරකාරයි හරිම නොසන්සුන්. උන්ට ඒකෙ ඇතුලෙ ඉදලා ඇති වෙලා වගෙයි. ඒ අස්සෙ මට ඇහෙනවා පසන්ස් මූද දිහා ඉදලා කෑ ගහන සද්දෙ. හරිම වියරුවෙන් අපි ඉන්න පැත්තට කෑ ගහගෙන එන්නයි හදන්නෙ. පාසන්ස් එන්න කලින් මන් මේ ටික නිදහස් කරන්න ඕනා. පාසන්ස් කාටදෝ “”බහ් බහ් බහ් “” කියලා කතා කරනවා. මිදුල වටේ අම්බිලියො ඇද ඇද කුකුල්ලු වටේ කැරකෙනවා. එක එකා අල්ලලා ආයෙත් කූඩුවට දානවා. පාසන්ස්ගෙ පෝරිසාද බල්ලව දවල් කෑමට ලෙහලා. කුකුල්ලු කලබලා වෙලා. ඔක්කෝටම වඩා පාසන්ස් කලබල වෙලා.
ආයෙත් පාසන්ස් මාව හොයාගෙන එන්න කලින් මන් මගේ ක්‍රියාන්විතය පටන් ගත්තා. පුළුවන් තරම් ඉක්මනට කදවුරේ ලොක් එක ඇරියා. පහසුවෙන් අරින්න පුළුවන් උනත් සෙල්ලමේ හැටියට එය පහසු කටයුත්තක් උනේ නෑ. මට ඉතුරු වෙලා තිබ්බේ විනාඩි කිහිපයක්. අඩියට දෙකට පාසන්ස් අපි ලගට ආවොත් අපි සේරම ඉවරයි. එහෙම උනොත් අපි හැමෝගෙම අවසානෙ. කොහොමහරි මන් දගලලා කදවුරේ දොරගුළු ගලවලා වීසි කරා.
හකුනමටාටා…. ගෝත්‍රික නායකයා සතුටින් කෑ ගැහුවා. හිරකරලා හිටපු ගෝත්‍රිකයි හයක් ක්රො ක්රො ක්රො ගාලා එලියට ආවා. ඒ එක්කම මට ඇහෙනවා පාසන්ස් ලොකු අම්මට මහා හයියෙන් කෑ ගැහුවා. දූපත දෙදරන්න පටන් ගත්තා. මන් ගැස්සිලා ගැස්සිලා බිම වැටුනා. මන් හිතන්නෙ පොළව හෙල්ලුනා. ඒක භූමිකම්පාවක් වෙන්න ඕනා. පාසන්ස්ගෙ ඔලුවෙන් දුම් දානවා වගේ පිච්චෙනවා වගේ මූනෙ ඉරියව් එකින් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දූපතේ ගිනි කන්දක්!!!!
දෙයයනේ පුළුවන් තරම් ඉක්මනට මගෙ වටේට ක්රො ක්රො ක්රො ගගා උන්නු ඌරො ටිකව හතර අතට කුලප්පු කරවල යැව්වා. උන් ලග ලග වතුවලට බෙදිලා ගියා. ඊටත් වඩා උන් බය උනේ පාසන්ස් නොහොත් මහප්පාගේ දඩෝරියාට. ඌට සක්වලම එකම මගුල් ගෙයක් කියලා දැනිලා වගේ වෙලාවකට කුකුල්ලු පස්සෙ පන්නවා ආයෙ වෙලාවකට ඌරො පස්සෙ පන්නනවා. ඌරො කුකුල්ලු පස්සෙන් ක්රො ක්රො ගගා යනකොට ඒ සද්දෙට බය වෙන කුකුල්ලු පරණ ලෑම්මාස්ටරක් ස්ටාට් කරනවා වගේ ලග පිකප් වෙලා ටිකක් උඩ ගිහින් ආයෙ දුවනවා. ආයෙ ටිකක් උඩ හිහින් ආයෙ දුවනවා. උඩ යනවා දුවනවා. දුවනවා උඩ යනවා. උන් තටු ගහද්දි බය වෙන ඌරෙක් දෙන්නෙක් වත්ත වටේ යනවා. කොතනින් කොහොම කන්නද කියලා හිතාගන්න බැරි මික්ස් ෆෘට් කන්න වගේ බලන් ඉන්න දඩෝරියා කුකුල්ලු පස්සෙ පන්නනවා ආයෙ ටිකකින් ඌරෙක්ට පන්නවා. හැබැයි දඩෝරියා එකෙක්වත් හැපුවෙ නම් නෑ.
