මෙය සර්පයන් ගැන කතාවක් නොවේ…
ඔබ වඩාත්ම බිය වන්නේ කුමකටද..? යන ඟැටලුව යොමුකල හොත් නානා විදි පිලිතුරු ලැබිය හැකි අතර විවාහක පුරුෂයෙකුනම් බොහෝවිට බිරින්දෑගේ අගක්මුලක් නැති කෝපය වියහැක.. නැතිනම් නැන්දම්මා සිය නිවසේ පදිංචියට ඒමද විය හැකි අතර අවිවාහකයෙකුට වෙන්ඩ මස්සිනා හෝ මාමන්ඩී වියහැක.. කාන්තාවකට කැරපොත්තා හෝ මීයා වියහැක.. බොහෝ අයට කළුවරේදී හොල්මන් අවතාරද වියහැක…
පෙරකී ලෙස විවාහකයාට විය හැකි දෙයට අමතරව මා පරාණ භය දක්වන්නේ සර්පයන්ටය.. ඇගට පතට නොදැනෙන්නට කටින් කොපමන නයි ඇරියද නයා පොළගා නොව ගැරඬියා පවා දුටුවිට සෙනිකව පලායාම මා ඔබටද නිර්දේශ කරනු කැමැත්තෙමි…
මට බොහෝ අකරතැබ්බයන්ට මූන දීමට සිදුව ඇත්තේ දහවල් කාලයේදී ලබන සොඳුරු නින්දේදීය.. සහේතුකව ඇතිවූ රාත්රී නිදිමරා දහවල් නිදාගැනීමේ සාංසාරික පුරුද්ද හේතුවෙන් රාත්රී හතක් නිදිවර්ජිතව සිටිය හැකි නමුත් දහවල බිත්තියකට හේත්තු වීම පවා බරපතල නින්දකට හේතුවිය හැක..
එදිනත් පෙර දින රාත්රී සේවාමුරය සිදුකොට විත් දහවල් නිදිදෙව් තුරුලේ සිහින දකිමින් ආ……..තල් එකේ සිටි ආනන්දජනක අවස්ථාවකි…. ප්රිය බිරින්දෑ ලෙහෙසියකට අකාලයෙ අැහැරවන්නේ නැති නමුත් උර හිසින් සොලවා..
“ඒ..හ්.. මේ… නැගිටින්න.. ගැරඬියෙක් ඇවිත්…”
” ම්….. ඈ.ඈ… හරි හරි…..”
“හරි හරි නෙමෙයි ගැරඬියෙක් ඇවිත් ඌ දැන් ගෙට එයි..”
” ම්…ආ..ඈ… සල්ලි නෑ යන්ඩ කියනව ඕයි….”
” සල්ලි රෙද්දක් නෙමෙයි ඕයි ගැරඬිය ඇද යටට ගියා මං කොස්ස අරන් එන්නම්…” කියා ඇය පිටත්ව ගිය ශබ්දයත් ඇසුනි…
මොකද්ද කිව්වේ….? නින්දත් නොනිද්දත් අතර තෝරා බේරා ගන්නට තතනමින් මදක් කල්පනා කලෙමි……. ම්..ම්….ග්ගැරඬියා…..? ඇදයට…? හම්ම්…..මට්ට…යකෝ….. තප්පරයෙන් නින්ද කොහේ ගියාදැයි මතකයක් නැති නමුත් පියවි සිහියත් අන්තරාය දැක පලායාමේ ස්ථානෝචිත ප්රඤාවත් අකුණු සැරයක් මෙන් කුඩා මොළයට පහල විය…
ඇද උඩම වේගයෙන් නැගී සිටියේ පංසලේ කාක් බෝධියට ඇදෙන “ප” යන්න සහිත සුදුනාගරාජයා පෙනේ කලා මෙනි… මා සෘජුව සිටගත්තද අැදිවතට ඒ සදහා පනක් නැතුවාක් මෙන් තව දුරටත් දෙකකුල් පාමුල වලල්ලක් මෙන් බියෙන් හැකිලී සිටී..වහාම පහත්වී සරම අහුලාගත් මා එය ඉනට තබා ගැටයක් ගසන්නට තවත් තප්පරයක් හෝ වැය නොකර අත්දෙකෙන්ම සරමත් අල්ලාගෙන එක පයක් ලගම තිබු බෆල් එක උඩටත් දෙවනි පාදය වේගයෙන් පරිගණක මේසයටත් තබා අදියර දෙකකින් අහසින් ගමන් කර අල්මාරිය උඩට ගොස් ස්ථානගත වූයේ ජෙට්ලීගේ චිත්රපටයක ඔහු වේගයෙන් ගස් උඩින් උඩින් ගියා හා සමාන වේගයක් සහිතව තප්පර තුනක් වැනි කෙටි කාලයකිනි….
