සේපාලිකා මල් ආයම පිපිලා . ගහ යට මල් යායක් .
ගහ යටට වැටුනමයි දැන් පේන්නේ මල් . එයා එච්චරම ලොකුයි දැන් . මල් මිටක් ඇහිදලා නැහැයට ලන්කරනකොට හිත ගියා දුර අතීතේ ටම. අවුරුදු 24 ක් දැන්. .කාලය යනවා. ඒත් සමහර මතක හරියටම ෆිල්ම් එකක් වගේ..
ඒ 1996 අගෝස්තුවේදී . හරියටම අපි විවාහ වෙලා මාස තුනයි. ගහ කොල ජීවිතේ කරගෙන හිටිය මම අපේ ගෙදර පදිංචි වුන දවසේ ඉදලා කරේ ගස් හිටවන එකයි මල් හිටවන එකයි.
“”මොකක්ද ඔයා මේ ගේ අස්සේ හිටවන්න යන්නේ ? “””
“”සේපාලිකා පැලයක් .””
“”ඉතින් මේ ඕන තරම් ඉඩ තියෙන්නේ . ඔතන ගෙට ලග වැඩි නැද්ද ..?””
“”ඒත් ඒක ඕන මෙතනටනේ””
“”ඇයි…..?””
ප්රශ්න පිට ප්රශ්න .
විවාහ වෙලා මාස තුනක් වුනත් සමහර දේවල් එයාට කියන්න ලැජ්ජයි මන්. ඒක ප්රොපෝසල් මගෙ පැත්තෙන් . ඒත් එයාට නම් හිත ගිය එකම කෙල්ල . බරටම දෑවැදි එක්ක කෙල්ලෝ හොයපු එයා මාව ඉල්ලන් ආවේ මම ඉගෙනගද්දිම. ජීවිතේ සමහර ප්රශ්න නිසා හෙම්බත්වෙලා හිටපු මම කිව්වේ ගෙදරින් හා නම් හා කියලා විතරයි . දැකලා මාස දෙකෙන් එයා මාව ගෙනාවා ලොකු මගුල් පෙරහැරකින්. එතකොට කැම්පස් සෙකන්ඩ් ඉයර් මම .
මම හිටියේ ලොකු කල්පනාවක.
“”මොකටද ඕක මෙතනම හිටවන්නේ..?””
ආයිමත් ප්රශ්නයක් .
“”අපේ කාමරේට සුවද එන්න. මම ඒ සුවදට හරි ආසයි .””
“”මමත් ආසා සුවදක්. “”
අපි රෑට ජනෙල් ඇරගෙන නිදියන්නේ . මම එදා වින්දා ඒ සුවද කාමරේට පිරෙන හැටි.
ඔව් ඒක එහෙම වුනා.
මල් පිපුණා . බර වෙන්නම. හැම මල් වාරෙකම ඒ මල් අපිට සුවද දුන්නා . අපි රංඩු කලත් ආදරේ කලත් එයා අපිට සුවද දුන්නා .
කාලය වේගයෙන් ගෙවිලා ගියා. අපි රංඩු දබර , යුතුකම් වගකීම් , වගේම ආදරය එක්ක
දරු පැටව් තුන්දෙනෙක් ගේ දෙමාපියන් වුනා. කිසිම දේකින් හිග කලේ නැති තාත්තා කෙනෙක් වුනා එයා.
ඒ කාලය තුල මොනතරම් හිත් රිදවුනාද. කාටත් හොරා කොච්චර අඩන්න ඇතිද. දරාගැනිම ඉවසීම හා ආදරය මොනතරම් දේවල් වෙනස් කලාද . පරිත්යාගය කැපකිරීම ජීවිතේ ට සතුට ගේන්න පටන් අරන් තිබුනා ..
රංඩු එක්කම.
ඒ 2013 ජූනි 08. වෙලාව හරියටම 2. 40 යි. මම හිටියේ කාමරේ කන්නාඩි මේසේ ඉස්සරහ . ඉස්කෝලේ ඇරිලා ඇවිත් සාරිය විතරයි මට ගලවන්න වුනේ. මගේ මෝටරෝලා පෝන් එකට එයා කතා කලා.
වෙනදා මම එන වෙලාවට කෑම කන්න එයා ගෙදර එන වෙලාව. ඒත් ඒ කෝල් එක ජීවිතේ මේතරම් අසරණ කරයි කියලා හිතුවද. ඒ ජීවිතේ අවාසනාවන්තම ඇමතුම කියලා හිතුවද…. නෑ. ජීවිතේ හරි පුදුමයි .
“”අම්මා ඔයා ගෙදර ආවද…?””
“”ඔව් දැන් ආවේ කොහෙද තාත්තා ඔයා.?””
“””මම මරදන්කඩවල . වාහනයක් පොලොන්නරු ඇරියා මෙහෙදි ක්ලච් ප්ලේට් ගිහින්. ඒක හදලා ඇරියා. ඒත් මට දැන් නැගිටින්න බෑ . කකුල් පණ නෑ ඔළුව පැලෙන්න රිදෙනවා .””
එච්චරමයි කිව්වේ . එතන ඉදලා ලග හිටිය කෙනෙක් කතා කලේ.
එයා ගොත වුනා. එයා යෝධයෙක් එයා යුද්ධ පිටියේ පතාක වීරයෙක් . ජීවිතේ ම යුද්ධය වෙනුවෙන් කැප වුන වීරෝදාර සෙබෙලෙක්. ඒත් අද එයා අඩනවා. එයාට ඇඩුනා. එයා ආයිමත් කතා කලේ නෑ.
