සීමාව පැනීම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අත්ලාන්තික් කලාපෙ සාමාන්යයෙන් පාසල් වල ගිම්හාන නිවාඩුව එහෙමත් නැත්තං සම වැකේෂන් පටං ගන්නෙ ජූනි මාසෙ පළවෙනි සතියෙ. සැප්තැම්බර් මාසෙ මුල වෙනකල් මාස තුනක් එක දිගටම ඉස්කෝල වහල තියෙන මේ කාලෙ ඉතිං මේ රටවල ළමයි දත මැදගෙන බලං ඉන්නෙ ලෝකෙ වටේ රවුං ගහන්න.
අපිත් ඉතිං අවුරුදු දෙක තුනකට වරක් ගෙදර යන්නෙ ඔය සම එකේ තමයි, මොකෝ තුං මාසයක්ම නෑයොත් එක්ක ඉන්න පුලුවන්නෙ.
ඒ යන අතරෙත් කොහෙ හරි අතරමග රටක ටිකක් නැවතිලා යන අවස්ථා තියෙනව. හැබැයි ලගේජ් එක්ක ඒක හරි දුෂ්කරයි.
ගෙදර නොගියොත් නං අගෝස්තු මාසෙ සති තුනක්ම ඇමරිකාවෙ ප්රාන්තයක් තෝරං ඒක බලන්න තමයි අපි ආස.
මේ ආකාරෙට දැං සෑහෙන ප්රාන්ත තොගයක් දැක බලාගෙන තියෙනව වගේම එහෙ තියෙන කඩ සාප්පු එහෙ ඉන්න අයටත් වඩා හොඳට අපි දන්නව කියන්න පුලුවනි.
මීට අවුරුදු දහයකට විතර පෙර සම එකේදි අපි ගියේ ඔහායෝ ජනපදයට. ඉන්පෙරත් දෙවරක් එහෙ ගිහිං තිබ්බත් මේ පාර ගමන ටිකක් වෙනස් එකක් උනා මොකෝ කලිං වතාවල වගේ ඒ ස්ටේට් එක ඇතුලෙම ඉන්නෙ නැතුව වාහන වලිං වෙන දිහාවකට යන්න තීරණය කරල තිබ්බ නිසා.
අපෙ මනුස්සයගෙ පුංචි කාලෙ පටංම හොඳම යාලුව වන ශානකයි ඔහුගෙ අයියයි නංගියි කට්ටියම ජීවත් වුනේ මේ ඔහායෝ (Ohio State) ස්ටේට් එකේ තමයි.
ඉතිං යෝජනාව වුනේ වාහන දෙකකිං මේ අයගෙ පවුල් තුන සහ අපේ පවුල ඔහායෝ සිට කැනඩා බෝඩ එක දක්වා ගොස් නයගරා දිය ඇල්ල බලන්න. ඊට කලිං අපි ඒක දැකල නොතිබ්බ නිසා අර කට්ටියට හරිම ආසාවක් උනන්දුවක් තිබ්බ කොහොම හරි අපිව ඒ ගමන එක්කරගෙන යන්නම ඕනෙ කියල.
කැනඩාවෙ ඉන්න ඒගොල්ලන්ගෙ මාමයි නැංදයි නයග්රා ෆෝල්ස් එකේ ඉඳං බස් එකේ පැයක දුරිං ඉන්න නිසා අපි ඒ හරියට ලං වෙද්දි ඒ දෙන්නත් එන්නං කිව්ව අපි නවතින හෝටලේට.
පැය හයකට මදක් වැඩි ගමනක්.
