කොණ්ඩය කැපීමේදී බාබර් කැපුවත් මා තනියම කැපුවත් 99%ක් අවස්ථා වල කුමන හෝ අල බෝලයක් වෙයි. එසේ හෙයින් බාබර්ට කුද ගහගන්නැයි කියා මා තනියම කොණ්ඩය කැපීමට පුරුදු වූයේ පසුගිය ලොක්ඩවුන් සමයේය.
ඔබ සිතන්නේ දැන් මා හොඳින් පුරුදු වී පෙරට වඩා හොඳින් කපාගන්නවා කියා ද? අඳෝමැයි, නැත.
මගේ කොණ්ඩය කෙසේ තිබුණද එය කිසිවෙකුට ප්රශ්නයක් නොවෙයි. ඒ කිසිවෙකුත් ඒ දෙස නොබලන බැවිනි. අප මවුතුමිය කෙසේ වුවද අප පියාණෝ නම් කිසි දිනෙක එහි ඇදයක් කියා නැත. කියන්නට ඔහු දකින්නේද නැත. දුටුවද සත පහකට ගණන් ගන්නේද නැත.
ඊයේ සවස් භාගයේ කොණ්ඩය කැපීමේදී දරුණු ගණයේ අත් වැරැද්දක් සිදු වූ බව මට හැඟී ගියද එය එතරම් ගණනකට නොගත්තේ මා දේවල් වරද්දා ගන්නේ පුරුදු වීමට නොවන බැවිනි. කෙසේ වුවද අද අප පියාණෝ ඉණිමඟක නැඟ බරපතල වැඩකය. මා වටේ කැරකෙනු දුටු ඔහු කවදාවත් නැතිව මාගේ කොණ්ඩය ගැන කොමෙන්ටුවක් දැමීය.
“ප්රිය පුතණුව, ඔබගේ හිස සුනඛයින්ට ආහාර පිණිස දුන්නේ දැ?”
හරි ය, බඩු පැකට් ය. ඉතාම සුළු සරල සමීකරණයක් විසඳීමෙන් ඉතුරු ටික මා සිතා ගත්තෙමි ය. පාරේ යාමට නොහැකි බැව් ප්රත්යක්ෂය. කොරෝනා ආවේ පෙර පිනකටය. මාස්ක් සරණං ගච්ඡාමි ය. තොපි එකෙක්වත් මා පාරේ දුටහොත් හඳුනා ගැනීම නොකළ මනාය.
කොණ්ඩය වැවෙන තුරු සැඟමී සිටිමි ය.
උපුටා ගැනීම : Nipuna Dodantenna