විල් චුට් බොම් තර් ගිල් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එඩිංබරෝ ආදිපාදව ටිකක් මතක ඇති මං හිතන්නෙ මගෙ කථා කියවල තියෙන යාලුමිත්රාදීන්ට.
පොර අයිය ගමේ ඉන්න කාලෙ ඉතිං හෙන වලිසිංඤ්ඤො නෙ.
වලියක් කොතැනද…ඇඩිය එතැන.
අනුංගෙ ඒවටත් උදව්වට යනව යාලු කමටයි නෑදෑ කමටයි.
කුරණ ගමේ හිටිය විල්බට් කියල අංකල් කෙනෙක්. මං පුංචිම කාලෙත් එයා හිටිය.
එයා ගොඩක් කොට මනුස්සයෙක් හංද නැති තැන එයාව හැඳින්නුවෙ විල්බට් චුට්ට කියල. ඔහොම නම් හරියට අපෙ ගමේ මිනිස්සුංට තිබුණ.
නෝස් ජෝස්.. ගොඩිංකං.. ඇඩ්ඩිං කුක්කා..බෆලෝ ජස්ටිං..ආදී වශයෙන්.
ඔව්ව පිටුපස නම් හැදෙන්න පසුබිම් කථාත් තිබුණ.
විල්බට් අංකල්ට තිබුණ ලස්සන කැෆේ එකක්. ඒ කාලෙත් මේකෙ වයිවාරණ බීම ජාති සහ ඉස්තරං කෑම වර්ග තමයි තිබුණෙ. දැං ඔය කොෆි ෂොප් තිබ්බට විල්බට් අංකල්ගෙ ප්රීමන් කැෆේ එකට ගහන්න ලස්සන කඩයක් අදටත් මංනං කොළඹවත් දැකල නෑ.
විල්බට්ගෙ නෝන බ’ග කාන්තාවක්. ලස්සනට සාරිය ඇඳල , ලිප්ස්ටික් ගාල , කොංඩෙ මලක් ගහං තමයි උදේ වරුවෙ කැෆේ එකේ ගැවසිලා තියෙන්නෙ.
ඒ කාලෙ නිතරම රුක්මණී දේවි ප්රීමන් කැෆේ එකෙං රෝල්ස් කාල කිරි කෝපි බීල යනව කියල අපෙ ආච්චි කිව්ව.
එතුමිය මීගමුවෙනෙ.ජයරුක් නිවස පේනමානෙ උනත් ඒ වගෙ ප්රණීත තැනකිං කන්න බොන්න ආස හිතෙන්න ඇති ඉතිං…
ඉතිං දවසක් අපෙ ඇඩි අයිය තමංගෙ අනිකුත් නස්කූනි යාලුවො සමග විල්බට් චුට්ටගෙ ප්රීමන් කැෆේ එකට ගියා කටලිස් පස්තෑල කාල පැෂෝන බීල එන්න හිතාගෙන…ඔය 60 දසකයෙ ඒ වගෙ තැං හරි හිඟනෙ. තිබ්බත් ඉතිං මේ වගෙ ඉහල පෙලේ තැං ඇත්තෙම නැති තරං…
ආදිපාද උන්නාන්සේල පාඩුවෙ කමිං ඉන්නකොට මීගමුවෙ ටිකක් නමගිය ප්රසිද්ධ කෙනෙකුත් ආව කැෆේ එකට.
එවෙලෙ වැඩට හිටියෙ ගෑණු ළමයි දෙන්නෙකුයි පිරිමි ළමයෙකුයි විතරයි.
එක ගෑණු ළමයෙක් අර මනුස්සයට කෑම බීම සපයද්දි ඇඩි අයියට පේනව මේ යකා නිකං අනවශ්ය විදිහට කෙල්ලගෙ අතිං අල්ලනව වගේ.
පොඩ්ඩක් අහක බලං හිටියත් අර කෙල්ල හරියට අසරණ වෙලා වටපිට බලනවත් පේනව..
යාලුවො එපා කිව්වත් අපේ පොර නැගිටල යන්න තීරණය කළා එතනට.
” මොකද්ද විජේපාල මහත්තයො ඔය කරණ ලැජ්ජ නැති වැඩේ..” ඇඩි අයිය ඇහැව්ව.
මේ මොකෙද්ද බොල මං වාගෙ කෙරුමෙකුට හයිරං පාට් දාන්න එන ඇටිකිත්ත කියල බැලුව අර මහ පොර … නැගිටල
“උඹ මොකද” කියල කමිස කරෙං අල්ලල හෙලෙව්ව…ඒ අල්ල පනල්ලෙ අර අසරණ කෙල්ල ටක් ගාල එතනිං පැන ගත්ත..
