කස්තුරි (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
                                                        ( උවමනාවයි, මොළෙයි, ඉංග්රීසියි තියෙනවානම් මේසන් බාස්කෙනෙකුටත් ඕස්ට්රේලියාවේ ගිහින් කෝටිපතියෙක් වෙන්න පුලුවන්)
ඊයෙ මමයි මගෙ බිරිඳ, සන්ජුයි මගේ ඥාති සොහොයුරියක් වන සුමුදු අක්කලගෙ ගෙදර රෑ කෑමට ගියා. සුමුදු අක්කා හොඳ ලස්සනට ඇඳල පැලඳල ඉන්න කැමති නවීන දේට නැඹුරු කෙනෙක්. එයාගෙ මහත්තයා චාමර. චාමර අයිය කළුයි උසයි. මූණෙ පරුෂ බවක් තිබුනට හදවත හරිම ලස්සනයි! එයාල ඕස්ට්රේලියාවෙ ස්ථිර පදිංචියට ඇවිත් දැනට අවුරුදු විසිපහක් විතර වෙනවා. අයිය දැන් හුගාක් සාර්ථක ව්යාපාරයක් කරනවා. එයාල ගෙවල් හදනවා. මේ රටේ ඒ ව්යාපාරය කරන කෙනෙකුට කෙටියෙන් කියන්නේ “බිල්ඩර්” කෙනෙක් කියලයි. අයියා එයාගෙ බුද්ධියයි ශ්රමයයි යොදවල හම්බ කරද්දි අක්කා ගෙදර ඉදං අයියගෙ ව්යාපාරයේ ගිණුම් ටික බලාගන්නවා. මේ එයාලටම ලඟදි හදාගත්තු අලුත්ම අලුත් තට්ටු දෙකේ ලස්සන ⁣නිවස. අපි ඊයෙමයි මේ ගෙදරට ආවෙ. සන්ජුයි මමයි සිඩ්නිවල කාලයක් හිටිය නිසා සුන්ජුට මේ අයව මුණගැහිල තිබුනෙ නැහැ. ලිපිනය බල බල අපි අලුතින් ගෙවල් හැදෙන Clyde කියන පැත්තෙ තියෙන මේ වීදියට ඇවිත් ඒ කියපු ලිපිනයේ ඉදිරිපිට නැවතුනා. ඒක හරිම ලස්සන මහා විශාල ගෙයක්. අපේ වාහනේ පාරෙන් නවත්තලා කලුගල් අල්ලල තිබුනු Drive way එක දිගේ මේ ගෙදර ලස්සන බලමින් අපි දෙන්නා දොර ලඟටම ආවා.
“අනේ රුවන්, බෙල් එක ගහන්න ඉස්සෙල්ලා සුමුදු අක්කට කෝල් එකක් අරං බලන්නකො අපි ඉන්නෙ හරි තැනද කියල ” ටිකක් තුෂ්නිම්භුත වුනු සන්ජු රහසින් වගේ මට කිව්වේ ලංකාවෙ කෙනෙකුට මෙහෙම දෙයක් කරගන්න පුලුවන්ද කියන සැකය එයාගෙ ඔලුවෙ තිබුණු නිසා වෙන්නඕන.
“පිස්සුද සුන්ජු! මේ එයාලග ගෙදර තමයි” කියල මම බෙල් එක එබුවා. එතකොට තමයි පඩිපෙලෙන් කවුද දුවගෙන දුවගෙන එනවා ඇහුනෙ. දොර ඇරපු ගමන් සුමුදු අක්කා
“අනේ රුවනෝ !!! ඔයාගෙ කොණ්ඩෙත් පැහිල නේද දැං”
කියල මාව බදාගත්තෙ.
“සන්ජූ ….!!!! C’mon in C’mon in dear!!! How are you ?” කියල සුමුදු අක්කා මගෙ බිරිඳව බදාගත්තෙ පොශ් කියල පෙන්නන්න එහෙම නෙවෙයි. ඒ එයා අවුරුදු විසිපක් මේ රටේ ඉඳල හුරුවුනු විදිය නිසත් සුන්ජු කොළඹ සල්ලි තියෙන පවුලක හැදුණු බව මම කියල තිබුනු නිසාත් වෙන්න ඕන.
