මම අධිකාරිගාව වැඩ කරන්නෙ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ලොකු මහත්තයාටත් දුවල ඉන්නවනෙ ඒ අය පරිස්සම් කර ගන්න වෙයි”
මේ වචන ටික ඇහුණා විතරයි මට ඉන්න තැන අමතක උනා. නානාව බෙල්ලෙන් අල්ලල කබඩ් එකකට දෙපාරක් ඇනලා දොරෙන් එළියට දැම්මා.
හුනුපිටියෙ දුම්රිය හරස් මාර්ගයෙ වැඩ කරපු දුම්රිය කාර්ය සහයක නානා කරපු නොහොබිනා වැඩකට අවවාද කල පසු දුම්රිය ස්ථානාධිපති දංගම්පල මහත්තයට නානා තර්ජනය කලේ ගෙදර ඉන්න ළමයි මතක් කරල.
පහුවදාම අපි නානව හුනුපිටියෙන් මාරු කලා. නානා කිව්වට මුස්ලිම් නෙවෙයි. හුනුපිටියෙන් ගියාට මොකද නානට එක තැනක්වත් හරි ගියේ නැහැ. වැඩිම උනොත් මාසයයි. ආපහු වෙන තැනක.
මේ නිසා නානා වරින් වර උත්සහ කලා ආපහු හුනුපිටියට එන්න. ඒත ඒ හැම වතාවකම මමත් දංගම්පල මහතාත් විරුද්ධ උනා. පෙර වැරදි රාශියක් තිබූ නිසා.
මේ කාලෙ තමයි සෙනෙවිරත්න මහතා කොළඹ ප්රවාහන අධිකාරි ලෙස පත්වීම් බාර ගත්තෙ. මම කලින් කතාවෙ කියුව විදිහට එතුමා “වහා ඇවිලෙන සුලුයි” හැබැයි වැරැද්දට.
ඉතින් නානා දුක හිතෙන විදිහට ලියුමකුත් ලියාගෙන ගියා අධිකාරිතුමා හමුවන්න. ඉල්ලන්නෙ හුනුපිටියමයි. අධිකාරිතුමා ලියුම කියවලා. නානා ඉස්සරහම හුනුපිටියට දුරකතන ඇමතුමක් ගත්තා. උත්තර දුන්නෙ මම. ඉතින් මම නානගෙ හුනුපිටියෙ ඉතිහාස කතාව එතුමාට කෙටියෙන් පැවසුවා. “හා . එහෙනම් මෙයාව හුනුපිටියට දාලා බැහැ” කියලා එතුමා දුරකතනය තිබ්බා.
“කොහොම හරි මම තමයි මනුස්සයගෙ හරහට ඉන්නෙ කියල නානා දැනගෙනද කොහෙද “තවත් මිනිත්තු පහලවකින් විතර නානගෙන් ඇමතුමක් එන වෙලාවෙ මම හිතුවා.
“විස්සුන්දර මහත්තයා මම නානා. අධිකාරි ඔෆිස් එකේ ඉන්නෙ”
“ආ ඔව් මට සර් කතා කලා”
“අනේ විස්සුන්දර මහත්තයා මට ආපහු හුනුපිටියට එන්න දෙන්න” නානා අඬනවා.
“මම නෙවෙයිනෙ ට්රාන්සර් කරන්නෙ ඔයා සර්ට කියන්න.හැබැයි මම නම් කැමති නැහැ ඔයා ආපහු මෙහේ එනවට. මිනිස්සු ඇවිත් මටත් ගහල යයි” මම බුරුලක් දුන්නෙම නැහැ.
මේ වෙලාවෙ මට නානාගෙ ඇමතුමේ පසුබිමෙන් ඇහෙනවා “කෝ මට දීපන් මම එයාට කතා කරන්න” කියලා කවුරු හරි කියනවා.
ඒ එක්කම නානාගෙ ඇමතුමට සම්බන්ධ උනේ වෙන කෙනෙක්.
“ආ විස්සුන්දර මහත්තයා මම අධිකාරිතුමා ගාව වැඩ කරන විජේ….. මට සරුත් කියුවා නානාගෙ වැඩේ විස්සුන්දර මහත්තයට කතා කරන්න කියාල.මෙයාට හුනුපිටියට එන්න ලියුමක් දෙන්න” මූ මට අණ කරනවා.
“එහෙම ලියුම් දෙන්න මට බැහැ මම මෙතන එස්එම් නෙවෙයි. අනික ඔයා ඇයි කතා කරන්නෙ ට්රාන්ස් මහත්තයා (ප්රවාහන අධිකාරි) ඕනනම් මට කතා කරනවනෙ.” මම දැන් තරහෙන් උත්තර දෙනවා.
“නෑ එහෙම කරන්න එපා විස්සුන්දර මහත්තයා ඔයා අකමැති නිසා තමයි මෙයාට එන්න බැරි වෙලා තියෙන්නෙ” මූ දිගටම බලපෑම් කරනවා.
දැන් මට ගැටළුවක්. මේකා අධිකාරිතුමා ගාව වැඩනම් මම මූට බැන්නොත් මූ වෙන කතාවක් දාලා අධිකාරිට කියයිද?. එතුමත් දන්නවා කියන්නෙ ඇත්තටමද. කෝකටත් මම මනුස්සයට නොබැන “මට ඕකට කරන්න දෙයක් නැහැ “කියලා ඇමතුම විසන්ධි කලා.
මට පස්සෙ ආරංචි උන විදිහට මේ කතා බහ කරන්න කලින් මේ කතා කරපු විජේ , නනා එක්ක කැන්ටිමට ගිහින් හොඳට කාලා බීලා ඇවිත් තියෙනවා. තව මොනා හරි සංග්රහයක් නානා කරන්න ඇති සමහර විට.