වහලයේ හිස වදින බැවින් බෙල්ලත් නවාගෙන බැල්කනි ප්රවේශපතක් ගෙන චිත්රපටයක් නරඹන්නාක් මෙන් මා සිටින විට මා ප්රිය බිරින්දෑ භූමිතෙල් තවරන ලද කොස්සත් රැගෙන පැමිණ එය ඇද යටට දමා කරකවන ලොමු දැහැගැන්වෙන ත්රාසජනක දර්ශණය අඩි හයක් ඉහලින් සිට සජීවීව මා බලා සිටියෙමි… ස්සරා…ස්…බුරුස්.ස්.. ශබ්ද දෙකක් සමඟ පත්තු කරන ලද අහස් කූරක් මෙන් ගැරඬියා ඉදිරිපස ප්රධාන දොරටුවෙන් පලායන ශබ්දය පමණක් ඇසුනේ ඇණකොන්ඩා චිත්රපටයේ හඬපටයක් මෙනි… හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණි.. භූමිතෙල් කෙසේ උවද කොස්ස දුටුවිට පලාගිය ඌ පිරිමි ගැරඬියෙකු විය හැකි බව මාගේ මතයයි….
සිය කාරිය සාර්ථකව නිමාකල ඇය මා සොයන්නට විය…. එකල එම නවාතැනේ වූයේ කාමරය සාලය සහ කුස්සියයි.. කාමරයේ මා නැති බව හොදින්ම පෙනෙන නිසාත් කාමරයට සාලය පෙනෙන නිසාත් කොස්ස නැවතත් තබනා ගමන්ම මාද සොයාගැනීමේ අරමුනින් ඇය කුස්සිය දෙසට ගොස් එහිද මා නැතිබව දැක නැවත සාලයට විත් උඩ බැලීමේදී මා අල්මාරියේ උඩ නිරුපද්රිතව සිටිනු දැක සැනසුම් සුසුමක් හෙලන ලද අතර. ඇය කරන ලද සේවයට දත් තිහම ( එවකට දත් ඒමට ඉඩ මදියැයි පවසා මගේ දත් දෙකක් ගලවා තිබුණු බැවිනි ) පෙන්වා “හී…” කියා මදහසකින් සංග්රහ කිරීමට මාද පසුබට නොවීය…
“නෙ..ද්..දකින්… තූ…යකෝ මෙහෙමත් පිරිමි….. බැහැපන් මිනිහො පහලට ඌ ගියා…” යැයි මේවනවිට පහල ප්රදේශයේ අනතුරක් නැතිබව ඇය මට අවධාරණය කරන ලදි… මාද සිංහසෙයියාවෙන් පහලට බැස කුස්සියට ගොස් භූමිතෙල් බෝතලය රැගෙන විත්… දොර හරහාත් ඇද යටටත් මුළු නිවසම සුවදවත් වනසේ සෑම තැනකටම භුමිතෙල් හලා මාගේ යහන කෙරේ කිසිවිටකත් ලඟාවිය නොහැකි ආරක්ෂක විදිවිධාන තර කොට නැවත සුවසේ නිදා ගතිමි…..
සර්පයා දුටුවාද..? නෝනේ නුඹපා….ල්.. මා දුටුවේ නැත සර්ර්…පයා…..
***************—->
සුව නින්දක් අවසානයේ දෑස් හැරෙන ඒ වාසනාවන්ත සොඳුරු මොහොත මතකයට නගාගන්න… මුලින්ම සියල්ල බොඳවී දීප්තිමත්ව ආලෝකමත් වේ… පසුව සෙමෙන් සෙමෙන් රූප පැහැදිලිවන්නට ගනී…. එම අවස්ථාවේදී මදුරුදැලේ රැදී සිටින ගෝනුස්සෙක් දුටුව හොත්..? විශ්වාස කරන්න සබඳ එවැනි චිත්තාකර්ෂණීය මනස්කාන්ත දර්ශණයක් මට ලැබුනි…දෑස් හැර බලන විටම ක්ලෑෂ් ඔෆ්ද ටයිටෑන්ස් හි මෙන් තඩි කළු ගෝනුස්සා මදුරුදැල දිගේ සිය වලිගයත් නවාගෙන සෙමින් සෙමින් ඉහලට යන ආකාරය දැක ගැනීමට මේ දෑස පිං කර තිබුනි…
ගියවර ගැරඬියෙක් නිසා විදි අපහාසය මහා දෙයක් නොවුනද මෙවර දර්ශණය සමීප දසුනක් හා වඩා භයංකර නිසාත් මාස කීපයක් වයසැති දියනිය තුරුලේ නිසාත් ක්ෂණික දඟරනැටුම් දැමීමෙන් වැලකී ඇයත් රැගෙන හිමී….න්…ම මදුරුදැල යටින් ඇදෙන් බැසගත් මා ඈතින් ඈත දිගු අඩි තබා කාමරයෙන් එලියටත් සාලය හරහාත් මිදුල හරහාත් ගොස් මිදුලේ කුඩා කන්ද නැග ප්රධාන පාරටත් සේන්දුවිය….