සේරම වෙනස් වෙන්න ගත්තෙ දඩෝරියා මගෙ පස්සෙ පන්නකොටයි. කරන්න දෙයක් නැති තැන මන් ඌරෙක් පස්සෙ දිව්වෙ දඩෝරියාගෙ ආසාව උරෙක්ට යොමු කරන්න හිතාගෙන. ඒ අතරතුර මන් කෑ ගැහුවා. දූපතේ තව කවුරුහරු ඉතුරු වෙක හිටියා නම් එයාලටත් බේරෙන්න පුළුවන් එතකොට.
“”” අනේ මන් කූසො… මට බල්ල පනනවෝ……”” කියලා තමයි මන් කෑගලා තිබ්බේ.
ඒ සද්දෙට ලොකු අම්මා ඇවිත්, හනස්සක් මාන්නගෙන මන් පස්සෙ පන්නන දඩෝරියා පස්සෙන් ලොකු අම්මා පැන්නුවා. දඩෝරියා මාව පැන්නුවා මන් ඌරො පැන්නුවා ඌරො කුකුල්ලු පැන්නුවා මහප්පා ලොකු අම්මා පස්සෙන් ආවා. කොහොමහරි කට්ටියම එකතුවෙලා දඩෝරියාව ඌරු කොටුවට දාලා වහලා කුකුල්ලු හොයන්න පටන් ගත්තා.
හෙණ පිට හෙණ ගැහිලා හෙණ වලින් පුච්ව්පු රොටියකට ආයෙත් හෙණ ගහලා වගේ තිබ්බ මහප්පගෙ මූන බලන්න බයෙ බෑ. ඊටත්වඩා නැවකට අහුවුනු පොල් ලෙල්ලක් වගේ අදුරු උනු ලොකු අම්මාගෙ මූන බලන්න දුකේ බෑ. ඒත් ඉතින්
බාහ් බාහ් බාහ් කිකිළි තාම ආවෙ නැහ් කිකිළි කිය කියා නාහෙන් අඩ අඩා මහප්පා කුකුල්ලු හොයනවා. මල්වර වෙලා වගේ පදුරු අස්සෙ හැන්ගිලා හිටපු කුකුල්ලු එකා දෙන්නා හොයා ගන්නකොට ඒ වැඩේ අපිට බාරදීලා මහප්පා ගියා ඌරො හොයන්න. මාත් ඉතින් පදුරු අස්සෙ බඩ ගගා කුකුල්ලු අල්ල අල්ල දුන්නා ලොකු අම්මට.
එතකොට ඔන්න ආයෙත් මහප්පා සරමත් එහාට මෙහාට ඇද ඇද එනවා ලොකු අම්මා හොයාගෙන. අත දික්කර දික්කර මොනාදෝ කියනවා.
ඉහල ගමෙත් රත්තරන්.. පහල ගමෙත් රත්තරන්.. එව්වා කන්න ඉස්තරම්.. බලන්න හරි නාඩගම්..
.
කියලා මහප්පා ඇබ් ඇබ් ගගා මොනාදෝ කියනපාර මායි ලොකු අම්මයිත් ඒ පැත්තට දිව්වා. දිව්වා විතරයි මෙන් මහප්පා නාහෙන් අඩනවා..
අනේ නොනේ.. කුකුලන්ට නම් බහ් බග් ගාන්න පුළුවන් පූසට නම් ඉසේ ඉසේ ගාන්න පුළුවන් බල්ලට නම් චන්ඩි චන්ඩි කියන්න පුළුවන්.. ඌරන්ට කොහොමද දෙයියනේ මන් කතා කරන්නේ.. ???? කොහොමද මුන්ටික අල්ලාගන්නෙ…?? කියලා මහප්පා කෑ ගහන පාර ඇත්තටම මාත් කල්පනා කරා ඌරන්ට කොහොමද යකෝ කතා කරන්නේ කියලා. හරිනේ! පත්තු උනා.. ඌරන්ට කියන්නේ බානබස් කියලා. ඔව් ඔව්ව් රොබින්සන් අන්දරේ ඌරට කිව්වේ බානබස් කියලා. ඔහොම කියලා ඉතින් අපි තුන්දෙනම බානබස් බානබස් කිය කියා හොයනකොට ඌරො ටික හොයාගන්න මහප්පට තිබ්බ හදිස්සියට අන්තිමට “” බාන “” කෑල්ල නෑ. බස් බස් විතරයි. ලොකුඅම්මා ඕක කිව්වේ “” බාස් බාස් “” කියලා. ඇත්තටම කිව්වොත් මන් බානවත් බස්වත් මුකුත් කිව්වේ නෑ. මට මහන්සි හින්දා මන් ගියා කුස්සියට වතුර බොන්න.