” අයියා wash එකක් දාගන්නවා. එයා ඉක්මනින් එයි. චාමර…!! මෙන්න රුවන්ල ආවා. ඔය නෑව ඇති අනේ . ඉක්මනට එන්ඩකෝ”
සුමුදු අක්කා හැමදාම තමන්ගෙ නෑදෑයන්ට ආදරේකල කෙනෙක්.
එයා සතුටින්ම හිටියෙ නෑදෑයො එක්ක.
“ඔයාලට surprise එකක් කරන්න හිටියෙ. චූටි නංගිලත් එනවා අද සෙට්වෙන්න. එයාල ටිකක් පරක්කු වෙනවලු. ජනකගෙ ජොබ් එක මේ ටිකේ බිසිලු. Overtime කරන්නම වෙනවලු.”
සුමුදු අක්කා මගෙ මූණෙ ඉරියව්වල වෙනසක් වෙනවද බැලුවෙ අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා චූටි නංගිත් එක්ක මගෙ ප්රශ්නයක් ඇතිවුනු නිසා. චූටි නංගි මගෙ එක්කුසේ උපන් නංගි. එයා ලංකාවෙන් එද්දි මට අම්මා දෙන්න හිටිය ඉඩම විකුණලා සල්ලි ගත්තා. ඒකට මගෙ හිත ගොඩාක් රිදුනා.
“ඒකට කමක් නැහැ අයියෙ ඒ ඔයාගෙම නංගිනෙ”
කියල මගෙ හිත හැදුවෙ සන්ජු. සංජු හැමදාම ලද දෙයින් සතුටුවුනා. චූටි නංගිත්, විශේෂයෙන්ම සුමුදු අක්කත් සන්ජුට වඩා හාත්පසින්ම වෙනස්. එයාල එයාලගෙ මිනිස්සුන්ගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුනා. සාර්ථකත්වය මනිද්දි ධණයට වැඩි බරක් දුන්නා. එයාල තමන්ගෙ මිනිහට “මේ අපිට ඇති” කියල හිතන්නවත් ඉඩ දුන්නෙ නැහැ. චාමර අයියා බාත්රෑම් එකෙන් එනතුරු මේ ගැන සිතමින් හිටිය මගෙ සිත අමුතුම පැත්තකට ඇදුනා.
මට අද පෙන්නන්න මහ ලොකු වත්කමක් නැහැ. ඒත් චාමර අයියා හුගාක් දියුණුයි. තමන්ගෙ ගෑනිගෙ නෑයො ආපු වෙලේ අතට හුජ්ජ කරල ගොනාගෙ කර මසාජ් කරන එක එතනට ගැ⁣ලපෙන්නෙ නැහැ කියල දැනගන්න තරම් මට බුද්ධියක් තිබුනා. ඒත් චාමර අයියා ඒක දැනගෙන නොහිටපු කාලයක් තිබුනා. මම පාරෙ අයිනෙ කවුරු හරි සුද්දෙක් වෙන කෙනෙකුට පාවිච්චියට ගෙනියන්න එලියට දාල තියෙන පුටුවක් මේසයක් ගෙනාවොත් සන්ජු මාව අගේකර කර ඒවා ගෙදර පාවිච්චියට ගන්නවා. ඒත් චාමර අයියා එහෙම එකක් ගෙනාවොත් සුමුදු අක්කා උන්දව ලංකාවට යවයි. චූටි නංගිටත් දැන් ගෙවල් දෙකක් තියෙනවා. එයත් ජනකව කරත්තෙ බැඳපු ගොනාව වගේ සාර්ථකත්වය දිහාවටම දක්කනවා. ඒත් සන්ජු මට හැමදාම කියන්නෙ ලද දෙයින් සතුටු වෙමු කියල
ම⁣ගෙ හිත සුමුදු අක්කගෙ අලුත් ගෙදර මහ මේසේ ඉඳගෙන මගෙන් මෙහෙම ප්රශ්නයක් ඇහුවා
“ඇත්තටම මම බැන්දෙ වැරදි ගෑනිවද? සන්ජුගෙ මේ සරළකමමද අද මට වත්කමක් නැතිවෙන්න හේතුව?”
“අපෙ අප්පොච්චියෝ රුවන් මල්ලි උඹ නාකි වෙලානෙ”
චාමර අයිය සද්දෙට කියද්දියි මම පියවි ලෝකෙට ආවෙ.
