මගේ අම්මා තමයි මෝහිණී. ගමේ මිනිස්සු කිව්වේ එහෙමයි. එයාගේ දුව වුන මම නිකන්ම ගමේ මිනිස්සුන්ට මෝහිණීගේ දුව වුනා. අම්මාට මිනිස්සු මෝහිණී කියන්නේ ඇයි කියන්න නම් මම දන්නේ නෑ. බාග වෙලාවට ඒ ඉස්සර අම්මා මහ පාන්දරම මාවත් වඩාගෙන ගෙදරින් ගිහින් ආයෙමත් මහ රෑ මවත් වඩාගෙන ගෙදර එන නිසා වෙන්න ඇති. ඒත් මෝහිණී වගේ මගේ අම්මා පිරිමි කාගෙවත් අතට මාව දුන්නේ නෑ රෙද්ද ඇදගන්න කියලා. මොකද අම්මා කවදාවත් කිසි පිරිමියෙක් ඉස්සරහ ඇදුම ලෙහා ගත්තේ නෑ ආයේ හදා ගන්න ඕන වෙන්න. ඒත් ගමේ මිනිස්සු නම් කිව්වේ මෝහිණීවත් මෙල්ල කල මිනිහෙක් ඉන්න ඇති නැත්තම් කොහොමද මෝහිණීට ලමයෙක් කියලා. කිසි දවසක මම ඒ කියන බය නැති මනුස්සයව නම් දැකලා නෑ.
අපේ අම්මා ඔය කියන මෝහිණි වගේ සියුමැලි නම් නෑ. කටගැට පිරුන අත්, අව්වට කලු වුන මූණ, පිපිරුන යටිපතුල්, ගොරෝසු කටහඩ අපේ අම්මගේ දුක් විදින ජීවිතේ සංඛේත වුනා. පොඩි කාලේ ඉදලා මම ආස වුනා අම්මගේ කරගැට පිරුන අත් වලින් මගේ ඔලුව අතගානවට. එතකොට මට අමුතු සනීපයක් දැනුනා. දන්න දවසේ ඉදලා අම්මා නැහුනා පණ ගැට ගහගන්න. අහුවෙන අහුවෙන හැම කුලි වැඩේම කලා. ඒත් අම්මා කවදාවත් කාගෙන්වත් හිගමන් ඉල්ලුවේ නෑ.
මිනිස්සු මෝහිණීට භයයි කියන්නේ බොරුවට. විශේෂයෙන් පිරිමි. එහෙම භයයි නම් අම්මගේ අතින් අදින්න පිරිමි එන්නේ නෑනේ. අපේ පුංචි ලෑලි ගෙදර ලෑලි අස්සෙන් ගේ ඇතුලට රෑට රෑට එබිකන් කරන්න එන්නේ නෑනේ. මහ රෑ වෙලා අම්මා ගමේ ලොකු ලිදෙන් නාද්දි බලන් ඉන්නේ නෑනේ. ඒ වෙලාවට අම්මා ඒ මිනිස්සුන්ට හොදට කියලා එලවනවා. එතකොට ඒ මහ වීර පිරිමි එක එක කුණු කතා කිය කිය “මෝහිණී හූ හූ” ගගා දුවනවා. ගමේ ගෑණු නම් අපේ අම්මට බනිනවා මහ හයියෙන් පිරිමි එක්ක කුණුපරපෙන් බැන ගන්න චාරයක් නැති ගෑණියෙක් කියලා. ඒත් මම ඉගන ගත්තා ගත්තා එහෙම පිරිමි එක්ක ඔට්ටු වුනේ නැත්තම් අපිට අපේ ලෑලි ගෙදර සැනසීමේ නිදාගන්න බෑ කියලා. ටික ටික ලොකු වෙද්දි මට පිරිමි කියන ජාතියම පේන්න බැරි වුනා. මට විසිල් එකක් ගැහුවත් මම උන්ට බැන්නා. ඊට වැඩි දේකට ආවොත් අතින් පයින් පාහර දෙන්න වුනත් මම දෙපාරක් හිතුවේ නෑ. ඉතින් ගමේ උන් මාව මෝහිණීගේම දුව කියලා බෞතිස්ම කලා. මුලු ගමෙන්ම අපිට කරුණාවන්ත වුනේ එහා ගෙදර සෙදෝ ආච්චි විතරයි.
