Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක සිද්ද උනේ චිකාගෝ වලට එන්න මාසෙකට ව්තර කලින්. චිකාගෝ කියන්නේ කාලයක් ඇමරිකාවේ අපරාධ වල කේන්ද්රය. පබ්ලික් එනෙමි නම්බර් වන් වෙච්ච අල්ෆොන්සේ ගේබ්රියෙල් හෙවත් අල් කැපෝන් ගේ රාජධානිය. මොකද්දෝ හේතුවකට මම චිකාගෝ නගරයේ ඇවිදිනකොට මට ඒ සේරම පේන්නෙ අල් කැපෝන් ගේ කාලේ තිබුණ විදියට. ටොප් හැට් එක්ක ෆුල් සූට් ඇන්ද මැශින් තුවක්කු අරගෙන ලොකු සුරුට්ටුවක් කටේ ගහගත්ත ඉතාලි මාෆියා සාමාජිකයෝ මට බලන බලන අත පේන්න ගන්නව.හැබයි වර්තමාන චිකාගෝ නගරයේ මාෆියාව නම් ටිකක් නිහඬයි. මම එදා ඉන්ටර්වීව් එකට චිකාගෝ හරහා ඇවිදන් එද්දි ඔලුවට ආවේ ඔන්න ඔය වගේ විකාර.
මම අලුත් තැන රස්සාවට අයදුම් කලේ බොහොම සතුටෙන්. ප්රොජෙක්ට් ෆෝටිෆෝ කියන නාවුක ගමනාන්තයන් සම්බන්දය මෘදුකාංග හදන සමාගමක් ඒක. ඒ සමාගමේ විශේශයක් තිබුණා. ඒ ඔවුන් සේවකයෙක් ගන්න ඉන්ටවීව් කරන විදිය.
ලංකාවේ අවසානෙට ඉන්ටවීව් ගිහිල්ලා දශකයකට එහා නිසා මම ආයෙමත් ඉන්ටර්වීව් එකකට පිලිවෙලකට මූණ දුන් පලවෙනි වතාව. ඒක සම්පූර්ණ දවසක ඉන්ටර්වීව් එකක්. කොල වල තියන සුදුසුකම් සහ ප්රායෝගික ඒවා බලලා තෝරගත්ත අයව ඔවුන් කැඳවනවා. එක දවසක. මම යන දවසේ පස් දෙනෙක් හිටියා, ඉන්දියන් තුන්දෙනෙක්, ලංකාවෙන් මම සහ ඇමරිකන් කෙල්ලෙක්. ඒ ඉන්ටර්වීව් එක මගේ නම් පටන් ගත්තේ පිලිගැනීමේ නිලධාරිනිය වෙච්ච මිස් ලෝරෙන් ගෙන්. බොහොම ආචාරශීලීව මගෙන් ආගිය විස්තර හෙම අහලා , කොහොමද මේ ඔෆීසිය ගැන මොකද හිතෙන්නෙ කියලා අහලා ඒවට මම දෙන උත්තර අනුව කොලේක මොනවද ලකුණු කරනව. ඊලඟට එයාම මාව අඬගහගෙන මම වැඩ කරන්න නියමිත අංශයේ ලොක්කා ලඟට එක්කරන් යනවා. ලොක්කා කීවට එයා මගේ වයසේ කෙල්ලෙක් නයෝම්. නයෝමි මාව පිලි අරන් එයාම නැඟිටල ගිහිල්ලා මටයි එයාටයි කෝපි කෝප්ප දෙකකුත් හදාගෙන ඇවිල්ලා කතාව පටන් ගන්නවා. එයා වැඩිපුරම කියන්නේ නියමිත වෙලාවට දෙන්න අපහසු වෙන සිස්ටම් එකක් ගැන. ඒක වෙලාවට කරන්න ඕන නම් මට මොනවද හිතෙන්නෙ කියලත් අහනවා. ඒ අස්සෙ එයාගේ හස්බන්ඩ් ගැනයි බබාලා තුන්දෙනාත් එක්ක ඊලඟ නිවාඩුවට යන්න ප්ලෑන් කරන ඒවත් කියවනව. නයෝමිගේ මේසෙ උඩට මිස් ලෝරෙන් ගේ ලඟ තිබ්බ ෆයිල් එකත් ඇවිල්ල බව මට ඇස් කොනින් පේනවා. නයෝම් ඊලඟට මාව එක්කරගෙන සම්පූර්ණ ඔෆිස් ෆ්ලෝර් එකේම වටයක් එක්ක යනවා.ඊලඟට එයා මාව බාර දෙන්නෙ මම වැඩකරන්න නියමිත කණ්ඩායමේ කෙනෙක්ට. මැල්කම් ට.