චාමර අයියා බාත්රෑම් එකෙන් එලියට ආවෙ තුවාය පටලවගෙන. සුන්ජුට ඇත්තටම ලැජ්ජ හිතුනා කියල එයාගෙ මූණ රතුවෙද්දි සුමුදු අක්කා දැක්කා.
” අයියෝ චාමර ! ලැජ්ජා නැද්ද මනුස්සයො? ගිහින් ඇඳුමක් දාගෙන එනවකො” සුමුදු අක්කා බොරු තරහක් අරං ගස්සල ඔලුව හැරෙව්වට තවමත් කඩවසම් ශරීරයක් තියෙන චාමර අයියා ගැන එයාට එවෙලෙ තිබුනෙ ආඩම්බරයක්. සුමුදු තිගැස්සුණු හැටි මට හොඳටම පෙනුනා. එයා ඒ බව මගෙන් වසන් කරන්න උපරිම උත්සාහ කලා. චාමර අයියා කෝටිපතියෙක්! කඩවසම්! උසයි! මට වඩා හැම අතින්ම හොඳයි කිව්වොත් නිවැරැදියි.
” ගොඩයා ගොඩයා”
සුමුදු අක්කා චාමර අයියට විහිලු කරල කොක්හඬ නගලා සන්ජු දිහා බලල හිනාවුනා. මමත් ඒ අවස්ථාව අරං චාමර අයියා ඉස්සර කෙතරම් ගොඩයෙක්ද කියල සන්ජුට පැහැදිලි කරන්න හදලත් මගෙම ගැටලුව දැකල කණස්සල්ල ගිලගෙන නිශ්ශබ්ද වෙන්න තීරණය කලා.
ඒත් සුමුදු අක්කයි චාමර අයියයි හැමදාම මෙහෙම හිටියෙ නැහැ. එයාලගෙ ජීවිතය හුගාක් වෙනස් වෙන්න තිබුනා. ඒ කතාව මම මෙහෙම ලියන්නම්. සුමුදු අක්කා හෙට්ටිපොල නැන්දගෙ දුව. එයා බැන්ඳෙ කහටගස්දිගිලියෙ චාමර අයියව. සුමුදු අක්කා උසස් පෙලට ගිණුම්කරණය ඉගෙනගත්තට කොල්ලෙකුගෙ හුටපටයක් නිසා ලොකු ප්රශ්න වගේකට මූණ ⁣දුන්නා. අන්තිමට නැන්දල අක්කව ඉක්මනට බන්ඳල දෙන්න කෙනෙක්ව හෙව්වා. බිංගිරියෙ මහප්පලාගෙ ලොකු පුතා තමයි චාමර අයියව අපේ අක්කට පංගාර්තු කලේ. මහප්පලාගෙ ලොකු පුතා ඒ කාලෙ දෙහිවල දිහා මේසන් බාස් කෙනෙක් ගාව අත්වැඩකට ගියා. එතනදි තමයි මිනිහා චාමර අයියව අඳුනගෙන තියෙන්නෙ. ඒ දවස්වල චාමර අයියා එතන බාස් කෙනෙක්. නැන්දලත් හනි හිනික අවුරුදු විසි එක පිරුණු ගමන් සුමුදු අක්කව චාමර අයියට පංගාර්තු කරල අතහෝද ගත්තා. හෙට්ටිපොල මාම ආදරේට හදපු පිහාටු කැරකුණු කාපිරි කිකිලිගෙ ලේවලින් හෙට්ටිපොළ නැන්ද සූක්ෂමව හෝදපු සුමුදු අක්කගෙ අතීතයත් එක්ක චාමර අයිය අපේ පවුලට එකතු වුනා. චාමර අයියා ඉස්සර වෙල් වැඩට හරි දක්ශයි. අක්කව බැන්දයින් පස්සේ මේසන් වැඩෙන් සමුඅරං කොළඹින් ඉතිරිකරගත්තු සල්ලිත් යොදවල කුඹුරු අස්වද්දන්න පටන්ගත්තා. තමංගෙ කුඹුරු විතරක් නෙවෙයි වෙන අයගෙ කුඹුරුත් අඳේට අරං වගා කරන්න තරං උණන්දුවක් චාමර අයියට තිබුණා.
