දුවන්න ඒයි.
ඔයා දුවන්න .
මට තවත් දුවන්න බෑ . උන් ළඟම එනවා
මං ගැන බලන්න එපා ඔයා දුවල යන්න. දෙයියනේ… යන්න……. යන්න..
පුතාල දෙන්න ගැන බලන්න. මම ගැන හිතන්න එපා යන්න. කීවම යන්න…හ්.මට බෑ තවත්…
කරන්න දෙයක් නෑ.
අචලා ට බඩත් උස්සන් දුවන්න බෑ. මමත් උන්ට අහු උනොත් කලින්ම පැනල යන්න කියපු පුතාල දෙන්න ගැන බලන්න කෙනෙක් නැති වෙනවා තමයි. ඒත් කොහොමද මම අචල දාල යන්නේ..
මාස හයක් වෙච්ච බඩකුත් එක්ක.
සිංහල විලාප හඬත් එක්ක, ඒක යට කරගෙන එන වියරු දමිළ හඬවල් කොටින්ගේ..
අපි කාල බීල නිදාගන්න හැදුව විතරයි. ගම හෑම තැනින්ම විලාප සද්ද ඇහෙන්න ගත්තේ.
සූදානමින් හිටියේ ඕනම වෙලාවක පැනල දුවන්න.සද්දෙ ඇහෙන කොටම අපි හතර දෙනා කතා වෙලා තිබුණ විදිහටම දුවන්න පටන් ගත්තා..
අචලත් එක්ක හයියෙන් යන්න බැරි නිසා අඩු ගානේ කොල්ලො දෙන්නවත් බේරෙයි කියල ඒ දෙන්නට හයියෙන් යන්න කීව.
දැන් උන් ළඟම එනවා.
අචල කියන දේත් හරි. මම යන් නැති වෙනකොට අචල කෑ ගහල බෙරිහන් දුන්නා..
පලයන් මිනිහෝ. මගේ ළමයි දෙන්න බේරගනින්. දුවපාන්…
කීවම
මම ඉබේම විසි උනා.. පියවර විස්සක්වත් යන්න උනේ නෑ අචල කෑ ගහන සද්දේ නැවතුනා . දුවන ගමන් යන්තං බලන කොට කඩු දෙකක් ඉහ ළ පහල යනවා.
පපුව පලාගෙන එන වේදනාව දරාගෙන දුවන කොට ගැලුවේ දාඩිය නෙවෙයි කඳුලූ .
ඇස්වලින් විතරක් නෙවෙයි මුලු සරුවාංගෙන්ම.
උන් මගේ පස්සෙනුත් පැන්නුවා ඊට හයියෙන් දුවපු නිසා බේරුණා..
ඇත්තටම කැලේ පැනල බේරුණේ..
හිටියේ කැලේ උනාට සීතලක් දැණුන් නෑ. ගිනි ගත්තා. ගත විතරක් නෙවෙයි හිතත්. අඳුර නෙවෙයි දැක්කේ විසි වෙන තරු එළි. ලෝකෙ කැරකෙනවා කියල ඉස්සවෙලාම දැණුනේ එදා..
අචල ත් එක්කම මාත් මැරුණා..
අප්පච්චි. අප්පච්චි…
අප්පච්චී……
කියල සද්දෙකුත් එක්ක මට ආපහු ලෝකෙ පේන්න ගත්තා..
කොටි යනකල් හැංගිලා ඉඳල පුතාල දෙන්න එලිය වැටුනට පස්සේ මම කැලේ පැන්න තැන දැකලා එතනට ඇවිත්.
ටික වෙලාවක් එහෙමම හිටියා.
ආමි එක එන සද්දෙ ඇහුණෙ පස්සේ අමාරුවෙන් එලියට ඇවිත් ගම පැත්තට ගියා.
බලන්න පුලුවන් දේවල් නෙවෙයි දැක්කේ. පුතාල දෙන්න මග නවත්තලා ගිහින් බලන කොට අචලයි නොඉපදුන පැටියයි, අපි තුන් දෙනාගේ ජීවිත බේරන්න ඒ ගොල්ලන්ගේ ජීවිත පූජ කරල තිබුණා.
එහෙම හිත් පිත් නැතුව අපිට මාලුවක්වෙත් කපන්න බෑ..
ඒත් උන් අචල ව ඊටත් දරුණුවට කපල දාලා.. තිබුණා..
ගෙවල් ගිනි තියලා.
කඩේ තිබ්බ තැනක් වත් නෑ..
ඊට පස්සේ අපි තුන් දෙනා ජීවත් උනේ මහරගම. නැවතුනේ අයියගේ ගෙදර. මම තිරිකුණාමලය බිස්නස් එක කරද්දි අයිය මෙහෙ ආවේ උගන්නන්න.
මම කුලී වැඩ කර කර ඉඳල පස්සේ හෝටලේ ක මැනේජර් කමක් හොයා ගත්තා.
ජීවත් උනේ කොල්ලො දෙන්න නිසා.