මැල්කම් කාරයා ඒ වෙද්දි කෝපි එකකුත් අරගෙන දුම්වැටියක් පානය කරන්න යන්න ලේස්තිය. එයා මටත් කතා කරනව. මම මැල්කම් එක්ක designated smoking area එකට ගියාම එයා මටත් සිගරට්ටුවක් දික් කරනවා. මම කාරුණිකව ප්රතික්ෂේප කරලා එයා දුම දාන අස්සෙ කයිය ගහනවා. මිනිහා මම කියන දේවල් ෆෝන් එකේ රෙකොඩ් කරන වග මට තේරෙනවා.
ඒ විදියට හැම අංශෙකම කෙනෙක් ලඟට අපි පස්දෙනාවම යැවෙනව. දවල් කෑමට අපි පස්දෙනාවම එක්කරන් යන්නේ එච්.ආර් ඩිපාට්මන්ට් එකේ කට්ටිය එක්ක. කැෆෙටීරියා එකක සරල කෑම වේලක් භුක්තිවිඳින ගමන් එකිනෙකා අඳුනගෙන කතා බස් හුවමාරු වෙලා කෑම කාලා ඉවර වෙද්දි කාලෙක ඉඳන් දන්න යාලුවෝ ගාණට කට්ටිය ෆිට් වෙලා ඉවරයි.
ටීම් වර්ක් ,ටීම් බොන්ඩින් , ඔරියන්ටේශන් කියලා අමුතුවෙන් තියන්න ඕනම නෑ. ඔටෝමැටිකලි ඉබේම හැදෙනවා.
ඊලඟට ආපහු එන අපි පස්දෙනාව ආයෙමත් තැනින් තැනට යවනව. මම යවන්නේ මගේ අන්තිම කතාබහට. ඔෆිස් එකේ සීනියර් බිස්නස් ඇනලිස්ට් ලඟට. එතනට මට යන්න කියන්නෙ තනිවම. මම කැබින් එක හොයාගෙන ගිහින් අවසර අරන් ඇතුලට යනව.
ඒ කාමරේ ඉන්නෙ අලීෂා. මේ කතාවේ නායිකාව. අලීෂා ගේ සුන්දරත්වය විස්තර කරන්න වචන නාස්ති කරනවට වඩා ලේසියි ඒක මෙහෙම කියන එක. ඒ කාමරේ හිටියේ ටයිටැනික් චිත්රපටියේ හිටිය තරුණ කේට් වින්ස්ලෙට්. ආයේ ඇරපු අතක් නෑ කේට් වින්ස්ලෙට් ම තමයි. වෙනසකට තිබ්බේ ටයිටැනික් වල කේට් මේක් අප් දාලා හිටියට අලීෂා ගේ ස්භාවික පෙනුම ඒක වීම. මගේ පුදුමය දකින අලීෂා හිනාවක් දාලා මට වාඩිවෙන්න කියන ගමන් මෙහෙම කියනවා
“මට ඕක හැමවෙලේම දකින්න ලැබෙන දෙයක්… ඔව් මම එයා වගේ තමයි”
එතන සිද්ද වෙන්නෙ ගොඩක් තාක්ෂණික කරුණු ගැන කතා බහක්. හැබයි අලීෂා සෑහෙන කරුණාවන්ත , සුන්දර කානතාවක්. ඇය ග්රීක් කාරයෙක්ට හීබෲ ඉගැන්නුවත් ඇයගේ ස්වරය, විලාශය එක්ක ඌට ඒවා ඔන්ද ස්පොට් තේරුම් යනවා. මාත් බොදිලිමා වගේ ඔලුව හොල්ල හොල්ල අහගෙන ඉන්නව.
