මෙය පළමු කොරෝනා රැල්ල අවසානයේ සිදුවූවකි.
මා රාජාකාරී ස්ථානයට යමින් සිටියමි.කොරෝනා සමයේද අත්යාවශ්ය රාජාකාරී යටතේ අපිට සේවය කිරීමට සිදුවිය.
එදින මා රැකියාවට යමින් සිටියේ සවස තුනට පමණය.මගේ ගමන් මාර්ගය වන්නේ වාහන ඉතා අවම ග්රාමීය තාර පාරකි.
හදිසියේම පාරේ යමින් සිටි අයෙකු වාහනයට අත දැම්මේය.ඔහු අතේ තිබූ එකම දෙය ප්ලාස්ටික් ෆැන්ටා බෝතලයකි.
එකී මාර්ගයෙ යන මා සාමාන්යෙන් පාරේ පයින් යන්නවුන් මගෙ රථයට දමා රැගෙන යන්නෙ ඒ පාරේ බස් ඉතා හිඟ නිසාය.මේ කොරෝනා වලින් පසු එසේ නංවාගත් පළමු වැන්නාය.හේ අවුරුදු තිහක පමණ පෙනුමින් යුතුය.
“කොහෙද යන්නෙ හදිසියේ.මම ඇසීමි”
“අනේ මහත්තයා ගෙදරින් කෝල් එකක් ආව කෙල්ලට සනීප නෑ කියල.එයා හදවතේ ලෙඩක් තියන ළමයෙක්.ඉතින් මන් මේ වැඩ කරන තැන ඉඳල යනව ආපහු.යන්න බසුත් නෑ.පයින් හරි යනව කියල ආවෙ.ඒකයි අත දැම්මෙ.”
මා ඔහුගෙන් ත්රීවීලයක් ගැන නොවිමසුවේ එයට රුපියල් තුන් හාරසීයක් වැය කිරීම ඔහුට අපහසු බව බැලු බැල්මට පෙනුන නිසාය.
“වයස කීයද?”
“මන් අනූ හතේ මහත්තය.”
ඔහුට අවුරුදු විසි තුනකි.එතකොට නෝනා.? මම ඇසිමි
“එයා දෙදාහෙ.”
“එතකොට ඔයා මොකද කරන්නෙ.”
“ජොබ් එකක් කියල නෑ මහත්තයා.කුලී වැඩ තමයි.දැන් මේ කරපු වැඩෙත් දාල දුවන්නෙ.අද පඩියත් නෑ.”
“ඉතින් ඔයාම යන්නෙ ඇයි.ගෙදර අම්මලා ඇතිනෙ”
“නෑ මහත්තයා.අම්මලා අපෙ කසාදෙට කැමති උනෙ නෑ.ඒ නිසා අපි ගමෙන් ආව.මෙහෙ අපි දෙන්න විතරයි.”
“එතකොට අල්ලපු ගෙදර අය හරි ඇතිනෙ.ළමය ඉස්පිරිතාලෙට ගෙනියන්න එපැයි.”
“අපි පිටගම් කාරොනෙ මහත්තයා.ගමේ අය වැඩිය හිතවත් නෑ.”
අවුරුදු විසි තුනක සහ විස්සක වයැසති මේ යුවල හිතුමතේ කසාදයක් කර දැන් අසරණ වී ඇති බව පැහැදිලිය.ඔහුගේ කතාවට අනුකම්පාවට වඩා මට කෝපයක් පැන නැගුනත් මම තව ඔහුගෙන් විචාරීමි
“දැන් ඔය බීම බෝතලයක් ඇයි?”
“ගිය පාර ඉස්පිරිතාලෙ ගියාම ඩොට්ට කිව්ව ආය පපුවෙ දැවිල්ලයි කිව්වොත් බීම බෝතලයක් බොන්න දෙන්න කියල”
(ඒ කුමන වයිද්ය උපදෙසක්දැයි අදටත් මම නොදනිමි)
“ඉතින් ඕකට බෙහෙත් කරේ නැද්ද.?”
