අපෙ ගෙදරට වම් අත පැත්තෙ ඉන්නෙ නෝල්ස් කියල පවුලක්.
ලෝං අයිලන්ඩ් වලිං ආපු සුදු අය. නෝනයි ,මහත්තයයි ,බල්ලො හත් දෙනයි , පූසෙකුයි.
අපි දෙගොල්ල දැක්කම හායි බායි ගානව මිසක් ලොකු ඇයි හොඳයියක් නෑ ඉතිං.
විශාල වත්තක තියෙන පැරණි ලස්සන ගෙයක් ඒක.
නෝනගෙ නම සෙලෙස්ට්.
වයස හැට පහකට වැඩි මිසක් අඩු නෑ…ඒත් ඉතිං ලමිස්සි වාගෙයි පෙනුම. ගෙදර හිටියත් පිටට ගියත් පොඩි ඇඳුං කෑල්ලක් තමයි ඇඳං යන්නෙ…
අනෙ ඉතිං එහෙමයි කියල ඒකෙ කිසි අවලස්සනකුත් නෑ…වයස ගියත් හැඩ වැඩ ඇඟවල්නෙ.
ඔය නෝනා බල්ලො හත් දෙනාටයි පූසටයි මාර ආදරේ උනාට…ගෙදර ඉන්න වෙලේට උංට කෑ ගහල අඬ ගහන්නෙ හරියට මර ලතෝනි දෙනව වගේ…
මගෙ කුස්සිය තියෙන්නෙ ඒ වත්ත අයිනෙම නිසා මං උයන වෙලේට ඒ නාදෙ කණේ තිබ්බ වගේ ඇහෙනව ගොඩක් දවස් වලට.
හතක්ම හිටියට මට ඇහිල තියෙන්නෙ බල්ලො තුං දෙනෙක්ගෙ නම් විතරයි.
ලය..ලය..ලාය අ අ…
මං මුලදි හරියට නොමග ගියා කව්ද මේ සෙලෙස්තිනා නෝනා හැමදාම බැණ වදින බොරු කාරය කියල.
බලද්දී එක බල්ලෙක් Liar.
අනික් දෙන්න Cheater සහ Thief.
ලා…ය අ අ
චී….ට අ අ
තී….ෆ්
ඕං මට ඇහිල තියෙන නම් තුන.
සත්තුංට බොරුකාරය, වංචාකාරය, හොරා වගෙ නම් දාපු සෙලෙස්තිනා ගෙ ඉතුරු බල්ලො හතර දෙනත් ඒ වගෙම නම් ඇත්තො වෙන්නෝනෙ.
එහෙම කථා කළාට ඇය උංට බොහොම ආදරෙං තමයි සැලකිල්ල. නාවල කවල පොවල ඉඳ හිටල dog wisperer කෙනෙක් ගාවටත් අරං යනව.
මිලෙං අධික ඩෝග් ෆූඩ් කෑවත් ඉඳ හිටල මං වැටෙං එහාට වීසි කරණ මස් කටු වලට මේ සෙට් එක පොර බදන්නෙ නං ඉතිං ලංකාවෙ ඉන්න ගම් බල්ලො වගේමයි.
ඒගොල්ලො කූඩු වල හිර කරල නැති නිසා ඉන්නෙ වත්ත පුරා දුව පැන ඇවිදිමින්.
නැත්තං ඉතිං සෙලෙස්තිනා ගෙං මං හොඳ දෙකක් අහගෙන.
මං වැට අයිනෙ තියෙන පොඩි ගහෙං කරපිංච ඉත්තක් කඩන්න ගියත් මුං ටික විදුලි වේගෙං වැට ගාවට එන්නෙ ඒ මස් කටු පුරුද්දට.
අපරාධෙ කියන්න බෑ හොඳ කෙලෙහි ගුණ දත් සත්තු ටික.
මං පාරෙ පයිං යනව නං ඒ ගේ පහු කරල නොපෙනී යනකල්ම කෙටි තාප්පෙං එබි එබි
“ආ ගමනක් යනව වගේ…”
කිය කිය කොමල කරණව.
ඒකෙ තේරුම එහෙම උනත් කියන්නෙ මෙහෙම…
“බුහූ…හූ…”
“බූ ඌ ඌ…”
අපෙ මෙලිස්සගෙ බල්ල රස්ටි…
ලස්සන සතා ඉතිං. දිළිසෙන මළකඩ පාට හිංද ඒ නමත් අගේට ගැලපෙනව.
මෙලිස්සා සහ සෙලෙස්ට් දෙන්නම තමංගෙ සුරතල්ලු අරං යන්නෙ එකම සත්ව වයිද්ය වරයෙක් ගාවට.
දවසක් මෙලිස්සා රස්ටිව අරං ඩොක්ට ගිබ්සන් ලඟට යද්දි සෙලෙස්තිනාත් ඇවිත් හිටිය ඇගේ බලල් පුතා අරං.
දෙන්නම හායි හූයි කියල පොඩි ඕපෙයක් දාං ඉන්න අතරෙ සත්තු පොත පුරවන්න සහායිකාව ආවා.
පූස් පොතේ පූසගෙ නම දැකල මෙලිස්සව උඩ විසි උනා.
පූසගෙ නම ඩෑම් ඉට්
Damn It…..!!!
ඉංගිරිස් මිනිස්සු කේංති ගියාම කියන වචනයක්නෙ ඒක…
හරියට මේ සිංහලෙන්
මොන මගුලක්ද..
මොන බම්බුවක්ද..
කියන්න වගේ.
මටත් දැංනං මතකයි හිටපු ගමං “ඩෑමීඊඊඊට්” කියලත් කෑ ගහනව.
අර ලය..ලය..කියන මර ලතෝනියටත් මෙලිස්ස හරි කේන්තියෙං හිටියෙ, ඇනිමල් ඇබියුස් කිය කිය.
පාරෙ ඉන්න බල්ලංගෙ නම් පවා දන්න බලු ලෝලිනියක් වශයෙන්, ඇය සෙලෙස්ට්ගෙ නාමකරණ සැලකුවෙ බරපතල සත්ව හිංසාවක් හැටියට.
පොත දැක්කම මෙලිස්සට කට වහං ඉන්න බැරි උනා…
ඇය ඇහුව
” ඔයා ඔයාගෙ පූසට නම දැම්මෙ ඩෑමිට් කියලද…”
” ඉයා…”
” අයියෝ ඇයි ඒ…? මෙච්චර ලස්සන නම් තියෙද්දිත්…? ඔයාට වෙන හොඳ නමක් දාන්න තිබ්බනෙ “
මෙලිස්ස කිව්ව.
පිස්සු කථාවක් ඇහුන වගේ අරුම පුදුම බැල්මක් හෙලන ගමං සෙලෙස්ට් පිළිතුරු දුන්න..
” හී ඊස් මයි කැට්… අයි කැන් නේම් හිම් ෆ්රොග්, ඉෆ් අයි වෝන්ට් ටු…”
මේ ඉන්නෙ මගෙ පූසා…මං කැමති නං එයාට ගෙම්බා කියල උනත් නම දාන්න පුලුවනි.
හැබැයි ඉතිං ලෝකෙංම, පූසෙකුට ගෙම්බ කියල කථා කරණ එකම රට නං බහාමාස් විතරක්ම වෙන්නැති.
උපුටා ගැනීම : -ලසන්ති කොඩිකාර