අවසානයේ සමුගන්න වෙලාවෙදි ඇය නැඟිටලා මට දකුණු අත දිගු කරනවා. මම ගල් ගැහිලා තුෂ්නිම්භූත වෙලා යනවා.
අලීෂා ගේ දකුණු අතේ මැණික් කටුව ලඟින් පහලට නෑ. කොටින්ම ඇගේ දකුණු අතේ ඇඟිලි සහ අත්ලක් නෑ. නිකම්ම කොට කෑල්ලක් වහේ අත වෙනුවට එකක් තියනවා. උස්ස්ලා පොලවේ ගැහුවා වගේ කම්පනය උනත් , මම කිසි වෙනසක් නොපෙන්වාම ,ඇගේ දකුණු අත මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇයගේ කරුණාවන්ත කමට සහ විස්තර වලට ඇයට ස්තූති කරලා සුබ දවසක් ප්රාර්ථනා කරනවා.
එදා හවස හතරයි හතලිස් පහ වෙද්දි මට කෝල් එකක් එනවා. මාව එයාලගේ පවුලට සාදරයෙන් පිලිගන්න බවත් , ක්රිමිනල් බැක්ග්රවුන්ඩ් එක පරීක්ෂා කලාට පස්සෙ මට සේවයට වාර්තා කරන්න දිනයක් ලබා දෙන බවත් කියනවා. ඊට සුමාන දෙකකට පස්සෙ මම එතන ස්ථීර සේවකයෙක් විදියට එකතුවෙනවා.
මාව හොයාගෙන ඇවිල්ලා මට සුබ පතපු දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි අලීෂා. මම ඒ වෙලාවේ තේකක් බොන්න හදපු නිසා මං ඇයටත් ආරාධනා කරනවා. දෙන්න එක්කම කැෆේටිරීයා එකට ගිහිල්ලා මින්චි කොල දාපු තේ ජාතියක් බොනවා.
“ඔයා දන්නවද ඇයි මං ඔයාව හොයාගෙන ආවේ විශ් කරන්න ?”
මම ඔලුව හොල්ලනවා.
” මට අනුකම්පා නොකර මට සොරි ඇයි මොකද මේ උනේ කියලා අහන්නේ නැතුව මගේ වෙනසක් නොදැක මට කතා කරපු එකම ඉන්දියන් ජාතිකයා උඹ”
අලීෂා එහෙම කිව්වම මං එයාට මෙහෙම කියනව
” මං එහෙම කරන්න හේතුව හිතාගන්න පුලුවන්ද ?”
“ම්ම්ම්ම්ම් බෑ…”
“මම ඉන්දියන් ජාතිකයෙක් නෙමෙයි. ඉන්දියාවට පහලින් තියන පාරාදීසයක් වගේ ලස්සන, පුංචි මිනිස්සු ඉන්න ලංකාව කියන රටේ එකෙක්….”
මගේ උපන් රට ගැන වෙන රටක එකෙක්ගේ හිතේ පට්ට සුන්දර චිත්රයක් මම අඳිනවා. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ කියලා මම හිතනවා.
ඒ උනාට
අලීෂා ට එහෙම කොන්ද කෙලින් තියන් තනි අතින් තමන්ගේ සුදුසුකමට දස්කමට රැකියාවක් කරගෙන ස්වාධීනව ජීවිතේ ගෙවන්න පසුබිමක් හැකියාවක් තියනවා. ඒත් අලීෂා වගේ කීදාහක් අනේකවිධ දක්ෂතා තමන්ගේ හිත අස්සෙම හංඟගෙන ආබාධිත බව නිසා සමාජයෙන් කොන් වෙලා මේ පුංචි ලංකාව අස්සෙ පරපෝෂිතයන් වගේ ජීවිතකාලේම අනුන්ගෙන් යැපිලා මැරිලා යනවා නේද කියන ප්රශ්නේ මට හැමදාම හිතට වද දෙනවා.
එඤ්ඤං

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!