ඔයා මේක කනවද ? නැත්නම්..
පොඩි එවුන්ට කෑම කැවීම සමහර වෙලාවකට යුද්ධයකි. ඇතැම් විට කෑම පැත්තක තියා අම්මයි ළමයයි දෙන්නම අඩන අවස්ථා ඇත.
මේ සිදුවීම වූවේ දුම්රිය මාර්ගයක් අසල තිබූ දෙමහල් නිවසකය. මේ නිවසේ වයස අවුරුදු 4ක පමණ පුතෙක් සිටී. එසේ මෙසේ පුතෙක් නොව දඟ මල්ලකි.
ඉතින් දවසක් මෙයාගෙ අම්මා ඉහල මහලෙ ඉදන් බත් පිඟානත් අරන් පුතාට කෑම කවන්න දැඩි උත්සහයක් නිරතව සිටින්නීය.
කොල්ලාගේ අවධානය සෙල්ලමටය. කුඩා සෙල්ලම් කාර් එකක් අතට ගෙන එය කාමරය පුරාම ඔහු පදින්නේ කෑම ගැන වගේ වගක් නැතුවය.
වදෙන් පොරෙන් කෑම කටවල් දෙක තුනක් කැවුවත් එක තැනක නොසිට දුවන නිසා අම්මාගේ කේන්තිය ටික ටික වැඩි වෙමින් පවතී.
පුතාට එය ගානක් නැත. බිත්ති දිගේ බිම දිගේ යන කාර් එක ඇතැම්විට පාර්ක් කරන්නෙ වාඩිවී සිටින අම්මාගේ හිස මතය.
බැරිම තැන. “මේ පුතේ ඔයා ඔය කාර් එකත් එක්ක කරන සෙල්ලම නවත්තලා දැන්ම බත් කන්න එන්න. නැත්නම් මම ඔය කාර් එක විසි කරනවා කෝච්චි පාරට” අම්මා ගුඟුලේය.
එවදන් ඇසෙත්ම සෙල්ලම නවතා කාරය සහිත අත පසුපසට කර අම්මා ළඟට වහාම පැමිණි පුතා “ඔයා එහෙම කලොත් මම ඔයාව කෝච්චි පාරට විසි කරනවා.” යයි අම්මාට නොදෙවෙනි අභීත ටෝන් එකකින් පිළිතුරු දුන්නේය.
අනපේක්ෂිත පිළිතුරෙන් අන්දමන්ද වූ අම්මා “අනේ පුතේ ඔයා තාම පුංචියිනෙ. ඔයා මාව විසි කලොත් කව්ද ඔයාට ලොකු වෙනකම් කන්න හදල දෙන්නෙ ? .කෑම කෑවෙ නැත්නම් ඔයාට ලොකු වෙන්න බැහැනෙ. ” යයි හඩ බාල කර ආදරයෙන් පැවසුවාය.
මදක් නිහඩව ඇය දෙස බලා සිටි පුතා. “හා එහෙනම් මම කාලා කාලා ලොකු වෙලා ඔයාව කෝච්චි පාරට විසි කරන්නම්”. යයි පැවසුවේ තමන්ගෙ ටාගට් එක වෙනස් නොකරය.
උපුටා ගැනීම : Nirantha Vissundara