මිනිස් පුලුටක් නැති සුවිශාල ගොවිපොළවල්, මිදිවතුයායවල්, තණ උලා කන හරක් සහ බූරුවො විතරයි පුරා පැය දෙකක් විතරම යනකල් පහු කෙරුවෙ…
දවසට තුන ගාණෙ බලන ෆිල්ම්ස් වල කොච්චර දැකල තිබ්බත් ඇත්තට එහෙම පැය ගණං යන්න උනාම හරි අද්භූතජනකයි. පහු වෙනකොට නං අතරිං පතර ට්රක් නවත්තන තැං සහ ඒ අය විවේක ගන්න තැං තිබ්බ නිසා හදිසියට මූණ කට එහෙම හෝද ගන්න පුලුවන් උනත් , ඔය ලංකාවෙ වගේ තේ එකක් එහෙම බොන්න තැනක් අහල ගං හතක හොයා ගන්න තිබ්බෙ නෑ පැය හතරක් යනකල්ම.
අපි වගෙ නෙමෙයිනෙ ඇමරිකන් පුරවැසියො ටික. ඒගොල්ලො ඉතිං කන්නද බොන්නද සේරම අරං තමයි ට්රිප් එක පිටත් උනේ.
“මළ සමයං … කව්ද බොලව් ගෙවල් ඔලිං කෑම අරං ට්රිප් යන්නෙ … අනෙ මුංගෙ ගොඩේ කම ඇමරිකාවෙ වෙලත් ” ආදී වශයෙන්, හිත අස්සෙං ඒ හොඳ මිනිස්සුංට නොයෙකුත් පද වර්ග නිර්මාණය කරපු මං , ඒ සේරටම වඩා ඒ ගෙනිච්ච දේවල් වලිං ප්රයෝජන ගත්ත බව නං කියන්නම ඕනෙ…
නයග්රා ෆෝල්ස් හෙවත් නයගරා දිය ඇල්ල ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකටම අයත් බව ඉතිං කවුරුත් දන්නවනෙ.
නිව් යෝක් වල බෆලෝ කියන ප්රදේශය සහ කැනඩාවෙ ඔන්ටාරියෝ තමයි මේ අති සුන්දර, මණස්කාන්ත දියකොමළිය දරාගෙන ඉන්නෙ ඉතිං…
අපි ගිහිං නතර උනේ බෆලෝ වල හෝටලේක. ඒ ගිහිං ටිකකිං
කැනඩා නැංදයි මාමයි බස් එකෙං ඇවිත් හෝටලේ ඉස්සරහිං බැස්ස.
රටවල් වල දේශසීමා අතරිං ඒ විදිහට බස්වල සෙනග යන එක හරි සාමාන්ය දෙයක්.
දැං පවුල් පහයි. ලොකු අය ජෝඩු පහයි. පොඩි ළමයි අටයි.
එදා රෑ ඉතිං මෙක්සිකන් රෙස්ටොරන්ට් එකකිං හොඳ රහ කෑම වේලක් සප්පායං වෙලා හෝටලේ මිදුලෙ ගහල තිබ්බ ගිණි මැලේ වටේ වාඩිවෙලා එලිවෙනකං රස කථා කිව්ව.
ඒ බෙල්ට්රම් මාමා වගේ කථා කාරයෙක් නං මට තාමත් හම්බ වෙලා නෑ…අම්මේ…හිනා උන තරමක්…! ඒකටම හරියන නැංද. ශමිල් අයිය,ශානක අයිය, ශලනි බැංද මහත්තය නිසල් අයිය කට්ටියම එහෙම තමයි. මාර ජොලි…
පස්සෙ මාමම කිව්ව
“මේ තොපි දැං ගිහිං නිදා ගනියව්…හෙට ඇල්ල බලන්න ඕනෙ නං. මට නං ඕකෙ ඇති
දෙයක් නෑ ” කියල.
අපි ඇරෙන්න ඉතුරු සේරම විසි වතාවකට වඩා ආපු ගමනක් ඒක.
පහුවදා උදේම පේන දුරිං තිබ්බ සුන්දර නයගරා කොමලිය බලන්න ගියා පයිංම අපි ඉතිං.
අනෙ අම්මේ එහෙම ලස්සනක්….!!!
