මට හිතුනා ඔයාලට මම පොඩි කාලෙ අහපු ලස්සන කතාවක් කියන්න .කතාවක් කිව්වට ඔන්න එකෝමත් එක කාලෙක වගේ එකක් නෙවෙයි මේක ඇත්තම සිදුවීම්ක්.
මේකෙ කතා නායකයා “කුකුළෙක්” . කුකුළෙක් කිව්වම වෙන මොනවත් හිතන්න එපා .එහෙම කුකුළෙක් නෙමෙයි .ඇත්තම කුකුළෙක් .
මේ කතාවෙ නිර්මාණකරු අපේ අම්මා .අපේ අම්මාට කතා කියලා දෙන්න තියෙන්නෙ පුදුම හැකියාවක් . ඔහේ කතාව කියාගෙන යනවා නෙමෙයි , සමහර තැන් රගපාලා,නටලා, එහෙමත් පෙන්වනවා .
සමහර වෙලාවට අතීතයට හිත ගමන් කරද්දී ,හිතෙන දෙයක් තමයි අපේ පුංචි කාලෙ මතක කොච්චර සුන්දරද කියලා ….
සමහර සැඳෑවල අපේ කුස්සිය පුංචි කොන්සට් එකක් වගේ ,පාසල් සමිතියක් වගේ. නැටුම් , කවි,කතා , සින්දු ,රගපැම් වලින් පිරිලා . අද වගේ නෙමෙයි සාමාජික සංඛ්යාවත් වැඩියි නෙ. ඉතින් සුන්දර නිර්මාණත් වැඩියි .
ඉතින් , මම මේ පටන් ගත් කතාවට ඉස්සෙල්ලා මෙහෙම ලිව්වෙ ,මගේ අම්මා අද අපි අතර නැහැ ,ඒ ආදරණීය මතකය සිහිපත් නොකර බැරි නිසා. මම මේ ලියන්න යන සිදුවීමත් ,මගේ අම්මා පොඩි කාලෙ සිදුවීම්ක් නිසා .
මගේ අම්මගෙ පවුලෙ , සහෝදර ,සහෝදරියන් දොළොස් දෙනෙක් . අම්මා නමවෙනියා , අම්මට බාල මල්ලිලා දෙන්නයි ,නංගිලා දෙන්නයි . අම්මා කියන්නේ මල්ලිලා දෙන්න නම් හරි ම දගමලු කියලා . කරන්නෙම හරි ම මගෝඩි වැඩලු.
ඉස්සර පරන ගෙවල්වල කුකුළෙක් ,කිකිළියො හතර පස් දෙනෙක් ඉන්නවා .ගෙවල්වල අය මේ සතුන් ගැන එච්චර කරදර වෙන්නෙ නැහැ .ඒ සතුන් වත්ත පිටියෙ ඇවිදලා මොනව හරි ඇහිදගෙන කාලා ජිවත් වෙනවා .(ගෙදරින් ඉවත දාන දේවල් ම තමයි ). හැබැයි පෙට්ටියක් නම් තියලා තියෙනවා කිකිළියන්ට බිත්තර දාන්න. ඒ ගැන නම් ගෙදර හැමදෙනා ම කරදර වෙනවා . ගෙදර පොඩි එකාගෙ ඉදලා වැඩිහිටියා දක්වා ම.
