මම අවසානෙටම ලියපු ජොබ් ඉන්ටවීව් කතාව කියවපු ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා මුලින්ම ජොබ් එකට ගිය දවස ගැනත්, ලියන්න කියලා.ඉතින් හිත හදාගෙන, අමු අමුවේ ලැජ්ජාවට පත් වුන ඒ රාජකීය දිනය පිලිබද සවිස්තර කතාවක් සභාගත කරන්නයි මේ ලෑස්තිය.
මනෝජ්ට යවන්න ටයිප් කරපු මැසේජ් එක පොට්ටයා වගේ අලුත් බොස්ට සෙන්ඩ් කරලා ඒකට රිප්ලයි එක බොසා කෝල් එකකින්ම දුන්නට පස්සෙ ලැජ්ජාවත් කිහිලි ගන්නගෙන මම ආවා කෙලින්ම අපේ වාසභවනට.ඇවිත් නාලා කාලා එහෙම ශේප් එකේ ඉන්න ගමන් මනෝජ්ගෙ මූඩ් එක හොදයි කියලා හිතෙන වෙලාවක් බලලා දවල් වෙච්ච හතර විලි ලැජ්ජ නැති වැඩේ කටේ තොලේ ගෑවෙන් නැතුව නිකං ඩිල්කා සැමන්මැලී නිවුස් කියනවා වගේ කියලා දැම්මා.
ඒක කිව්වා විතරයි මනෝජ් ඉනට අත් දෙකත් තියාගෙන නිකං අර පකිස්තාන් මිමී එක වගේ මා දිහා බලන් ඉන්නවා “කාගෙ දරුවෙක්ද බං උබ” වගේ බැල්මකුත් දාගෙන.
ඒ ඉදලා මේකා කියනවා ” කෝ දැන් යවපු මැසේජ් එක පෙන්නනවකො පොඩ්ඩක්” කියලා.
මමත් බලු සෙව්වන්දි මූණ දාගෙන මැසේජ් එක පෙන්නුවා. ඒ පෙන්නලා ඉවරවෙලා මැසේජ් එකට බොසා දුන්න රිප්ලයි එකත් කෝල් රෙකෝඩ් වලින් අරන් අහන්න දුන්න.ඒක බලලා අහලා ඉවර වෙලා මනෝජ් මගෙන් අහනවා “දැන් එතකොට හෙට වැඩට යනවද “කියලා.මමත් ගත් කටටම “ඔව්” ගෑවා.
ඒක කිව්වා විතරයි මේ මිනිහා නිකං අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ මා දිහා බලන් ඉන්නවා.
” තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ඕයි” කියලත් අහනවා..
මට වෙච්ච අවනම්බුව මූ ඉස්සරහ පෙන්නන්න හොද නෑහ්.ඊගාවට ඕකා මේ සීන් එක අල්ලගෙන මාව මැරෙනකම්ම විහිලුවට ලක් කරයි.ඒ හින්දා මට ඒක ගානක් නෑ.. ලැජ්ජා නෑ කියලම කියනවා, කියලා හිතලා
“මොනවට ලැජ්ජ වෙන්නද හලෝ.මට ගානක් නෑ.මම හෙට වැඩට යනවා.ගිහිල්ලා ඕකේ වැඩ කරනගමන් මමත් ඔය ජාතියෙම බිස්නස් එකක් පටන් ගන්නවා.බොසාට හික් ගෑවෙන්න.ඕන්නම් මම ඔයාටත් ජොබ් එකක් දෙන්නම් ලෑස්ති වෙලා ඉන්නවකො” කියලා මම ගස්සලා දාලා ගියා යන්න.
ඊට පස්සෙ හිමිදිරියේ අවදි වී බෘංගරාජය එක්කම ගියා ඔෆිස් එක ලගට.මාව එතනින් දාලා “තෝ අද ඉල්ලංකන්න යන්නෙ ඔය” වගේ බැල්මක් එක්ක කින්ඩි හිනාවක් දාලා මනෝජ් පිටත් වුනා සේවයට වාර්තා කරන්න.