ඒක ඉතිං ගිහිංම ඇස් වලිං බලන්න ඕනේ.
නිකං ටීවී එකේ පිංතූර වල බැලුවට මදි.
වින්ට කාලෙට ඒකෙ කොටසක වතුර මිදෙනවලු. අවුරුදු සියගාණකට කලිං තමයි අන්තිමට මුලු නයග්රා ෆෝල්ස් ම ෆ්රීස් වෙලා තියෙන්නෙ.
මට මේ විස්තර කියල ලස්සන පිංතූර ටිකකුත් හොයල දුන්නෙ කැනඩාවෙ ඉන්න අපෙ කේමා අක්ක. එයාලෑ දිහාවෙ යන්න හිතං හිටියට තාම බැරි උනා නෙව. නැත්තං අපි යාලුවො සේරම එයාගෙ දුවගෙ මගුල් ගෙදර හම්බ වෙන්නයි කථා වෙලා හිටියෙ.
ඉතිං ඔය දිය ඇල්ල දිහාවෙ නිකං බලං හිටියට මදි බෝට්ටුවල නැගිල ඕකෙ වතුර නයගරා ගඟට වැටෙන තැනටම ගිහිං බලනකොට තමයි සංතෝසෙ නියම කූටප්රාප්තිය තියෙන්නෙ.
ඒකට අඳින්න වෙනම ඉටි ඇඳුං දෙනව ඇල්ල භාරව ඉන්න කට්ටිය … නැත්තං ඉතිං ඒ ජල ප්රවාහෙට නෑවිලා නෙමෙයි මූදුබත් වෙනව බෝට්ටු ඇතුලෙම.
දිය ඇල්ලෙ ජලධාරිතාවය ගොඩක් බලවත් හංද බෝට්ටු වල යකඩ පට්ටං ගහල තියෙනව වැටෙන්නෙ නැතුව ඉන්න, මිනිස්සුංට අල්ල ගන්න. වැටුනොත් නං ඉතිං ලස්සන බැලුව වගෙ නෙමෙයි … සොරිම තමයි.
ඒ මහ ජලකඳේ සද්දෙත් එක්ක අති සුන්දර මණස්කාන්ත , මණමෝහනීය දර්ශණය දකින ගොඩාක් දෙනා ඒකෙං වශීකෘත වෙලා නිකං පොඩි රොමෑන්ටික් දේවල් පවා ඇති වෙනව කියල විශ්වාසයක් තියෙනව.
බොහොමයක් පෙම්වත්තු තමුංගෙ පෙම්වතියට විවාහ යෝජනා කරන්න එක්කං යන්නෙත් නයගරා ඇල්ල අභියසට.
ඉතිං මේ විදිහට අතිශය රමණීය දසුනක් සිත්සේ නරඹල බෝට්ටුව නැවත හරවං ආවට පස්සෙ තවත් බලපු මදි කට්ටියට තියෙනව ටිකක් බරපතල ඇඩ්වෙන්ච එකක්.
ඒ තමයි දිය ඇල්ල මුදුනට නගින එක. ඒකට ඉතිං යකඩිං හොඳට හයිය අත්වාරු දාල පඩිපේළි හයි කරලයි තියෙන්නෙ. ඒත් ඉතිං මීටර් 51 උඩට නගිනව කියන එකත් ලේසි නෑ… ඒකට , අර ඉටි කවර ඇඳුමට අමතරව ලෙස්සන්නෙ නැති විශේෂ සපත්තුත් ලබා දෙනව.
මං ඉතිං වැඩිය උඩ යන්න ආස නැති නිසා නැංදයි මාමයි එක්ක වාඩි වෙලා ඉන්න තීරණය කළාම ශමිල් අයියගෙ නෝන විනෝදනීත් කිව්ව එහෙනං එයත් ඉන්නව කියල.