මේ සත්තු රෑට නිදාගන්න ගස් වලට නගිනවා. ගහේ අතු වල තමයි නිදාගන්නෙ , සමහර තැන් වල නම් කෝටුවලින් හදපු කූඩු එල්ලලා තියෙනවා , සත්තු ඒව ඇතුලෙ නිදාගන්නවා. මේ සතුන්ට උඩට යන්න ගහට ඉනිමගක් හේත්තු කරලා තියෙනවා . මේ ඉනිමගත් විවිධ ක්රම වලට සකස් කරනවා
මම කියන කතාවෙ කුකුල්ලු නම් ගියේ ගේ ලග තියෙන ගොඩපර ගහට . කුකුල්ලු ගොඩපර ගහට ගියාම ,මම කලින් කිව්ව මල්ලිලා දෙන්නා( දගමලු දෙක ) කුකුලගෙන් ගොඩපර කඩලා ඉල්ලනවා . දවස තිස්සේ ම බිම පහුරු ගාලා කෑම සොයපු කුකුලන්ට, කිකිළියන්ට ගොඩපර පේන්නෙ නැහැ , මහන්සියට නිකම්ම නින්ද යනවා . ලමයි දෙන්නත් හැමදාම කුකුලන්ගෙන් ගොඩපර කඩලා ඉල්ලනවා , කුකුලනුත් ගහට ගියපු ගමන් නිදාවැටෙවා. මේ සිදුවීම කීපදවසක් වෙනවා .දගයො දෙන්න ට හරි ම තරහයි . “කුකුලට හොඳ පාඩමක් උගන්නන්න ඕනෙ “ලමයි දෙන්න කතා වෙනවා .”බැහැපුවාවෙකො හෙට ගහෙන් බිමට ” මේ සිතුවිල්ලෙන් පසු වෙනවා .
පසුවදා ලමයි දෙන්නා අවදි වෙන්නෙ කුකුලට පාඩමක් උගන්නන්න . අද ඉගෙනගන්න වෙන පාඩම ගැන හාංකාවිසියක් දන්නෙ නැති කුකුල් පවුල වත්ත පුරා පහුරු ගගා කෑම සොයනවා .ලමයි දෙන්නත් වැඩිහිටියන්ට නොපෙනෙන්න අල්ලගන්න කුරුමානම් අල්ලනවා .පොඩි ඉඩකදී කුකුලව කොටු කර ගත් ලමයි දෙන්නා පැනපු ගමන් කුකුලව අල්ලගන්නවා. කුකුලවම අල්ලගන්නෙ මොකද ? ඒක හරි අසාධාරණයිනෙ , තවත් කිකිළියො ඉන්නෙ උන්ටත් පුලුවන්නෙ ගොඩපර කඩන්න කියලා ඔයාලට හිතෙයි , ඒත් ඔයාලට මැවෙනවා නේද ? කුකුලගෙ පොර ගමන , ගෙම්බර් එකට හඩලන හැටි , කිකිලියන්ට අඩත්තේට්ටම් කරන හැටි එහෙම , ලමයින්ට පෙනුනෙත් රැලේ වැඩකාරයා හැටියට තමයි .
දැන් අත්අඩංගුවට පත් කුකුලට දඩුවම් නියම කරන වෙලාව .ලමයි දෙන්න කුකුලව අරන් යන්නෙ වත්තේ කෙලවර ඇති වැසිකිළිය ලගට. වටපිට බලපු මල්ලිලා දෙන්න එබුවා වැසිකිළි වලට ” උඹට බැරි අපිට ගොඩපර කඩලා දෙන්නනෙ දැන් හිටපන්කො වලට වෙලා “.
දවස් කීපයක් ගතඋනා ,කුකුල නැති බව ගෙදර වැඩිහිටියන්ට දැනෙන්න ගත්තා . වටපිට සෝදිසි කලාට හම්බ උනෙත් නැහැ .මේ ගැන විවිධ මතත් පළඋනා.
දවසක් වැසිකිළියට ගිය අප්පච්චිට ඇහෙනවා, වැසිකිළි වල ඇතුලෙන් අමුතු සද්දයක් , වැසිකිළියෙදි ඇහෙන සාමාන්ය සද්ද වලට වඩා ඒක වෙනස්.අප්පච්චිට හිතුනා ටෝච් එකක් ගහලා මොකද්ද කියලා බලන්න. මොකද මේක වල වැසිකිළියක්. ටෝච් එකක් ගැහුවාම වල ඇතුල හොඳට පේනවා. අප්පච්චි ටෝච් එක ගහලා බලද්දී දකින්න ලැබෙන්නේ නැති උන කුකුලව. ගෙදර අනිත් අයගෙත් සහයෙන්, තොන්ඩුවක ආධාරයෙන් ගොඩපර කඩලා නොදුන්නු ආඩම්බරකාරයා තෙමිච්ච කුකුලෙක් වගේ උඩට ආවා.
උපුටා ගැනීම: ශිරාණි පේලිතන්ත්රි .