දැන් තමයි හොදම හරිය. මරන්න ගෙනියන හරකා වගේ මම ගියා දකුනු කකුල පෙරට තබා ඔෆිස් එක ඇතුලට, යනකොටම රිශෙප්ෂන් එකේ හිටපු අක්කන්ඩි කිව්වා.
“අලුත් වේකන්සි එකට නේද..ඔයා ආවම සර් ගෙ කැබින් එකට එන්න කියන්න කිව්වා කියලා”
තෝ නම් කියයි මම කොහොමද යකෝ ගිහින් අර නාගසලංගෙ මූන බලන්නෙ කියලා හිතින් ඒකිටත් බැන බැන ඒකි කිව්ව විදියට ගියා බොසාගෙ කැබින් එකට.
මම ඇතුලට ගියාම
” ගුඩ්මෝර්නිං නිර්මානි.අද අපේ ස්ටාෆ් මීටීන් එකක් තියෙයි.ඔයාවත් මම කට්ටියට අදුන්වලා දෙන්නම්.ඊට පස්සෙ අපි වැඩ පටන් ගමු “
කියලා බොසා මාව සාදරයෙන් පිලිගත්තා.යකො මූට ඊයෙ වෙච්ච සිද්දිය අමතක වෙලාවත්ද මෙහෙම ලස්සනට කතා කරන්නෙ…අනේ වාසනාවන් මගෙ වෙලාව හොදයි වගේ කියලා ගුමුරු ටුපුරු ගුමුරු ටුපුරු ගුමුරු ගුමාරා කියලා ටෝන් එකකුත් හිතෙන් ප්ලේ වෙද්දි මමත් ගියා අපේ හැන්ඩි බොසාගෙ පස්සෙන් මීටින් රූම් එකට.
ස්ටාෆ් එකේ උන් රොත්ත පිටින් වෙසක් එකට හංදියෙ හදපු තිස්සගෙයි මුවාගෙයි රූකඩ සංදර්ශනේ බලන් ඉන්නවා වගේ මමයි බොසායි දිහා බලන ඉද්දි මම මිශෙල් ඔබාමා වගේ ගිහින් වාඩි උනා පුටුවක.
ඔන්න දැන් කම්පැනි එකේ අනාගත අභිවෘද්ධිය ගැන එහෙම කතා කරලා ඉවර වෙලා කාලයාගෙ ඇවෑමෙන් මාව සියලු දෙනාට හදුන්වා දීමේ මොහොත උදා වුනා.
” ඔයාලා හැමෝම දන්නවා අපේ තිබුන වේකන්සි එකක් ෆිල් කරන්න කෙනෙක් ගන්න අපි ඊයෙ ඉන්ටවීව් එකක් තිබ්බා.ඒකෙන් තෝරගත්ත කෙනා තමයි මේ ඉන්නෙ.”
කියලා බොසා මාව ඉස්සරහට ගෙන්නලා මාවත් හැමටම ප්රදර්ශනය කර කර කතාව කන්ටිනිව් කරගෙන යනවා
“ඉතින් අපේ අලුත් මෙම්බගෙ නම නිර්මානි.එයා අපිත් එක්ක දිගටම වැඩ කරයි අද ඉදන්.ඔයාලා මෙයා එක්කත් සුහදව වැඩ කරන්න.හැබැයි එකක් මතක තියාගන්න ඔයාලා මෙයාට ඔයාලගෙ පර්සනල් ෆෝන් නම්බර් එක නොදී ඉන්න වගබලා ගන්න.මොකද මෙයා හිටපු ගමන් මෙයාගෙ ගෙදර වැඩ ටික කරන්න කියල එයාගෙ කන්ටැක් ලිස්ට් එකේ ඉන්න උන්ට තර්ජනාත්මක මැසේජ් එවනවා.ඊයෙ මට මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඇදලා දාපු අල්මාරිය අස් කරපිය කියලා. ආහ් තව දෙයක්, මෙයා දෙයක් කිව්වොත් ඒක අනිවා කරලා දෙන්න මොකද එහෙම නොකර හිටියොත් රාජ උදහසට ලක් වෙන්න ඉඩ තියෙනවා.මෙයා මෙහෙම හිටියට එසේ මෙසේ කෙනෙක් කෙනෙක් මේ ඉන්නෙ කුසුමාසනදේවි හෙවත් දෝන කතිරිනා…ඒක සාක්ශි ඇතුව බලාගන්න ඕනි අය එකා එකා ෆ්රී වෙලාවක් බලලා මගෙ කැබින් එකට වරෙල්ලා මම පෙන්නම්”
කියලා කාලකණ්ණි බොසා හරිම කැත විදියට හිනා වෙලා මාවත් අකවුන්ටන්ට් සෙක්ශන් එකේ හෙඩාට බාර දීලා යන්න ගියා.