මල පැන්නම ඇඩි අයියට උන්න මළා පේන්නෙ නෑ… අරූගෙ හොම්බට දෙකක් අනින්න කියල හදන කොටම එහෙං මෙහෙං කලබලය කණ වැකිල විල්බට් ඉක්මන් කරල එතනට ආව.
පළාතෙම ප්රසිද්ධ තැනක පොඩි හරි හබයක් වෙන එක කීර්ති නාමයට ලොකු කැලලක්නෙ.
“එඩී මොකද්ද මේ කරණ පිස්සු වැඩ වල තේරුම…පලයල්ල ගෙවල් වලට…”
කියමින් වෙච්ච දේවත් හරියට හොයා බලන්නෙ නැතුව විල්බට් අංකල් පළාතෙ බලවතාගෙ පැත්ත ගත්ත බවයි පේන්න තිබුණෙ.
“අනෙ මිස්ට විජේපාල..අයෑම් එක්ස්ට්රීම්ලි සොරි..ඩෝන්ට් යූනෝ දීස් යං චැප්ස්..”
ගගා විල්බොටා නිකාං තමං දෙකේ කොලේට දාල කථා කරණවත් , තමුන්ගෙ බයිසිකල් වල නැගිල යන ගමං ඇඩි අයියලට ඇහුණ.
කට්ටියට මේකට බොහොම හිතට අමාරුයි.
ඇයි බොලේ…වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණ වාගෙ වැඩක්නෙ.
ඇඩියට ගෙදර ආවත් මේ තරහ හිතේ…රෑ වෙලත් මේක අමතක වෙන්නෙම නෑ…අනික දැං තාත්තගෙ කණට මේ කතංදරේ ගියොත් එහෙම නිකාං බැනුං අහගන්නත් වෙනව.
ඇඩි අයිය මහ රෑ ආපහු ගියා ප්රීමන් කැෆේ එකට.කඩේ වහල උනාට එලියෙ ලස්සනට ලයිට් පත්තු වෙවී තියෙනව.
ලොකු ලස්සන මල් පෝච්චි හතක් තිබ්බ පේලියට තියල.
ගෙදරිං අරං ගිය ලොකු කුරුඳු පොල්ලෙං ගහල කුඩු පට්ටං කරල දැම්ම මල් පෝච්චි හතම.
හැබැයි ලස්සන වීදුරු දොරවල් වලටවත් ලයිට් වලටවත් කිසිම හානියක් කළේ නෑ…පව්නෙ.
දැං හිතේ කිසිම තරහක් නෑ…සනීපෙට ගෙදර ගිහිං නිදා ගත්ත.
පහුවදා උදේ ලොකූ හාහෝවක්…ප්රීමන් කැෆේ එකට කලිං දවසෙ රෑ හොරු පනින්න හදල…උංට ඒක කරන්න බැරි උන පාර මල් පෝච්චි කඩල කියල තමයි රාවෙ යන්නෙ. ඇඩියි යාලුව ටෝනියි දෙන්නත් ගියා ඒ පැත්තට පොඩ්ඩක්…
විල්බට් කාරය හහ්ඃ හුහ්ඃ ගගා ඒ පැත්තට මේ පැත්තට වේගෙං ඇවිදිනව පිඹ පිඹ…මිනිහගෙ නෝන කම්මුලේ අත ගහං විස්සෝපෙං බලං ඉන්නව.
සෑහෙන්න සෙනග පිරිල. ඇඩියල මැරෙන්න හිනා වෙවී ගෙදර ආව.
දෙන්නටම හරි ජොලි මේ වැඩේට…
කතංදරේ හරියටම දැනං හිටපු නැති එඩිංබරෝලෑ අම්ම , අපෙ ආච්චිත් එක්ක වැට අද්දරට වෙලා ඒ ගැන කථා කරණ එක මදකට නතර කරල ඇහුව “මොකො පුතේ වෙලා තියෙන්නෙ…” කියල
දැඩි සතුට නිසා වචන පටලැවෙමින්
බක බක ගගා හිනා වෙවී ඇඩි අයිය දීපු පිළිතුර..
“විල් චුට් බොම් තර් ගිල්”
*****************************
ඒකෙ අර්ථය තමයි
විල්බට් චුට්ටට බොහෝම තරහ ගිහිල්ලා…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!