මට මතකයි ඉස්සර දවසක අපි සේරම නෑයෝ එකතුවෙලා රෝසා බස්එකකුත් කුලියට අරං සුමුදු අක්කා බලන්න කහටගස්දිගිලියට ගියහැටි. ඒ අවුරුදු විසිහතකට විතර එහා. එදා සුමුදු අක්කා කොච්චර සතුටු උනාද කියනවනං අපි එනව දැකල, ඒකිට උන්හිටි තැන් අමතක වුනා. උකුලෙ තියන කලේ කුස්සියෙන් තියල එනවද නැත්තං කලෙත් එක්කම බස් එක ලඟට දුවනවද කියල හිතාගන්න බැරිව මිදුලෙ එහෙට මෙහෙට කීප වාරයක් දුවලයි පස්සේ කලේ බිම තියල බස්එක පැත්තට දුවගෙන ආවෙ. චාමර අයියා වෙල්වැඩට ගියාම වයසක අම්මයි තාත්තයි එක්ක උයාගෙන කාල ගෙදර වැඩක් කරගෙන ඉන්න සිද්දවුනු සුමුදු අක්කට අපේ මේ පැමිනීම මහා දෙයක් වුනා.
“අනේ ඔයාල කියලවත් නෙවෙයි නේද අවේ…….”
මුහුණපුරා උතුරායන සිනාවක් තිබුනත් සුමුදු අක්කාගෙ ඇදල කියන ඒ කටහඬ සිනාවට යටින් ඇඬුවා. ගේ ඉස්සරහ පාරෙ වලවල් වහන්න චාමර අයිය උළු මෝලෙන් ගෙනල්ල දාල තිබුනු උළු කැට කෑලි උඩ සෙරෙප්පු නැතිව සුමුදු අක්ක ඉක්මනින් ඉක්මනින් බස් එක ලඟට එද්දි ⁣මගෙ පපුව හෝස් ගාල ගියා. අපි ආපුවග විස්වාස කරගන්න බැරිවවගේ වමතින් ඒ සිනාව වහගත්තෙ ඇඬුණු මුහුණත් සිනාසුනු මුහුණත් අතර දෝලනය වෙමින්. ඒත් හෙට්ටපොල නැන්ද බස් එකේ ජනේලෙන් ඔලුව දාලා
“අනේ මගෙ කෙල්ල හොඳටම කළු වෙලා”
කියද්දි සුමුදු අක්කා අත් දෙකෙන්ම මුහුණ වහගෙන කඳුලු හලන්න ගත්තෙ අපි දවසක එයාව බලන්න එයි කියන බලාපොරොත්තුව හදවතේ හංගගෙන හිටි ආකාරයට සාක්කි කියමින්. අම්මෙකුට දුවෙකුගෙත් දුවෙකුට අම්මෙකුගෙත් බැඳීම මහමෙරක් වගේ. ලොකු අක්කට හෙට්ටිපොළ නැන්දල කිට්ටුවෙන්ම කසාදයක් කරගෙන ඉන්න තිබුනනම් කොච්චර වාසනාවක්ද කියල එවෙලෙ මට හිතුනා.
අපි සේරම බස් එකෙන් බැහැල මහන්සිය නිවද්දි චාමර අයියගෙ තාත්තා හරි උනන්දුවෙන් අපිට සංග්රහ කරන්න පටන් ගත්තා. ඒ වයස ජෝඩුව හරිම ගුණයහපත් මිනිස්සු! බුලත් විටෙන් රතුවුනු කට ⁣පුරෝල හිනාවෙන ඒ මාමා නැන්දත් එක්කම හුගාක් ලඟින් හිටියෙ. ආගන්තුක සත්කාරයට හුගාක් නැඹුරු ඒ ඇත්තො අපිට ගහෙන් කඩපු තැඹිලි කපල බොන්න දුන්නා. අල්ලපු ගෙදර ඉලංදාරියා, පස්සේ කාලෙක චූටි නංගි බඳින මිනිහා, ජනක එදා තැඹිලි ගහට නැග්ගෙ ඒ මාමගෙ කටේ සැරටමයි. ජනක චාමර අයියගෙ බාප්පගෙ පුතා. අපේ නංගිලාගෙ සුකුරුත්තං ඉස්සරහා ජනකට ටිකක් ලැජ්ජා හිතුනා. ආඩම්බර කමකටවත් උඩඟු කමකටවත් නෙවෙයි හැබැයි තැඹිලි බාපු ගමන් ජනක ගෙදර ගියෙ නංගිල දිහා බලන්නෙවත් නැතිව. එකපාරටම කිසිම දැන්වීමක් නැතිව ඒ ගමට ආව සුමුදු අක්කගෙ සංවරේ නිසා අහිංසකයව සබකෝලෙන් දරඳඩුවෙලා.