දැන් මේක උනේ හවස තුනට විතර ටික වෙලාවකින් මට මේ සිද්ධිය අමතක උනා.
හවස පහට විතර හුනුපිටියෙ ටිකට් කවුන්ටරය කාර්ය බහුලයි සාමාන්යයෙන්. ඒ වගේම මෙහෙයුම් කටයුතුත් කරන්න ඕනි.
ඉතින් ඔය සිද්ධිය උන දවසෙ මම කවුන්ටරේ ගාව වාඩි වෙලා ටිකට් දිදී ඉන්න අතර කව්රු හරි කාර්යාලයේ දොරෙන් ඇතුල් වෙන ශබ්දයට මම හැරිලා බැලුවා.
මෙන්න නානා එනවා තව මිනිහෙකුත් එක්ක. ඇවිත් නතර උනේ කවුන්ටරේ ගාව. අපේ නිළධාරියෙක් නොවන කිසිම අයෙක් කවුන්ටරේට පිටිපස්සෙන් ඉන්නවට මම කොහොමත් කැමති නැහැ.
මම අප්රසාදය මුසු බැල්මක් දමමින් නානා දිහා බැලුවා.
“මොකද?”
“විස්සුන්දර මහත්තයා මේ අර ඉස්සල්ලා කතා කරපු විජේ… අර ට්රාන්ස් මහත්තයා ගාව වැඩ කරන්නෙ” නනා කියනවා. ඇත්තටම ඒ මිනිහව මට මතක නැහැ.
“ආ. ඇත්තද” මම ආපහු ටිකටි දෙනවා.
“මහත්තයා මෙයාව මෙහෙට ගන්න ලියුමක් දෙන්නකො” විජේ කියනවා.
දැන් මම ඉවසීම ප්රගුණ කරනවා.
“මම ඉස්සල්ලත් කියුවනෙ. මම මෙතන ප්රධානියා නෙවෙයි. මම මොකටද ලියුම් දෙන්නෙ. අනික කොහොමත් මට මෙයා එක්ක වැඩ කරන්න බැහැ. ගමේ මිනිස්සු තාමත් බනිනවා” මම ඇත්තම කියුවා.
” නෑ එස්එම්ගෙ ලියුම නෙවෙයි ඕනි විස්සුන්දර මහත්තයගෙ කැමැත්ත. මෙයාට එන්න දෙන්න. මෙයා හොඳට වැඩ කරයි” දැන් විජේ ඇණයක් වී ඇත.
“මේ මට ඔයා එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අනික ඔයා කව්ද මෙතනට ඇවිත් මට ඔහොම බලපෑම් කරන්න. හුනුපිටියෙ වැඩ තියෙන්නෙ ගේට්ටුවේ විතරක් නෙවෙයි. මෙහේ ඔපරේටින් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. හදිස්සියකට පොයින්ට්ස් ක්ලිප් (points clip)(යකඩෙන් සෑදූ කිලෝ දහයක් විතර බර මෙහෙයුම් කටයුතු වලට යොදා ගන්නා උපකරණයකි) එකක් උස්ස ගන්න බැරි එකෙක් එක්ක මම කොහොමද ඔපරේටින් කරන්නෙ” තව තව දේවල් කියලා මම දෙන්නවම එලවා ගත්තා.
දැන් මේ වැඩේ ඉවරයක් කරන්න ඕනි නිසා පහුවෙනිදා උදේම අපේ ප්රවාහන අධිකාරිතුමාට මම ඇමතුමක් ගත්තා.
“සර් පොඩි ප්රශ්නයක්”
“ඔව් විස්සුන්දර මොකක්ද?”
“සර් ගාව වැඩද විජෙ..කියලා ගෝලයෙක්”
“මං ගාව නෙවෙයි එහා පැත්තෙ ඔෆිස් එකේ ගෝලයෙක් ඉන්නවා.”
“සර් කියන්නෙ අර දත්…”
“ආ. ඔව් ඔව් දත්.නැති එකා තමා”
“සර් මිනිහා ඊයෙ හවස පහට විතර ඇවිත් මට මෙතන කිසි වැඩක් කරන්න දුන්නෙ නැහැනෙ”
“මොකක්. ඌ බීලද හිටියෙ. ඇයි ආවෙ”
“බීලද කියලනම් බලා ගන්න විදිහක් තිබුනෙ නැහැ සර් ආවෙ නානා එක්ක. අර ඊයෙ සර් ගාවට ආවෙ හුනුපිටියට ට්රාන්සර් එකක් හදා ගන්න.
“ආ ඒ නානාව මම එලව ගත්තා ඔයා කියපු විස්තර ඇහුවට පස්සෙ. ඉතින් විජේ.. මොකටද හුනුපිටියෙ ආවෙ” දැන් අධිකාරිතුමා ගානට ඇවිල්ලා.
“ඒකනෙ සර් මූ මට ඇවිත් කියනවා සර් කිව්වලු නානා එනවට කැමතියි කියලා මගෙන් ලියුමක් අරන් එන්න කියලා” මම කියාගෙන ගියා.
“මොනා කියන්නෙ. මුගෙ ….. ..” එතුමා ෆෝන් එක තියන ගමන් මේසෙ උඩ තියනබෙල් එකට වැරෙන් ගහන හඩ මට අවසන් වරට ඇහුණා.
එවෙලෙම කාර්යාලයට කැඳවූ විජේ… සිංහල භාෂාවේ නව වචන ඉගෙන ගත් බව පසුව ආරංචි උනා. ඒ අහගත්තු එකේ ගැම්ම කොහොමද කියනවනම් අදටත් මාව දැක්කම මිනිහා මඟ ඇරලා යනවා.
උපුටා ගැනීම : Nirantha Vissundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!