අපි ඉතිං ගිෆ්ට් ෂොප් එකෙං තෑගි දෙන්න ස්නෝ ග්ලෝබ්ස් ෆ්රිජ් මැග්නට්ස් සහ තව මං මටම තෑගි දීගන්න සුවනිය’ස් ගොඩක් එහෙම අරං ඔහේ වාඩිවෙලා හිටිය.
එතන කොහේ හිටියත් හැම තැනම පේන්නෙ ඉතිං අපිව පිස්සු වට්ටන නයගරා තමයි.
මේ පැත්තෙ ඉඳං බලද්දි ඈත පේනව කැනඩා කට්ටිය ඒ පැත්තෙං නයගරා බලනව. ඕනෙ නං අත වනන්නත් පුලුවං.
විනෝදනී යාපනේ දෙමළ කෙල්ලෙක් නිසා චතුරව සිංහල බැරි හංද ඇන්ටනට් නැංද වාඩිවෙලා ඉන්න අතරෙ මට ඉංගිරිස් වලින්ම අවවාදත් දුන්න සැරීර බර අඩු කිරීම ගැන.
මාමත්
“අනෙ ඔව් පුතේ යූ ෂුඩ් ස්කිප් යෝ ඩින”
ගගා මට පේන්න බැරි දේවල් වගයක් කිව්ව.
මං මහත් වෙන්නෙ කාල නෙමෙයි… කෑම දැකල , කෑම වල සුවඳ දැනිල වගෙ දේවල් වලිං බව මේ වැඩිහිටියංට නොතේරෙණ හැටි…
අනෙ ඉතිං මේ බෙල්ට්රම් මාමයි නැංදයි දෙන්න පිට පිට අවුරුදු හතරක් අපේ ගෙදරත් ආව කෲස් වල යනිං ගමං , නැව බහාමාස් ආවම.
දවසම අපේ දිහා ඉඳල, දවල්ට කාල නැව පිටත් වෙන්න කලිං මං ඒදෙන්නව ජැටියට ඇරලවනව.
දැං ඒ දෙන්නට වයස 80 පැනල. ඒ වගෙ ගමන් යන්න කැමති නෑ.
ඉතිං ආපහු කථාවට එන්නංකො.
මේ දියඇලි වැඩේට මුලු දවසක්ම යනව.
ඔය පොඩි පොඩි ස්නැක්ස් කකා වතුර බිබී දැං තුනත් පහුවෙලා , උඩට නගින්න ගිය කට්ටිය තාමත් නෑ…
මායි විනෝයි කථා උනා පොඩ්ඩක් ඇවිදගෙන ගිහිං ඈතිං හැම තැනම තියෙන ෆූඩ් ජොයින්ට් අතර ග්රීක් ෆූඩ් තැනකිං ජයිරෝස් ටිකක් අරං එන්න.
වෙලාවෙ හැටියට ලේසියෙන් කන්නත් පුලුවන්. බඩගිනිත් නිමෙනව. අර කට්ටිය එද්දි අපිට එන්නත් පුලුවන්.
අපි දෙන්න අවට සිරිත් නරඹමින් හිමිං ඇවිදං ගියා.
ඔය කෑම කඩ පෙණුනෙ ඉතිං අපේ හෝටලෙ තියෙන පැත්තෙං නෙමෙයි…වෙන පැත්තකිං.
මං ඔව්ව නොදන්නවට මොකෝ විනෝ ඉතිං නිව් යෝක් ඇස් වහං උනත් දන්න කෙනානෙ.
හැබැයි නිව් යෝක් කිව්වට මේ නයග්රා තියෙන බෆලෝ හරිය නිකං අපෙ ලංකාවෙ මහියංගනේ වගෙ තමයි පෙනුම. ඒ තරං ගම්බදයි.
කඩ ටික පේන නොපේන හරියට ආවම අපිට ඉතිං ඇවිද්ද මහන්සියත් අමතක උනා.