“මල්ලියෙ! අනේ සීයගෙ මෝටබයිසිකලේ ගිහින් චාමර අයියට කියන්න ඉක්මනට එන්න කියලා”
සුමුදු අක්කා ඒ මල්ලිව ආයෙ අපහසුතාවයට පත් කල ඌට සිද්ද වෙලා තියෙන විපර්යාසය ගැන හාංකවිසියක්වත් නොදැන. කොටකලිසමක් විතරක් ඇඳල හිටිය මේ කොල්ල ඇත්තටම ජිම් එකට ගිහින් ඇඟ හදල වගේ. නංගිල ඉන්න පැත්ත බලන්නෙ නැතිව එයාල එක්ක තරහවෙලා වගේ ඇවිත් ඉස්තෝප්පුවෙ නවත්තල තිබුනු තැපැල් නයින්ටියට නැගල හරවල ගත්තෙ රෝස බස්එකේ පස්ස සෙස්සෙන් බේරල. එතකොටම කෙල්ලොටික හිචි හිචි ගාල හිනා වුනේ ජනකගෙ අපහසුතාවය තවතවත් තීව්ර කරමින්.
ටිකකින් ජනක තැපැල් නයින්ටියෙම ආයෙ ආවා.
“කෝ අයියා?” කියල සුමුදු අක්කා ඇහුවෙ චාමර අයියා කියපු ඉක්මනින්ම නොආපු එක ගැන ටිකක් නුරුස්නා ගතියෙන්.
” ගොනාව වෙලේ තියල එන්න බයයි කියල කරත්තෙම එන්නං කිව්වා” ජනක මෝටබයිසිකලේ ඉඳගෙනම කිව්වා.
පැය බාගෙකට විතර පස්සේ තමයි චාමර අයියා කරත්තෙ දක්කගෙන ආවෙ. සරම කැහැපොට ගහල කොටට ඇඳල රතුපාට බැනියමක් දාල හිටිය චාමර අයියා හරිම කඩවසම්. කරත්තෙ ලෙහලම එන්නම් කියල ගිහින් බාල්දියකට වතුර එකක් අරං ගොනාට බොන්න දුන්නා. ඊට පස්සේ කරත්තෙන් ගොනාව ලිහල බෝං ලීය උඩට උස්සල සුමුදු අක්කගෙ නෑයො සේරම බලං ඉද්දි සරම ටිකක් උස්සල අත බොකුටු කරල අතට චූ කරල ගොනාගෙ කරේ තවරල ගොනාගෙ කර මසාජ් කෙරුවෙ. අපෙ අම්මල මූණෙන් මූණ බල අත්වලින් කටවල් වහගද්දි හෙට්ටිපොළ මාම “කෙමක් කෙමක් ” කියල කාරණය සමනය කලා. ගොනා බීල ඉතුරු කරපු බාල්දියෙන්ම අත හෝදගෙන තමයි චාමර අයියා නෑයන්නට කතාකරන්න එදා ආවෙ. චාමර අයියා අපිරිසිදු මිනිහෙක් නෙවෙයි. හැබැයි එයා කිට්ටු වෙද්දි එයා ලඟ අමුතු දාඩිය ගඳක් ආවා. ඒක ඇත්තටම ගඳකට වඩා සුවඳක්මද මන්ද. චාමර අයියා කිට්ටුවට ආව හැම වතානකම මට හිතුනෙ “කස්තුරි මේ ගඳ වෙන්න ඇති ?” කියන සිතුවිල්ලමයි.