“කරා මහත්තයා කොළඹ ළමා ඉස්පිරිතාලෙත් තියන් හිටිය මාස ගානක්.”
“ඉතින්?”
“ඉතින් ටිකට් කපල එව්ව.”
“හොඳ වෙලා නෙමෙයිද ආවෙ.?”
“දන්නෑ මහත්තයා.අපිට ඕව තේරෙන්නෑ.දැන් මාසෙකට දෙකකට සැරයක් කෙල්ල ලෙඩ වෙනව.එතකොට වැඩක්වත් කරගන්න විදියක් නෑ.දවසක් දෙකක් ඉස්පිරිතාලෙ නැවතිලා ඉඳල එනව.”
“ඉතින් දොස්තර මහත්තුරු මොනවද කිව්වෙ.”
“මොකවත් කිව්වෙ නෑ.බීම එකක් දෙන්න කිව්ව.දැන් මේක ගිහින් දුන්නම අඩුවෙයි.”
ඒ වෛද්ය උපදෙස දුන්නෙ වයිද්යවරයෙක්ද නැතොත් වෙනයම් කෙනෙක්දැයි ඔහුගෙන් අසා පල නැත
“ඕක දීල බබා ඉස්පිරිතාලෙට අරන් යන්න.ඊට පස්සෙ දොස්තර මහත්තයගෙන් අහගන්න හරියට මොකක්ද ලෙඩේ,මොනාද කරන්න ඕන කියල.හරිද.?
බය නැතුව අහන්න.එයාල ඉන්නෙ ඒව කියල දෙන්න තමයි.”
“හා මහත්තයා.”
කතාවෙන් කතාවෙන් අපි ඔහු කී ඉසව්වට ආවෙමු.කතාව ඇත්ත බව පසක් ඌයේ ඔහු නිවස පෙන්නූ නිසාය.
එය නිවසක් නොව අතු පැලකි.කාමර දෙකක් වත් තිබුනාදැයි සැක සහිතය.
එවන් නිවස් ඒ අවට අති බහුතරයක් ඇත.
“මෙතනින් මන් බහිනව මහත්තයා”
“ආ මේක ගන්න.මම රුපියල් පන්සීයක් ඔහු අත තැබීමී.”
ඒ මොහොතේ මට කලහැකි උපරිමය එයය.
“මේක ගන්න.මේකෙන් බබා බෙහෙත් ගන්න ගෙනියන්න ඕන හොඳද.”
“හරි මහත්තයා.”
ඔහු කිසි පැකිලීමකින් තොරව මුදල අතට ගත්තේය.ඔහු බැස යන දෙස මා මදක් බලා සිටියෙමි.
ඔහු නිවස දෙසට යද්දි කුඩා දැරිවියක් කිහිල්ලේ ගසාගත් තවත් දැරිවියක් නිවසින් එලියට ආවාය.
ඒ ඔහුගේ බිරිඳය.
ඉතින් වරද කොතැනද? මා කල්පනා කලෙමි.
රැකියාවක් ලබාගන්නා තුරු විවාහය කල් දමා මා විවාහ වන්නේ වයස විසි හතෙනි.ඒ වනතෙක් තනිකඩ දිවිය උපරිමෙන් විඳ ඇත.
වයස විස්ස වනවිට විවාහයක් කරගැනීම මේ ගම් වල අරුමයක් නොවේය.ඒත් නිසි රැකියාවක් වත් නැතිව තමන්ගේ සුන්දරම යෞවන කාලයත් කසාද බැම්මකට හිරකරගන්නා මොවුන් අවසන ජීවිතය විඳවති.
දරුවන් තුන හතරකට හිමිකම් කියන්නේ ඔවුන්ටද අනාගතයක අරමුණක් නැතිවය.අවසානයේ ඒ පොඩි දෙමාපියන්ද, දරුවන්ද දුක් විඳිති.
රුපියල් පන්සීයකින් මේ අර්බුදය විසඳාලිය නොහැක.අවසානයේ මේ ගැන ඇත්තේ කලකිරීමක් පමණක්මය.
උපුටා ගැනීම : Ishara Warnakulasooriya