තව මීටර් තුංසීයක් වගේ ගියාම වාඩිවෙලා මොනව හරි බීලම කෑම ටික අරං යන්න පුලුවං කියල හිතද්දිම …
එක පාරට කොහෙං පාත් උනාද කියල හිතා ගන්න බැරි උන යුනිෆෝම් කාර සුද්දො හතර දෙනෙක් අපිව නතර කළා. ඒ කට්ටිය අතේ තුවක්කුත් තිබ්බද කොහෙද. අපි තුෂ්නිම්භූත වෙලා වටපිට බලද්දි ඒගොල්ලො පැහැදිළි කළා
අපි ඇමරිකානු දේශසීමාව ඉක්මවල දැං කැනඩා දේශසීමාවට පය තියල ඉන්න බව.
ඒක බය වෙන්න ඕන කාරණාවක් කියල මට එහෙමටම වැටහුණේ නැහැ ඒගොල්ලො අයිඩී ඉල්ලනකං.
විනෝට ප්රශ්නයක් නැහැ ඇය ඇමරිකානුවෙක්..ඒ රටවල් දෙකේ අයට නිදැල්ලේ එහා මෙහා යන්න පුලුවං.
සීමාව ඉක්මවා පදිංචි වෙලා ඉන්නයි බැරි. නමුත් මං එහෙමයැ… අවුරුදු දහයකට ඇමරිකන් වීසා විතරක් වැදිච්ච පාස්පෝට් එකක් බෑග් එකේ තියෙන ශ්රී ලාංකිකයෙක්.. මං කරල තිබ්බෙ ඉතාම බරපතල වරදක්…! ඇත්තටම ඒ නිළධාරින්ට පුලුවං කම තිබ්බ මාව අත් අඩංගුවට අරගන්න.
මට නිකං කලන්තෙ හැදීගෙන හැදීගෙන වගේ ආවත් බය නොවී මේක ඇත්තටම නොදැනී වෙච්ච අත් වැරැද්දක් කියල පැහැදිළි කළා… මටත් වඩා බය වෙලා තිබ්බෙ විනෝ…එයාට භාගෙට ඇඬිලත් තිබ්බ. එයා ඒක සැලකුවෙ හරියට එයාගෙ ගෙදරට ආව කෙනෙක්ව එයාගෙ වැරැද්දෙං ඒගොල්ලංගෙ බල්ල කාල තුවාල කෙරුව ගානට.
අනේ අපරාධෙ කියන්න බෑ…ඒ කැනඩා පොලිස් මහත්තුරු ආසියාවෙ අය වාගෙමයි. හොඳ උගත්කමක්, මොළයක්, යමක් අවබෝධ කරගැනීමේ හැකියාවක් එහෙම ඇති අය…
ආපහු එහෙම මේ වගේ දේවල් කරන්න එපා කියල එයාල අපිට යන්න දුන්න.
අපි ජයිරෝසුත් අමතක කරල පණ එපා කියල ආපහු බෙල්ට්රම් මාමල ගාවට එද්දි අපේ කට්ටිය නයග්රා සුන්දරියගෙ හිස්
මුදුනත් බලල බිමට බැහැල අපි ගැන වගේ වගක් නැතුව අයිස් ක්රීම් කකා ඉන්නව..
විස්තරේ අහල ශමිල් අයිය නං කිව්වෙ මට කලංතෙ දාන්න වගෙ ආවෙ පොලිසියට බයේ නෙමෙයි… බඩගින්නෙ ඉඳල පුරුදු නැති හිංද කියල.
——————————-
දැං විනෝදනීටයි ශමිල් අයියටයි දෙන්නටම කොරෝන හැදිල. විනෝ පෙරේද ගෙදර ආව. ශමිල් අයියට නිව්මෝනියාවටත් හැරිල.
එයා ICU එකේ ඉන්නෙ.
ආදරණීය ශමිල් අයියට ඉක්මන් සුවය ලැබේවා…ජේසු පිහිටයි අයියෙ…!🙏🏽
උපුටා ගැනීම :  -ලසන්ති කොඩිකාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!