එදා හවස අපි සේරම එකතුවෙලා වැවට නාන්න ගියා. සුමුදු අක්කා අම්මල අතරෙ හුගාක් සන්තෝසෙන් හිටියෙ. නැන්දල අම්මලා විහිලු කර කර ගමේ නැන්දල එක්ක එකතු වුනා. ජනකගෙ අම්මයි චාමර අයියගෙ අම්මයි අපේ අයට දෙවෙනි නැහැ. ඇත්තම කියනවනම් අපි ඒ වෙද්දි ජනකව නමින් දන්නෙත් නැහැ. ජනක චූටි නංගිට ඇහැ ගැහුවට චූටි නංගිනම් ඒ වගේ කොල්ලෙකුට ලොවෙත් කැමති වෙන්නෙ නැහැ. අපි වැවේ බන්ට් එකට නැගල වතුරට පනිද්දි කෙල්ලො ටික හුරේ තිබ්බා. තැපැල් නයින්ටියෙ ඇවිත් වෑකන්ද උඩ නවත්තං අපි දිහා බලං හිටිය ජනක එකපාරටම ඇවිත් වැව අයිනෙ සියඹල ගහ දිගේ නගින්න පටන් ගත්තා. මිනිහගෙ මොළේ වැඩකරපු හැටි එතන හිටිය අපිට මැවිල පෙනුනා. වැව පැත්තට තිබුනු මුදුන්ම අත්තට නගිද්දි චාමර අයියගෙ අම්මා දැකල ගම කෑවා. “අන්න බලපං නංගියේ අර යකා ගහ උඩ” කියල ජනකගෙ අම්මට පෙන්නුවා. ජනකගෙ අම්මා හදිස්සියෙ දිය රෙද්දත් පටල පටල වෑ කන්දට නැගල ජනකට කෑගහන්න ගත්තා. ” ඈ බොළ බූරුවො! තෝව ඔතනින් වැටිල මැරෙයි. ලැජ්ජා නැද්ද හරකෝ තෝ උසස් පෙලට වාණිජ නේද කොරන්නෙ. බැහැපං ජනක බැහැපං ගහෙං” කියද්දි ජනකයා මොහොතකට නැවතුනා. මිනිහා හිතාපු විදියට සිද්ධිය වෙන්නෙ නැහැ කියල ඌට වැටහුණු මොහොත අපි වැවේ ඉඳල දැක්කා. අදහස වෙනස් කරල ගහෙන් බහින්න හැරෙද්දිම අත ලෙස්සල ජනකව වැවට වැටුනා. උඩ ඉඳල වැටුනු වේගෙට බඩ ඇවිලිලා ජනකට පීනගන්න බැරි වෙද්දි චාමර අයියා පීනල ගිහින් කොල්ලව ගොඩ ගත්තා. එදා රෑ අපි සේරම චාමර අයියලගෙ ගෙදරයි ජනකලගෙ ගෙදරයි පැදුරු එලාගෙන නිදාගත්තා.
සමහර ගෑණුන්ව දෛවයේ සරදමකට වගේ තමන්ගෙ සිහිනවලට ගැලපෙන්නේ නැති මිනිහෙක් එක්ක දීගකන තැනට වැටෙනවා. හුගාක් ගෑණු ඒ ලැබෙන මිනිහට ගැලපෙන්න තමන්ගෙ සිහින වෙනස් කරගන්නවා. හැබැයි බොහොම ටික දෙනෙක් ඉන්නවා මිනිහව මකල හදනවා තමන්ගෙ සිහින වලටම ගැලපෙන විදියට. සුමුදු අක්කා ඒ මකල හදන කෙනෙක්. පහුවදා උදේට කැකුළු හාල් බතුයි කරවල තෙල්දාපුවයි පොල්සම්බෝලයි කාල අපි සේරම ගෙදර එන්න සැරසුනා. එතකොට තමයි සුමුදු අක්කා ඒ තීරණය ගත්තෙ.