පාරදිගේම කුස්සිය පැත්තට ගොස් ඒ වනවිට උදෑසන ආහාර පිසිමින් සිටි ප්රිය බිරින්දෑට ජනේලයෙන්ම ගෝනුසු පුවත සවිස්තරාත්මකව විස්තර කරන ලද නමුත් ඇය සියැසින්ම එය දකින්නට කාමරය දෙසට ගියාය… කෝකටත් සූදනම් ශරීරය කියා මා නැවතත් පාර දිගේ ගෙයි ඉදිරිපස ද්වාරයට ලගා වුවත් කන්ද බැස ගෙට ඇතුල් වූයේ නැත… විනාඩි 5ක් පමණ ගත වුවත් ප්රියබිරිදගේ ශබ්දයක් නැත… ගෝනුස්සා ඇයට දශ්ඨකලා වත්දෝයි සිතන අතර බෝතල් පෙරලෙන ශබ්දයක් නිවස තුලින් ඇසෙන විට මා ප්රියබිරිද ගෝනුස්සා සමග බෝතලයක්වත් ගසනවාදැයි ප්රශ්නාර්ථයක් ඇති විය….
“ඔය ළමයව දීල ගිහින් මූව කැලේට විසික් කරල එනවා..”යි කියමින්
ඇය ප්ලාස්ටික් ටොෆි බෝතලයක්ද දකුණතින් රැගෙන මා දෙසට පැමිණි අතර ඒ තුල ජීවග්රහයෙන් අල්ලාගන්නා ලද ගෝනුස්සා පෙරලි පෙරලී සිටී… “ළගට එන්ඩෙපා… ලගට එන්ඩෙපා ඔහොම තියල එනවා..”
“ගූභය නැතුව මෙන්න මූව විසක් කරනව මූඩිය හොදට වහල තියෙන්නෙ..” මගේ දෙපාමුල ගෝනුස්සා සහිත බෝතලය තැබූ ඇය දොතින්ම දරුවා රැගෙන නිවසට ගියාය…
මුලින්ම බිම දිගාවී මූන හොදින් ලන්කොට ඌව නිරීක්ෂණය කරන විට ඌ කළුපාට නොව වැඩියෙන් බදිනලද කැව්මක් මෙන් නිල්පැහැයට හැරුණු දාර ගෝනුස්සෙක් බැවින් ඇගේ හිරිගඬු පිපෙන්නට විය… නින්දෙන් බයකිරීම නිසා ඇතිවූ කෝපයෙන් කරමි වැඩක් සිතා මූඩියෙන් අල්ලා ගෝනුස්සා ෆුල් අන්දොස් වනසේ තදින් දෙතුන් වරක් සොලවනවිට ඌට මාරකලිදේ පදින අත්දැකීමක් ලැබෙන්නට ඇතුවාට සැක නැත…
ගෝනුස්සාද සොලව සොලවා වෙළ මැද දක්වා ගමන් කලද පියන අරින්නට තරම් ධෛර්යයක් නැති නිසා වෙළ මැදට වී සොලව සොලවා සිටිනවිට හිසකෙස් සුදු වූ අව්රුදු 70ක පමණ සීයා කෙනෙක් ලගටම විත් “මොනාද පුතා වෙළ මැදට වෙලා හොල්ල හොල්ල ඉන්නෙ..?”
” නෑ සීයෙ ගොනුස්සෙක්”
“ඉතිං යන්ඩ අරිනවකො හොල්ලන්නෙ දාගෙන”
“පියන අරින්න බයයි පැනල දශ්ඨ කලොත්..”
“මෙන්න මෙහාට දෙනවා” කියා බෝතලය උදුරාගත් උන්දෑ පියන හැර “සුරුස්…..” ගා ගෝනුස්සා ගුවනින් වෙලේ ඈතට පියාසර කරවූ අතර
“කොල්ලො මේ බෝතලේ අරන් පලයාන්” කියා කෑගසන ශබ්දය තුට්ටුවකට හෝ මායිම් නොකල මා පිම්මේ නිවසට සේන්දු විය….
“කොහොමද අර ගෝනුස්සව බෝතලේට දැම්මෙ..?”
“දැම්මෙ කොටුවකින්”
අයියෝ සංසාරේ… මතක් වනවිට දැනටත් මගේ ලොමුදැහැගැන්වේ.. මාමන්ඩියා ඇතැම් අවස්ථාවලදී අහිකුණ්ඨික ගතිලක්ෂණ පෙන්නුමකර තිබෙන බව මට කල්පනා විය…..
නිවසට පැමිණෙන හිතවතුන් හට මාගේ දක්ෂතා විස්තර කිරීමේදී මා ප්රිය බිරින්දෑ දැනටත් උදාහරණ වශයෙන් යොදාගන්නා අතීතකතා අතර මෙම සිදුවීම් ඉහලින්ම තිබේ… “අපේ මිනිහෑ කයිවාරුව..නම්..” කියා පටන් ගන්නා විටම ඇය මේ හදන්නේ “ද එවඩන්ද ගැරන්ඬියා” බව මා ඉවෙන් දනී…. “බයකට නෙමෙයි මනුස්සයො අප්පිරියයි මට” කියා සර්පයා මෙන් ලිස්සා මාරු වීමට මා දක්ෂය…
ඉතිං සර්පයා දුටුවාද..?
උපුටා ගැනීම : Daham Kalyana