මම ඉස්කෝලේ ගියේ 3නේ පංතියට විතරයි. මුලින් මුලින් මම ආසාවෙන් එහෙ යන්න පටන් ගත්තත් කිසි කෙනෙක් මෝහිණීගේ දුවගේ ලගින්වත් වාඩි වෙන්න ආස වුනේ නෑ. මම ආස වුනා කතා කරන්න. මට කියන්න දේවල් ගොඩක් තිබ්බා. ඒත් කවුරුත් මම කියන දේවල් ඇහුවේ නෑ. මඩ පාටට පොඩි වුන ඇගට වඩා ලොකු මගේ එකම ගවුම් පොඩියට හිනා වුනේ නැති කෙනෙක් ඒ ඉස්කෝලේ නෑ. ගමේ පිරිමි එක්ක රංඩු අල්ලන මෝහිණිගේ දුව මුලු ඉස්කෝලෙටම හෙනයක් කියලයි ගමේ ලමයින්ගේ අම්මලා අප්පලා කිව්වේ. 3 පංතියෙදි දවසක් ටීචර් පංතියේ ලමයිගේ අම්මා තාත්තගේ නම් ඇහුවා. මගේ වාරයේදි මම ” තාත්තට නමක් නම් නෑ අම්මගේ නම නම් මෝහිණී” කියලා හයියෙන් හරි ආඩම්බරෙන් කිව්වා. ඒ තමයි මට ඒ ඉස්කෝලේ කතා කරන්න ලැබුන පලවෙනි සැරේ. ලමයි සේරම හිනා වුනා. ඒත් මම කතා කලා. “නමක් නැති වුනත් මගේ තාත්තා මෝහිණීටවත් භය නෑ.”
” මම එයාව කවදාවත් දැකලා නෑ” කියලා මට කියන්න ඕනා වුනා. ඒත් ඊට කලින් ටීචර් වේවැලෙන් මේසෙට ගහලා මට රවලා ඉස්සරහට ගෙන්න ගත්තා.
” ඔය ලමයා මාව විහිලුවට ගත්තද?? අකුරක් ලියා ගන්න බෑ. ඒත් කටේ වාචාලකම නම් තියනවා. මේ ලමය නම් කිසි කමකට නෑ. මේව දෙමව්පියන්ගෙත් වැරදි. අනිත් දවසේ අම්මව එක්කගෙන එනවා” කියලා මට ගැහුවා වේවැලෙන්. ඒත් අපේ අම්මගේ නම මෝහිණි කියලා මුලු ගමම දන්නවා. ඒත් එක ලමයෙක්වත් ටීචර්ට ඒක කිව්වේ නෑ. එහෙම කිව්වා නම් ටීචර් මට මෙහෙම ගහන එකක් නෑ. ගෙදර ගිහින් මේක අම්මට කියන්න හිතුවට ඒකට වෙලාවක් වුනේ නෑ. එදා අම්මා එද්දී ගොඩක් රෑ වෙලා. පස්සේ දවසෙත් මම ඉස්කෝලේ ගියාම ටීචර් මට බැන්නා ආයේ අම්මා එක්ක නැතුව ඉස්කෝලේ එන්න එපා කියලා. එදා නම් මම හිතුවා අම්මව කොහොම හරි ඉස්කෝලෙට එක්ක ගිහින් අම්මගේ නම මෝහිණී තමයි කියලා ටීචර්ට කියනවා කියලා. ඒත් මම කොච්චර බලාගෙන හිටියත් අම්මා ගෙදර ආවේ නෑ. මට රෑට කන්නත් නෑ. අම්මා එහෙම ගෙදර ඇවිත් නැතුව කවදාවත් ඉදලා නෑ. පස්සේ දවසේ එහා ගෙදර සෙදෝ ආච්චි මාත් එක්ක ඉස්පිරිතාලෙට ගියා. අම්මා හිටියා රෙද්දකින් ඔලුව ඉදලා වහලා. මම අම්මේ අම්මේ කිව්වට එයා ඇස් ඇරියේ නෑ. එයා සීතල වෙලා. සොදෝ ආච්චි මගේ ඔලුව අතගෑවා. කෙල්ලේ උබේ අම්මා ගෙනාව ආයුශ ඉවරයි උඹ හිත හදා ගනින් කිව්වා. මට කිසි දෙයක් තේරුනේ නෑ. අම්මව ඉස්පිරිතාලේ දාලා මම සෙදෝ ආච්චි එක්ක ගෙදර ආවා. ඊට පස්සේ කවදාවත් මම මගේ අම්මව දැක්කේ නෑ. සොදෝ ආච්චි මට එහෙ ඇවිත් නවතින්න කිව්වා. තියන විදියට කන බත් කට කාලා ඉමු කිව්වා. මම එහෙ ගිහින් නැවතුනා. උන්දෑ පුලුවන් විදියට කන්න දීලා බලාගත්තා. “අම්මා නැතුව ආයේ ඉස්කෝලේ එන්න එපා” කියලා ටීචර් කිව්ව නිසා මම ආයේ ඉස්කෝලේ ගියේ නෑ.