” අම්මෙ, මට ගෙදර එන්න ඕනා” හිරකරං උන්නු අසහනය ටික ටික එලියට ආවෙ රෝස බස්එක යන්න කලින් නොකිව්වොත් ආයෙ කවදාවත් කියන්න වෙන්නෙ නැති වෙයි කියල හිතුවා වගේ. “අම්මෙ මට මේ හද්ද පිටිසර ඉන්න බෑ” සුමුදු අක්කා සද්දෙ වැඩි කලා. ” මේ මනුස්සය එක්ක මට අනාගතයක් නැහැ නැන්දෙ.” සුමුදු අක්කා අපේ අම්මට කන්නලව් කෙරුවා. හෙට්ටිපොළ නැන්ද මේ බරපතල තත්ත්වය හිනාවකින් විසඳන්න උත්සාහකලේ හැමදාම වගේ එදත් සුමුදු අක්කව තේරුම් ගන්න බැරිවයි. සුමුදු අක්කා කෝපාවිෂ්ඨ වුනේ හෙට්ටිපොළ නැන්දගෙ හිනාව නිසා.
” මට සමාවෙයල්ලා! නාකි උඹලව බල බල මගෙ ජීවිතය නිකරුණේ විනාස කරගන්න මට බැහැ. වෙල් වැඩ කරකර ඉන්න මිනිහෙක් මට එපා” අක්කා එහෙම කියද්දි ඒ වයසක දෙන්නගෙ මූණ දුකෙන් පිරුණ හැටි මම දැක්කා. එයාල ඒ වෙනතුරු හිතං හිටියෙ සුමුදු අක්කා එයාලව බලාගත්තෙ කැමැත්තෙන් කියල. මේ සේරම වෙද්දි චාමර අයියා බිම බලාගෙන මිදුලට වෙලා ඔලුව පහලට කරං හිටියා. “මේ මිනිහා ගාව ගඳක් එනවා” ” කොච්චර නෑවත් ඒ ගඳ යන්නෙ නැහැ. මහම මහ එළු කස්තුරි ගඳක්” කියද්දි මගෙ ඇස් උඩ ගියා. අක්කවත් මමවත් කස්තුරි ගඳ මොකක්ද කියල දන්නෙ නැති වුනාට චාමර අයිය ගාවින් එන ගඳ කස්තුරි වලට සමානයි කියල හිතුවෙ ඇයි කියල අපි දෙන්නම එකිනෙකාට ස්වාධීනව හිතුවෙ කොහොමද කියල මම හිතන්න ගත්තා.
එතකොට තමයි චූටි නංගි එකපාරටම ” බූරුවො ! මගෙන් කුණුහරුප නොඅහ පල” කියල කෑගැහුවෙ. “මෙච්චර දෙයක් මෙතන වෙද්දි මේ යකා මගුල් කතාකරනවා” චූටි නංගිට හොඳටම තරහ ගිහින් තනියම මතුරනවා. බලද්දි මේ අස්සෙ ජනක ගිහින් චූටි නංගිට ආදරේ ප්රකාශකරන්න. ලැජ්ජාව දරාගන්න බැරිව මිනිහ හැරිල ගිය පාර චූටි නංගිට ලියපු ලියුමත් බිම වැටුනා. මම හිමීට ගිහින් ලියුම අහලලා දිග ඇරල බැලුවා.
” චූටි! මම ඔයාට ආදරෙයි! මේ මගෙ ලිපිනය” කියල මිනිහගෙ ලිපිනය ලියල. ජනක සමහර විට හිතන්න ඇති බැරිවෙලාවත් සුමුදු අක්කා චාමර අයියව දාලගියොත් චූටි නංගිට මුගෙ කහටගස්දිගිලියෙ ඇඩ්ඩ්රස් එක හොයාගන්න බැරිව සම්බන්දයට කණකොකා හඬයි කියලා.
මේ වෙද්දි සුමුදු අක්කා ගිහින් බස් එකට නැගල. එතකොට තමයි චාමර අයියා අක්ක ලඟට ගිහින් මෙහෙම කිව්වෙ
“ඔයා ගෙදර යන්න. හැබැයි මම ඔයාව ආයෙ මගෙ ලඟට ගන්නවා. එදාට ඔයා කැමැත්තෙන් එන තත්වයට මම වෙනස් වෙනවා”
එදා අපි සුමුදු අක්කවත් අරං ගෙදර ආවා.