ඕන් ඉතින් රොබින්සන් කෲසෝට නිධානෙ හම්බුනා වගේ එක ඌරෙක් ඉන්නවා කුස්සියේ. උන්ට හදන කෑම එක කන ගමන්. ටක්ගාලා ගිහින් ලොකු අම්මට කියනකොට බස් බස් ගගා හිටපු මහප්පත් ඇවිත් ඌව අල්ලගෙන වී කාමරේට දැම්මා. ඌරු කොටුවෙ දඩෝරියාව දාලානෙ. ටිකක් වෙලා ගේ ඇතුලෙ හොයලා බලනකොට සාලෙන් එකෙකුයි මහප්පගෙ කාමරෙන් තව එකෙකුයි හොයාගන්න පුළුවන් උනා. ඒ වෙනකොට ඇමරිකාව මෙක්සිකොවට ගිහින් මෙක්සිකෝව ඊශ්‍රායලයට ගිහින් ඊශ්‍රායලය චීනට ගිහින් චීනෙ ණය හොයාගෙන ලංකාවට ඇවිත් වගේ මුලු ගෙදර ස්තාන මාරුවීම් ගොඩායි. උන්ටික වී කාමරේට දාල ඉවර උනාම අල්ලපු වත්තෙ තිබුනෙ වාහන සර්විස් එකක්. ඒකෙ කොල්ලෙක් ඇවිත් කිව්වා එක ඌරෙක් සර්විස් එකට දාලා කියලා. ටක්ගාලා ගිහින් මහප්පා ඌව අරන් එන්න යනකොට වත්ත පිටිපස්සෙ ගෙදර නැන්දා කිව්වා තව ඌරෙක් එහෙ ඇවිල්ලා කියලා ඌව අරන් එන්න කියලා එහෙ ගියාම මට හිතුනා දඩෝරියාව කූඩුවට දාලා උරන්ට ඉන්න ඉඩ හදලා දෙන්න ඕනා කියලා. ඒත් ඒකා නපුරු එකා හින්දා කෝකටත් පැත්තකට වෙලා ඉන්නකොට.. බයිසිකල් එකකින් මාමෙක් ඇවිත් කිව්වා පාර පැත්තෙ තව ඌරෙක් යනවා කියලා. ඒ මාමා මහප්පව අදුරනවා. කොහොමහරි උවත් අල්ලන් වී කාමරේට දලා.
වහලා තියලා එන්න හදනකොට ලොකු අම්මා කෑ ගැහුවා වී කාමරෙන් දරාගන්න බැරි අරක්කු සුවදක් එනවා කියලා. එතකොට මහප්පත් අත්තාපල් මුත්තාපල් අර්තාපල් මන් නම් දන්නෑ කිය කිය හතර අතේ දිවුරනවා. දිවුරුවාට කමකුත් නැ ඉතින් මහප්පා කියන්නෙ බොරුවකුත් නෙමෙයි නේ. මොකද මන් වතුර බෝතලේ කියලා හලලා අරන් තිබ්බේ අරක්කු බෝතලේනෙ. ඇත්තටම ඉතින් වී කාමරේ අරක්කු බෝතලයක් නෑ තමයි.
කොහොමහරි ඔන්න ඉතින් සේරම ඉවරවෙලා ලොකුඅම්මා සර්ෆෙක්සල් දාලා කලු කපුටා සුදු වෙනකන් කියලා මාව අතුල්ලලා මූනෙ තිබ්බ අගුරු මෝස්තර රටා මකලා හෝදලා පිහලා නාවලා අරගෙන ගවුමකුත් අන්දලා බතුත් කවලා දවල් දෙක වෙනකොට ආයෙ අප්පච්චිට බාර දුන්නා. ඊටපස්සෙ ආයෙ මන් මහප්පලාගෙ ගෙදර ගියේ විශේෂ අවස්තාවකට විතරයි.
ප.ලි. – මේ කතාව මට කට්ටිය මතක් කරලා දුන්නු කතාවක් වන අතර ඔය කාලෙ වෙච්චි කෙරිච්ච එව්වා මට මතක නෑ. ඒත් මට ලාවට හීනියට වගේ මතක බල්ලෙක් කෙසේවෙතත් ක්රො ක්රො ගගා ඌරෙක් මගෙ පස්සෙන් පැන්නුවා වගේ.
ආයෙ මතකයි මහප්පා ඉසේ ඉසේ ඉසේ…. ජුහ් ජුහ් …. ඉජුහ් ඉජුහ්… ආ කොයි කොයි කොයී…. බහ් බහ් බහ්… චුහ් චුහ් චුහ් ගා ගා ඌරො හෙව්වා.
*ඉල්ලංකනසිංහ *