උන්දෑ මැරුණ දවසේ ඉදලා ආයේ මම තනි වුණා. මෝහිණීගේ දුවගේ ගවුමේ ඉරුනු තැන් ගොඩක් තිබුනා. ගමේ පිරිමි සේරම ගවුමේ ඉරුනු තැන් වලින් මගේ ඇග දකින්න හොයද්දී, එක මිනිහෙක් විතරක් ඇග දකින්නේ නැතුව ගවුමේ ඉරුනු තැන් විතරක් දැක්කා. ඇග පේන්නේ නැති ගවුමක් මට අරන් දුන්නා. දකින දකින් මිනිහට සාප කල මෝහිණීගේ දුව ඒ පිරිමියා ඉස්සරහා පුස් පැටියෙක් වුනා. මෝහිණී වගේම මෝහිණිගේ දුවත් එක පිරිමියෙක් ඉස්සරහ හීලෑ වුනා. ගමේ උන් කුලප්පු වුනා. ” හරි හපන් පිරිමියෙක් කොහෙද යක්ශ කෙල්ලෙක්ට ආදරේ කරන්නේ” උන් කලබල වුනා. මෝහිණීගේ කෙල්ල එක්ක නටන මිනිහා කුඩ්ඩෙක්ලු, කුලියට මිනි මරන එකෙක්ලු. ගමේ උන් ඒ මිනිහගේ පැටිකිරිය හෙව්වා. දකින දකින තැන මට දොස් කිව්වා කුඩ්ඩෙක්ව ගමට ගෙන්නගෙන ගම විනාස කරනවා කියලා. අන්තිමට කුඩ්ඩත් එක්ක මම ඒ ගමෙන් ආවා. කුඩ්ඩයි මමයි ටවුමේ වත්තකින් පොඩි කාමරයක් ගත්තා. මම හිටිය ගමේ ලෑලි ගෙදර වගේ නෙමේ. මෙහෙ මුලු ගෙදරම වැහිලා. කවුරුත් හිල් අස්සෙන් එබිලා බලන්න ආවේ නෑ. කුඩ්ඩා මාව ගාමන්ට් එකක රස්සාවට දැම්මා. මටයි කියලා සල්ලියක් ලැබුනා. කුඩ්ඩා මට කවදාවත් දැක්කේ නැති කෑම අරන් දුන්නා. අම්මට පස්සේ කුඩ්ඩා විතරයි මගේ ඔලුව අතගෑවේ. එයා විතරයි මට කිව්වේ ” කෙල්ලේ උඹ හරි ලස්සනයි” කියලා. මම කියෙව්වා කුඩ්ඩා ඔහේ අහගෙන හිටියා. එක පාරටම කුඩ්ඩා ගෙදර නෑවිත් හිටියා. සමහර දවස් තිබුනා දවසක් දෙකක් කුඩ්ඩා ගෙදර නෑවිත් ඉන්න. එහම හිතලා මම හිටියා. ඒත් සතියක් දෙකක් ගියා කුඩ්ඩා ආවේ නෑ. විපරම් කරද්දී ආරංචි වුනා කුඩ්ඩව පොලිසියෙන් අරගෙන ගිහින් හිරේ දාලා කියලා. සමහරු කිව්වේ කුඩ්ඩව මරලා කියලා. අම්මා, සොදෝ ආච්චි වගේම කුඩ්ඩත් මාව දාලා ගියා. දැන් මගේ බඩට මාස 6ක්. මිසී නෝනා නම් කියන්නේ මගේ බඩේ ඉන්නේ දුවෙක්ලු. මම තාම කල්පනා කරනවා මගේ දුවත් මම වගේම තාත්තා කව්ද කියලා නොදැනම මැරැන්න ඕනාද කියලා. ඒත් එක දෙයක් නම් මම දන්නවා, මට වගේ මගේ දුවට නම් කවුරුත්, ” මෝහිණීගේ දුවගේ දුව” කියන එකක් නෑ. මොක්ද මෙහෙ කවුරුත් මම මෝහිණීගේ දුව කියන්න දන්නේ නෑ.
උපුටා ගැනීම : Rivindu Udani