කොමන් සෙන්ස් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රංටැඹේ ජලාශය සදහා ව්යාපෘතිය කෙරෙණ කාලෙ මගෙ අප්පච්චි රැකියාව කළේ එහෙ.
රන්දෙණිගල ජලාශ ව්යාපෘතියට සමගාමීවයි මේකත් කෙරුණෙ.
රට පුරා හැම පළාතකිංම සෙනග මෙහි සේවය සදහා ගිහිං හිටිය.
ඉංජිනේරුවන්ගෙ ඉඳල බර වැඩ කරණ කම්කරුවන් දක්වා වූ හයදාහකට අධික පිරිසකගේ පරිපාළනය තමයි අප්පච්චිගෙ රාජකාරිය වෙලා තිබුණෙ.
ජර්මන් රජයේ ආධාර මත සිදු කෙරුණ මේ ව්යාපෘතියෙ වැඩ කටයුතු වල හැම වියදමක්ම දැරුවෙත් ජර්මන් කොම්පැනියක් විසින්.
පහු කාලෙක ජලාශෙ වැඩ ඉවර වෙලා රජයට භාර දුන්නට පස්සෙ රංටැඹේ කැඩෙට් කෑම්ප් එක පවත්වන්න යොදා ගත්තෙ මෙන්න මේ ව්යාපෘතිය වෙනුවෙන් හදපු අති විශාල නේවාසිකාගාර
සහ නිල නිවාස තමයි.
ඉතිං මේකෙ වැඩ කළ හැම දෙනාම රංටැඹේමයි නැවතිලා හිටියෙත්.
හයදාහකට වඩා වැඩි මේ පිරිසට අවශ්ය ඉඳුංහිටුං, කෑම බීම , විනෝද වෙන්න චිත්රපටි ශාලා , ක්රීඩා සංගම් , කන්ට්රි ක්ලබ් , ජිම් , ස්විමිං පූල් ආදී මෙකී නොකී සියලුම දෑ ඉස්තරමිංම සපයන්න ඒ ජර්මානු කොම්පැනිය වග බලා ගත්තා.
මාසෙකට වරක් රටේ ඉන්න ඉහල ගනයේ ගායක ගායිකාවන් ගෙන්වල සංගීත ප්රසංග පවා පැවැත් වුනා , වැඩ කරණ අයව සතුටින් තියන්න.
ඒ අය සතියෙ දවස් 6ක් වැඩ කරල නිවාඩු තිබුණෙ ඉරිදට විතරයි.
මාසෙකට සතියක් නිවාඩු.
කොයි කවුරුත් වගේම අප්පච්චිත් ගෙදර ආවෙ මාසෙකට වරක්..
ඇවිත් සතියක්ම අපේ පස්සෙං වැටීගෙන ඉදල හරීම සෝක මුහුණින් ආපහු යන්නෙ…
මහ රෑ ඇවිත් මහ රෑම ආපහු යන මේ ගමං වලදි අනන්තවත් පාරෙ වාහන නවත්තගෙන ඉන්න වෙලා තියෙනව අලි හිංදා.
එක වතාවක් එහෙම ඉන්නකොට අලිය යන්නෙම නැති හංද ඩ්රයිව අංකල් යෝජනා කළා ගිණි ගොඩක් ගහල බය කළොත් ඌ යයි කියල.
ගිණි ගොඩ පවත්වාගෙන යන්න මොනව හරි ඕනනෙ. මොකෝ අලිය ඉද්දි කැලෙං කෝටු කඩං එන්න පුලුවන්යැ…
යෝජනාව උනේ අප්පච්චි ගෙදර ඇවිත් යද්දි අරං යන සරසවිය , සරසි , සත්සර , රස , තිරතරු ඇතුලු සිනමා පත්තර ටිකයි අලුත් නවකථා පොතුයි ඉන්ධන විදිහට යොදා ගන්න.
” බොට පිස්සුද බං…”
කිව්ව අප්පච්චි වාහෙනේට වෙලා ඒව කියෝ කියෝ හිටිය ටෝච් එළියෙං…ඇයි ඉතිං වෙලාව ගත කර ගන්නත් ක්රමයක් එපායැ…අලියත් හිටිය පැය පහක්ම.
ඩ්රයිව අංකල් කොහෙංද ඇදල ගත්ත පිරිත් පොතක් අර ටෝච් එක දිහාවටම අල්ලගෙන අලිය යනකල්ම පිරිත් කිව්ව කියල තමයි අප්පච්චි නං කිව්වෙ.
ඉතිං අපි හැම පාසල් නිවාඩුවකටම රංටැඹේ යන්න පුරුදු වෙලා හිටිය ඒ කාලෙ.
සතියකට වඩා ඉඳල ආපිට එන්නෙ අප්පච්චි එක්කමයි.
ඔය ගමං වලදි අලි නං ඕනෙ තරං හම්බ වෙලා තියෙනව.
දවසක් උදේ කාමරේ ජනේලෙ අරිනකොටම ලස්සන අලියෙක් කෙසෙල් කැන් කනව ජනේලෙ ගාවම. කොටින්ම ඒක හරියට ඇරුණෙත් නෑ අලියගෙ පස්සට කෑල්ලක් අහු වෙලා…
ඌයි මායි ඔහොම මෙහෙම හිටියෙ…අනේ ඉතිං මොකට බය වෙනවද…අපෙ ආච්චිත් හැමදාම කිව්වෙ
“අනෙ පුතේ මොන තරං අත අත කියල හිතාගෙන ගියත් අලිය දැක්කම හිත මොකද්ද වෙලා නිකංම අත යන්නෙ අලියටමයි ” කියලනෙ…
අනික අලි දිහා බැලිල්ලයි ප්ලේන් දිහා බැලිල්ලයි කවදාවත් එපා වෙන්නෙ නෑ කියනවනෙ.