චාමර අයියා ආයෙ කොළඹ ගියා. ගිහින් ඉංග්රීසි පංති ගියා. ඉංග්රීසි හොඳට ඉගෙන ගත්තා. එයාගෙ මේසන් වැඩ හැකියාවන්ට තැනක් තියෙන රටවල් හොයන්න ගත්තා. ඒ අතරෙ සුමුදු අක්කගෙ යාලුවෙකුගෙ මාර්ගයෙන් ඕස්ට්රේලියානු සමාගමක ඇබෑර්තුවකට ඉල්ලුම්පත් යැව්වා. නොපසුබට උත්සාහය නිසාම සියලුම දේ නිවැරැදිව කරගෙන ඕස්ට්රේලියාවට ආවා. ඇවිත් අවුරුද්දකින් සුමුදු අක්කව ගත්තා. ඒ විතරක් නෙවෙයි, ජනකවත් ඕස්ට්රේලියාවට ගත්තා. ජනක ඕස්ට්රේලියාවේ ගියා කියල ආරංචි වුනු ගමන් චූටි නංගි ජනකට ආදරේ කරන්න පටන් ගත්තා. ඒ දෙන්නත් බැඳල දැන් මෙල්බන්වල හොඳින් ඉන්නවා.
ඊයෙ රෑ කෑමට ජනකයි චූටි නංගියි මමයි සංජුයි සුමුදු අක්කයි චාමර අයියයි එයාලගෙ දුවයි එකතු වුනා. අපි අතීතය ගැන කතාකලා. චාමර අයියා චයිනීස් ඕඩර් කෙරුවා. එයා හරක් මස් කන්නෙ නැහැ.
” ඕනම මසක් පව් තමයි. ඒත් මට අපේ වස්සා මතක් වෙනවා මල්ලි” චාමර අයියා ඔලුව පැත්තට හරවල කිව්වා.
රෝස්ට් කරපු තාරා මස් එක්ක එක එක වර්ග වලින් නූඩ්ල්ස් ගෙනාව. ඕඩරේ වැරදිලා එක තාරා මස් පැකට් එකක් මදිවුනා. සුමුදු අක්කටයි එයාලගෙ දුවටයි චීන කෝටු වලින් කන්න බැරි නිසා චාමර අයියා අපි එක්ක කතා කරන ගමන් එයාලට කෝටුවෙන් ලස්සනට අල්ල අල්ල කැව්වා. සියලුම දෙනා සතුටු සාමීචියේ ගිලිලා ඉන්න අතරෙ මම චාමර අයියා දිහා හොඳින් බලං හිටියා. අක්කගෙයි දුවගෙයි තාරා මස් කෑලි කවල ඉවර වුනාම අයියට තිබුනු තාරා මස් කෑලි එක එක අක්කටයි දුවටයි හිමින් හිමින් කවන්න ගත්තා. එයා එලවලු කෑලි කෑවා. ඒත් එයාගෙ පිඟානෙ එයාගෙ පැත්තට එක කෑල්ලක් එයාට ඉතිරි කරගෙන හිටියා. අනික් සේරම තාරා මස් කෑලි ඉවර වුනාම කෝටු දෙකේ තුඩු දෙකෙන් රතු චීන සෝස් දාල රෝස්ට් කරපු තාරා මස්කෑල් අල්ලගෙන චාමර අයියා මඳක් පසුබට වුනා. ඉන් පසුව හිතහදාගෙන ඒ කෑල්ලත් අරං අපිත් එක්ක හිනාවෙවී කතාකරමින් හිටපු සුමුදු අක්කගෙ කටෙන් තියල කෝට දෙක මේසෙ උඩින් තිබ්බා. ඒ ටික මම විතරයි දැක්කෙ.
ඊයෙ රෑ පාටිය ඉවරවෙලා ගෙදර එද්දි හොඳටම රෑ වුනා. ඒ එන අතරෙ මමයි සන්ජුයි ටිකදුරක් නිශ්ශබ්දව ආවා. ටිකකින්
” ඒ අයියා ගාව අමුතු සුවඳක් එනව නේද?” ඒ නිශ්ශබ්දතාවය බිඳිමින් සන්ජු කිව්වා
මම නිශ්ශබ්දව අහං උන්නා.
“අපේ තාත්ති හිමාලෙ ගිහින් එද්දි අර හරිම දුර්ලභ මුව වර්ගයකින් ගන්න මොකක්ද කෑල්ලක් ගෙනාව. හුගාක් වටිනවලු. හරියටම ඒ සුවඳ “.සන්ජු ආයෙ කිව්වා.
” කස්තුරි” මට කියවුනා.
  උපුටා ගැනීම :  Mahie Ranga Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!