කවදාවත් කෑවේ රසකට නෙවෙයි බඩගින්නකටත් නෙවෙයි.
ජීවත් වෙන්න විතරයි.
ලොකු පුතා ත් අම්මා ට කොටනවා දැකල තිබුණා. කොල්ල ඊට පස්සේ කවදාවත් කතා කරේ නෑ..
බලාගත් අත බලාගෙන අවුරුදු තුනක් විතර ඉඳලා එක දවසක හවස මහා හයියෙන්
“””””අම්මා…………”””””::
කියල කෑ ගැහුවා. ඊට පස්සේ සදහටම නිහඬ උනා..
පොඩි එකා ඒ ලෙවල් කරා. දහ අට ඉවර උන ගමන් හමුදාවට ගියා.
මං එපා කීවට ඇහුවේ නෑ.
මගේ අම්මයි අයියයි මරපු උන්ව මරාගෙන මාත් මැරෙනවා.
ඌ එහෙමයි කීවේ..
ඌට ඒ දේ කරගන්න පුලුවන් උනාද දන් නෑ.
හැබැයි …….
අවුරුද්දයි මාස හතරයි දවස් විසි තුනයි ගියේ.සීල් කරපු පෙට්ටියක් ගෙනාව මගෙ පුතාගේ කියල.මට අඬන්න තේරුණේ නෑ. ඇස්වල කඳුළු තිබුණෙත් නෑ.ඌව, වල දැම්මද පිච්චුවද මොකක් හරි කරා…
මල්ලී උඹ පරිස්සමින් හිටපන්. කියල අයිය කීවෙ නෑ. ඒ උනාට මාව බලාගත්තා දරුවෙක් වගේ…
මම තවත් ජීවත් වෙන්නේ මොකටද?
කෝටි ගාණක් වටින බිස්නස් එක. ගෙවල් දොරවල්, ආයෙත් කවදාවත් ගොඩ ගන්න බැරි වෙන්නම විනාස උනා..
ජීවිත කාලෙම බදාගෙන ජීවිතේ බෙදාගන්න ආපු ගෑණි, මගේ ඇස් මානෙම උන් කෑලි කෑලි වලට වෙන් කරල තිබුණා..
මව් සෙනෙහස ළඟ නැතුව ලතවුන ලොකූගෙ වේලිච්ච හදවත දශමයක්වත් තෙමන්න පිය සෙනෙහසේ ලතෙත් බවට බැරි උනා.
ඒ හදවත වේලිලා කර වෙලා පුපුරල ගියා…
තව දුරටත් ජීවත් වෙන්න හේතුව වෙච්ච පොඩි එකා මේ අගක් මුලක් නැති තාමත් අලු යට ගින්දර තියන ඒ මහ ගින්දර ඇවිලිච්ච සමයේ,
සාමයේ සැතපිලා තිබුණා……
ඇස් පියා ගත්තම අචල ළඟ ලෙලදුන්න කඩු පේනවා…ඇස් වහගත්තා ම
“මහත්තයෝ දුවගන්න “
කියල කෑ ගහන සද්දේ දෝංකාර දෙනවා..
ඇස් ඇරගෙන හරි පියාගෙන හරි කොහොම හිටියත් නින්දක් ගිය දවසක් නෑ..ඒත් මම තවම ජීවත් වෙනවා. ජීවිතේට අරමුණක් නැතුව…
ඔබත් අඬලා ඇති. දුක් වෙලාත් ඇති.
ඒ සමහර විට ළමයා ලෙඩ උනහම වෙන්න ඇති. එක්කෝ විභාගෙට අඩුවෙන් ලකුණු ගත්තම වෙන්න ඇති.
නෝන හරි, මහත්තය හරි හිත රිදෙන දෙයක් කීවම තරහ යනවත් ඇති.
මොකටද මේ ජීවිතේ කියල මැරෙන්න හිතුන වෙලාවලුත් ඇති .එක එක දේවල් හින්ද කල කිරිල ජීවිතේ එපා වෙලත් ඇති..
ඒත් ඒ ඔබ හැමෝටම යමක් තියන නිසා..
සැමියෙක්, බිරිඳ ක්, පුතෙක්, දුවෙක්, නෑයෙක්, හිතවතෙක් ඉන්න නිසා..
(හාර්ට් ඇටෑක් එකක් හැදිල අයියත් ගිය සතියේ මැරුණලු.).
ඔය කාටවත් මං තරං දුක් වෙන්න බෑ
ජීවිතේ ගැන..
කලකිරෙන්න බෑ ඔබට සිදුවුන දේවල් ගැන.
මං තරං.
ඒ ඔබේ ජීවිතේ මං තරං අහිමි වීම් වලට ඔබ තවම මුහුණ දී නැති නිසා…
සනසන්න බෑ දැං මාව.
තේරුම් ගන්න ජීවිතේ..
ඔබ හරිම වාසනාවන්තයි..
උපුටා ගැනීම : Waasala Mudiyanse