ඉතිං ඔය රංටැඹේ අපෙ අප්පච්චි ඉන්න නිල නිවාසෙ ඉවුං පිහුං කරන්න හිටියෙ සුදු බණ්ඩා කියල මහියංගනේ පැත්තෙ තරුණ හාදයෙක්…
නිතරම බුලත් විට කකා කට රතු කරගෙන හිටියත් මේ යෝධයා හරියට රොෂාන් පිලපිටිය වාගෙයි පෙණුම … බොහොම හැඩ වැඩයි.
ඇංදෙ නං සරං කමිස තමයි.
වයසත් විසිපහකට වැඩිය නෑ…
ගෙවල් අස් කරන්න , වතු ලස්සන කරන්න වෙනම උදවිය හිටපු හංද මේ හාදයට තිබුණෙ ඉතිං උයන්න විතරමයි.
මිනිහා ඉතිං නා නා මාදිලියෙ සිංහල රසකැවිලි හදන්නත් දස්සයා.
අප්පච්චි ගෙදර තනියම හිටියට හවසට අනික් අය ඇවිත් පාටි දාන හංද සුදු බංඩට වැඩ වලිං අඩුවක් තිබ්බෙත් නෑ…
අනික් වෙලාවට මිනිහ කළේ ඒ දවස් වල දවල්ට විකාශනය වෙන පැරණි සිංහල චිත්රපටි නරඹන එක තමයි…
අපි නිවාඩුවට ගිහිං ඉන්න දවසක “දෙවියණි ඔබ කොහිද” බලල ඉවර වෙලා කඳුලු පිහ පිහ සුදු බංඩ කිව්ව
“හොඳ ආදර්ශමත් කථාව නේද බබා…” කියල.
මිනිහ පෙරැත්ත කරලම අපි සොරබොර වැව බලන්නත් ගියා…ඒක හදපු බුලතා කියන යෝධයගෙ විස්තරේ බුලත් හප හපා මිනිහ බොහොම උජාරුවෙන් තමයි විස්තර කළේ අපිට.
මහියංගනේ පංසලට යන ගමන් අපිව ගෙදරට එක්ක ගිහිං වයසක අම්මවත් හඳුන්වල දුන්න…
අපි ගියාම මිනිහ හරි ආසාවෙන් කොළඹ , මීගමුවෙ තොරතුරු එහෙම අහනව. මිනිහගෙ ලස්සනත් පබුලිස්ටත් වඩා හොඳට ඉවීමේ හැකියාවත් හංද කන්ඩලම හෝටලේ එහෙම රැකියාවකට යන්න හැකි කම තිබ්බත් ඉංගිරිස් කචල් එක පරහකට හිටල තිබ්බ.
ප්රොජෙක්ට් එක ඉවර උනාට පස්සෙවත් එහෙම දේකට තල්ලු කරන්න හිතාගෙන අපෙ අප්පච්චි මූට හවසට හවසට ඉංගිරිස් ටික ටික උගන්වමින් තමයි හිටියෙ.
අපි නිවාඩුවට ගියාම ඉතිං වැඩි හරියක් උයන්නෙ අපෙ අම්මා. සුදු බංඩ අත් උදව් දෙනව විතරයි.
අපෙ අප්පච්චි රංටැඹේ ඉද්දි නිකමට පුරුද්දක් කරගෙන තිබ්බ දවල් බත් කද්දී රතු ළූණු ගෙඩි කීපයක් අමුවෙං මුහු කරගෙන කන්න…එහෙම කන අය ඕන තරං ඉන්නව මං හිතන්නෙ.
මේ කියන දවසෙ ඉතිං අම්ම ප්රණීතව සකසපු දවල් කෑමට …
හොදට උම්බලකඩ , දෙහි , අමුමිරිස් යොදපු ළූණු සම්බෝලෙකුත් එක්කහු කරල තිබ්බ.
සුදු බංඩ ලස්සනට මේසෙ ලෑස්ති කරල වතුරත් ගෙනත් තියල අතේ ස’වියට් එකකුත් දාගෙන එකත්පස්ව හිටගෙන ඉන්නව අප්පච්චි කනකං…
කංතෝරුවෙ ඉඳං දවල්ට කන්න ආපු අප්පච්චි මේසෙ වැහුං ඇරල බැලුවම බොහොම අලංකාරෙට තියෙන මාලුපිණි මැද්දේ ළූණු සම්බෝලයි සුද්ද කරපු රතු ළූණුයි දෙකම තියෙනව දැක්ක….
සම්බෝලෙකුත් තියෙද්දි මොකටද අමු රතු ළූණුත්…
බත් බෙදා ගන්න ගමං අප්පච්චි ඇහුව
” සුදු බංඩො…කොමන් සෙන්ස් නැද්ද බං…? ” කියල.
තමංට කිසි දෙයක් මගෑරුණේ නෑ කියල අප්පච්චිට ඒත්තු ගන්වන්නද කොහෙද ඉක්මනින් රතු ළූණු දාපු පුංචි දීසියට අත දික් කරපු සුදු බංඩ කිව්ව
” තියෙනව සෑර්…මේ තියෙන්නෙ මේ පුංචි පලඟානෙ..” කියල.
උපුටා ගැනීම: ලසන්ති කොඩිකාර-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!