එහෙට කතා කරලා මෙහෙට කතා කරලා දරුවෝ ලග ගෙදරක තියලා මම බයික් එක අරන් එහෙමම ගියේ ඉස්පිරිතාලෙට . එතකොට එයා දැඩි සද්කාරයට ඇතුල් කරලා හිටියා. සිහිය තිබුනේ නෑ . ඩොක්ටර්ස්ලා මුකුත්ම කිව්වේ නෑ . දිගටම රුධිර වහනය වුනා. අපි මොන මොනවද නොකලේ.
ඒ 2013 ජූනි 10 වෙලාව උදේ 8.05යි. නෙළුම් මල් වට්ටියක් පුරෝගෙන රුවන්වැලි සෑයේ පඩි තුනයි නැග්ගේ. මල්ලිට ආවේ කෝල් එක. ලොකු අයියගෙන්. මල්ලි පෝන් එක විසිකරලා බිම වාඩි වුනා. මුකුත්ම කිව්වේ නෑ .මගෙ මල්ලිගෙ දෙවෙනි පියා ඒ. කදුළු ගැළුවා එයාගෙ ඇස්වලින්. මට දැනුනා.ඔව් මට දැනුනා එයා මා දාලා ගිය බව.
මොනවද කිව්වේ මොනවද වුනේ මට මතක නෑ .එතන ඉදලා . කොහොමද හොස්පිට්ල් එකට ගියේ දන්නේ නෑ . අවුරුදු 22ක්ම හැම ඔපරේෂන් එකටම ඉදිරිපෙලම සටන් කර ජනාධිපති සම්මාන තුනක් ජීවත්ව සිටියදි දිනාගෙනත් අපි අත හැර නොගිය එයා ඒ මූසල සදුදා ජීවිතේ මට දෙන්න තිබුන ලොකුම දුක දීලා ගියා.
රංඩුකරලා තරහා වුනාම අඩ අඩ ඉන්න මාව උස්සන් වඩාගෙන දරුවෝ තුන්දෙනා එක්ක කිති කවලා හිනස්සන , අද එලියෙන් කමු කියලා මට නිවාඩුවක් දෙන එයා ගිහින් තිබුනා . සදහටම .
අවුරුදු 07ක් ඉවරයි . දැන් පැටව් ලොකුයි . අදටත් මම විදවන එකම කාරණයක් තියෙනවා . මම රෑට සේරම වැඩ ඉවර කරලා ඇදට එද්දී 12. 30 පහු වෙනවා. හැමදාමත් එක ඉල්ලීමක් .
“”අම්මා එද්දී මට කතාකරන්න .””
ඔව් හැමදාමත් මම එහෙම කලා. බිරිදකගේ වගකීම යුතුකම හරියටම කලා. ඒත් එදා ඒ කියන්නේ 2013 ජූනි 07 බ්රහස්පතින්දා රෑ. මම එද්දී රෑ 1.00යි . හැමදාමත් පිරිනිවන් ඉරියව්වෙන් නිදියන එයා යෝධයෙක් වගේ ඇද පුරාම .
මම හිමින් චූටි පුතාගේ කාමරයට ගිහින් නිදාගත්තා . පහුවදා උදේ එයා හිටියේ තරහා වෙලා . මම යද්දී කතා කලේ නෑ.
ඒත් දන්නවා ද ඒ තමා අන්තිම රාත්රීය එයා මේ ගෙදර මේ කාමරේ නිදාගත්ත. අවුරුදු 17ම එයාගේ හැම ඕන එපාකමක් බැළුවත් එදා මට අත හැරුනා, මට මග හැරුනා. මරාගත්තත් එකම ඇදේ නිදියන, දවසක්වත් තරහා වෙලා ඉන්නේ නැති , මම එදා එයා ලග හිටියේ නෑ . ඒ වේදනාව විටින් විට අදටත් මාව පුච්චලා දානව. ඊට පස්සේ කවදාවත් මට එයා ලග ඉන්න ආයම ලැබුනේ නෑ .අද මම අවුරුදු 07කටත් වඩා ඒ කාමරේ ඒ ඇදේ තනියම .
ඉන්නකන් විතරයි අපේ ජීවිත වල මේ සේරම සෙල්ලම් . සමහර විට ඉද්දි අගේ නෑ තමා . ඒත් නැතිවෙලාම බලන්න ඒ අඩුව , ඒ හිස්තැන. කාටවත් බෑ පියවන්න .
ජය පරාජය හොයන්න යන්න එපා කවදාවත් .. පුළුවන් තරම් ආදරය බෙදන්න . අනිත් අයට සතුට බෙදන්නෙක් වෙන්න. ඒ අවුරුදු දාහතම මට පුළුවන් වුනා ආදරේ කරන්න . එයාගේ රළුකමට නපුරුකමට යටින් තිබුන ආදරේ එලියට ගන්න . ඒත් එයා වෙනස් වෙන්න අරන් අවුරුදු දෙකකින් එයා සදහටම නික්ම ගියත්, අද මම හිතනවා මගේ ආදරය ජයග්රහණය කලා කියලා .
. ආදරෙන් ….





“”සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන “”
උපුටා ගැනීම : —–සංධ්‍යා සිරිමල්වත්ත—