වසරේ වඩාත් ක්රියාකාරී ම උල්කාපාත වර්ෂා 3න් එකක් ලෙස සැලකිය හැකි ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව(Geminid meteor shower), 2020 වසරේ හොඳින්ම දර්ශනය වන උල්කාපාත වර්ෂාව ලෙස පැවසුවත් වරදක් නැහැ. මෙහි උච්චතම අවස්ථාව (දෙසැම්බර් 13-14) වන විට එම උල්කාපාත වර්ෂාවේ ZHR අගය 100-120 ක් දක්වා වර්ධනය විය හැකිය. මෙම උල්කාපාත මිථුන(Gemini) තාරකා රාශියේ දීප්තිමත් තරුවක් වන කැස්ටර් (Castor) අසලින් විහිදෙන සේ පෙනෙන නිසා උල්කාපාත වර්ෂාවට එම නම ලැබී තිබෙනවා.
දෙසැම්බර් 7 සිට 16 දක්වා මෙම උල්කාපාත වර්ෂාව සක්රීය වන අතර, එහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ දෙසැම්බර් 14 පාන්දරයි. සූර්යයා වටා කක්ෂගතව පවතින Phaethon නම් ග්රහකය නිසා මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන බවට සැලකෙනවා. උල්කාපාතව්ළ වේගය තත්පරයට සැතපුම් 22ක්/ තත්පරයට කි.මී. 35ක් පමණ වන අතර, එය ආසන්න වශයෙන් ලියොනිඩ්ස් හා පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාවල වේගයෙන් අඩක් පමණ වනවා. සාපේක්ෂව වේගය අඩු නිසාත්, ඇතැම් උල්කාපාත දීප්තිමත්ව ගිනිබෝල සේ දර්ශනය වන නිසාත් මෙම උල්කාපාත නිරීක්ෂණය කිරීමට ඔබටත් හැකිවනු නිසැකයි. එසේම මෙම උල්කාපාත විවිධ වර්ණයන්ගෙන් ද දිස්වනු ඇති…
ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්නේ කෙසේද?
දෙසැම්බර් 13-14 දිනයන්හි පෙ.ව. 2.00 සිට 4.30 දක්වා ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව එළඹෙන අතර, දෙසැම්බර් 16 දක්වාම උල්කාපාත වර්ෂාව සක්රීය වේ.
මුලින්ම ඔබ උතුරු අර්ධගෝලයේ තිබෙන මිථුන තාරකා රාශිය හඳුනාගන්න.(ඒ සඳහා ඔබට දූරකථන යෙදවුමක් යොදාගත හැකියි එය ඔබට පහසුවන පරිදි අප පහළින් සටහන් කරන්නම්) නිරිතදිග අහසේ ඇති ඔරායන් තාරකා රාශිය හඳුනාගතහොත්, ඒ ආසන්නයේම නිරිතදිග අහසේ ඉහළට වන්නට ඇති මිථුන තාරකා රාශිය හඳුනාගැනීමට පහසු ය. ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාවේ විමෝචක ලක්ෂ්යය(radiant) පිහිටන්නේ මිථුන තාරකා රාශියේ දීප්තිමත් තරුවක් වන Castor අසලයි. වෙනත් එළිවලින් බාධා නොවුණහොත් පැයකට උල්කාපාත 60-120ත් අතර ප්රමාණයක් දැකගත හැකියි. ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාවේ අසිරිය විඳගැනීමට හොඳම වෙලාව පෙ.ව. 2.00 සිට ඇරඹෙනවා. කෙසේ වෙතත් ප.ව. 9.00-10.00 සිට ම මෙම උල්කාපාත වර්ෂාව දැකිය හැකි වනවා.
දෙසැම්බර් 14 රාත්රියේ නව සඳක් පායන බැවින් උල්කාපාත නිරීක්ෂණයට සුදුසු, අඳුරු අහසක් තිබීම මෙම වසරේදී ලැබුණු විශේෂ අවස්ථාවකි. කෙසේ නමුත් නිවසේ විදුලි පහන් නිවා මිනිත්තු 20ක් පමණ ඔබේ දෑස් අඳුරට හුරු කරගැනීම වැදගත් වනවා. උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය සඳහා හුදෙක් එහි විමෝචක ලක්ෂ්යයවත්, මිථුන තාරකා රාශියවත් නිරික්ෂණය කිරීම ප්රමාණවත් නොවන අතර, මුළු නිරිතදිග, බටහිර අහස දෙසම අවධානය යොමු කරන්න. අවශ්යනම් දෙනෙතියකින්(binocular) වුවද උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකියි.
මිථුන තරු රටාව හෝ ජෙමිනි උල්කාපාත වර්ෂාව ඔබට සොයාගැනීමට යොදාගතහැකි විවිධ ජංගම දුරකථන යෙදවුම් කිහිපයක් පහත දැක්වේ.
1. Stellarium (iOS/Android)
2. Google Sky Map (Android)
3. Night Sky (iOS)
4. Sky Map
5. Star Walk 2
(Keywords : Gemini, Geminid)
උපුටා ගැනීම : Bhagya D. Kumarasinghe