ඌ ගිය වෙලේ ඉදන් බොසා එහෙන් මෙහෙන් කිව්ව කතාවෙ පුවත් සවිස්තරාත්මක අහගන්න ඔෆිස් එකේ රොයිටර් සේවය මගෙ වටේ කැරකි කැරකි එක එක ප්රශ්න අහනවා
අසමජ්ජාති පාලකයා මම තෝව පුච්චලා කනවා යකෝ.මුගෙ ආච්චිට හික්කඩු යන්න තොට වටිනවද ඕක මේ හැතිකරේ ඉස්සරහ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන්න.අපරාදේ මේ ඔටුලබ්බා ලස්සනයි කියල කිව්වෙ ඒක තමයි ඕකා ඔය උඩ ගිහින් ඇත්තෙ.තෝ මට කරපු මේ නවනිංගිරාවට තොට කවදා හරි යක්ශ ගෑනියෙක්ම සෙට් වේවා කසාද බදින්න ,ඒස්වා පුහ්..අනික කියනවා නම් ඔක්කොම විස්තරාත්මකව කියන්න ඕනි මේ සාරිගප්පියා . තෝ මෙතන භාගෙට කියලා ගිහින් මම දැන් කොහොමද යකෝ රෙද්දක් ඇදන් ඕකෙ ඉතුරු ටික මේ පත්තර සේවයට කියන්නෙ.ශික් තෝ නම් මොන ගල්පාඩියෙක්ද මන්දා.හිටපංකො මමත් තොගෙ ජාතියෙම බිස්නස් එකක් පටන් අරන් තොගෙ බිස්නස් ටික ඔක්කොම බංකොලොත් කරනවා ඊට පස්සෙ තෝව ගන්නවා මගෙ ඔෆිස් එකේ වැඩට..එතකොට හිටපං පොල්කාවයියා වගේ උඩ බලාගෙන”
කිය කිය හිතෙන් බොසාගෙ මෑනියන්ව මතක් කලා.ඒ අතරෙ ඔෆිස් එකේ එකෙක් ගිහින් මුලු මැසේජ් ජාතකෙම අරූගෙන් අහන් ඇවිත් මුලු කාර්යාල භූමියේම උන් ඉස්සරහ මාව පර්මන්ට් ජෝකර් කෙනෙක් බවට පත් කලා.
එදා පටන් ගත්ත පාර අද මේ වෙනකම් මම එක දිගට සට සට ගාලා ඔෆිස් එකේ පජාත වෙනවා. මට වෙලාවකට හිතෙනවා මුන් මාව අකවුන්ටන්ට් ඇසිස්ටන් කියලා බොරු පෝස්ට් එකක් පෙන්නලා ජොබ් එකට ගත්තෙ උන්ගෙ ඔෆිස් එකේ පර්මන්ට් ජෝකර්ගෙ පෝස්ට් එකටද කියලත්…
පාං කෑවොත් ඔහොම්මමයි..තූ……
මේකෙ කලින් පෝස්ට් එකේ ලින්ක් එක ඔන්න පහලින් වැජඹෙනවා ඒක කියවපු නැති අයට මේක නිකං අපප්බ්රංසයක් වගේ වෙයි නැත්නම් .
උපුටා ගැනීම : Nirmani Sandareka