ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට වුණ තරමක් වුනේ මාර ඇබැද්දි. දැන් කියලත් අඩුවක් නෑ. මම කොතනද මොකක් හරි අටමගලයක් එතන .
නවය වසරට එනකොට අපේ විසේ උපරිම සීමාවෙ අපි හිටියේ. අයේ මුකුත් නෑ මිත්රවරුණි අතින් පයින් හැර ප්රශ්න විසඳීමේ කලාවක් අපි දැනගෙන හිටියෙ නෑ. ඒ මදිවට කොච්චර ගුටි කෑවත් ගහගත්තත් පහුවදාට කරට අත දාගෙන එක බත් එක කන්න පුළුවන් හැකියාවකුත් අපිට තිබ්බා. පන්තියේ උන් එක්ක විතරක් නෙවෙයි අනිත් පන්තිවල උන් එක්කත් අහල පහල ඉස්කෝලවල උදවිය එක්කත් අපි කලේ ගහගන්න එක තමයි. ඔය අතරේ වෙලාව ලැබෙන විදියට පන්තියට මැඩම් ලා සර් ලා ඇවිත් උගන්නන ඒවටත් අපි ඉඳල හිටලා සහභාගී උනා.
ඔන්න ඉතින් හා හා පුරා කියලා නවය වසරට අපි අඩිය තිබ්බ.. පෙර වැරදි ලේඛණ වල උඩින්ම වගෙ තියන නම් ලිස්ට් එකේ මගේ නමත් රන් අකුරින් ලියවිලා තිබ්බ නිසා අපි ගැන ගුරුවරු විශේෂ අවධානයකින් හිටියේ.
” නොහික්මුණු දරුවන් මෙල්ල කිරීමට හොඳම විදිහ ඔවුන්ට වගකීම් පැවරීමයි…”
පස්සෙ කාලෙක මන් කොහෙදෝ තිබිලා මේ වගේ වාක්යයක් කියෙව්වා මතකයි . අපිට බුද්ධ ධර්මය උගන්නන්න හිටියේ හාමුදුරු කෙනෙක්.නම නම් මට දැන් මතක නෑ. හැබැයි පට්ට සැරයි. කාගෙ පීරීයඩ් එකේ අපි ආතල් ගත්තත් බුද්ධාගම පීරියඩ් එකේ හිටියා පූසො වගේ. මොකද නැත්නම් පීරියඩ් එක ඉවර වෙනකොට ඔලු හිල් වෙන්න ටොකු කන්නත් අල්ල රතු වෙන්න වේවැල් පාරවල් කන්නත් වෙන එක අත් දැකීමෙන් අපි දැනගෙන හිටිය නිසා.
සඳුදා දවසක උදේ නවය වසරේ හැමෝම මේන් හෝල් එකට එන්න කියල එනවුස්මන්ට් එකක් දුන්නා. අපිත් ඉතින් දාඩිය පෙරාගෙන සෙල්ලම් කරලා එහෙම ඉවර වෙලා ගියා මේන් හෝල් එකට.
නවය වසරේ බෞද්ධ සමිතිය සඳහා නිළධාරී මණ්ඩලයක් පත් කරගන්නලු. හාමුදුරුවොයි අංශ ප්රධාන සරුයි ඉන්නවා ස්ටේජ් එක උඩ හිටගෙන. සෙක්ශන් එකේ අනිත් මැඩම් ලා සර් ලයි ඉන්නවා අපිට පිටිපස්සෙන් ඉඳගෙන.
” කවුරු හරි කෙනෙක් සභාපති විදියට යෝජනා කරන්න” හාමුදුරුවෝ මයික් එක අරන් කියනවා.
අපේ එකෙක් වත් නෝ හෙල්ලුම්.ඇයි ඉතින් ඕක පට්ට කැටයක් කියලා දන්නවනේ… මොකටද ඉල්ලන් ටිංකිරි ගා ගන්නෙ.
කිහිප වරක්ම කිව්වත් සභාපති විදිහට යෝජනා කරන්න කවුරු හරි කියලා අපෙන් මුකුත් ආන්සර් එකක් නැති නිසා හාමුදුරුවෝ 9-A පන්තියේ එකෙක්ගෙ නම කියල ඌට කිව්වා සභාපතිකම භාර ගන්න කියලා. අම්මට සිරි දැන් කෙලින්ම මාශල් ලෝ සීන් එකක් තියෙන්නෙ හාමුදුරුවෝ නම් කරන එකා කැමති උනත් අකමැති උනත් ගිහින් පට්ටම භාර ගන්න ඕන.
දැන් ඔන්න සභාපති හරි.
ඊඟට ලේකම්. ලේකම් ගේ නමටත් කිසි කෙනෙක්ගෙ නම යෝජනා වුනේ නැති නිසා හාමුදුරුවෝ ගත්තා මයික් එක.
“නවය එෆ් පන්තියේ කේ.එස් බණ්ඩාර නැගිටිනවා.”
ඈ…. යකෝ කවුද මගේ නම කියනවා වගේ ඇහුණා…. ට$&%@න්න දාලා යකෝ මගෙ නම නේද කිව්වෙ.
” පලයන් පලයන් තොගෙ නම කිව්වෙ…පලයන්…”අපේ එවුන් මාව පුටුවෙන් බිමට වැටෙන ගාණට තල්ලු කරනවා..
හය වසරෙ සිංහල සමිතියේ ගාථාවක් කියන්න ගිහින් පච උනාට පස්සෙ ස්ටේජ් එක්කට නගින පළවෙනි වතාව. කකුල් දෙක ලාවට මැන්ඩලින් පාට් එකක් ගහද්දි මම ගට අරන් ගියා ස්ටේජ් එකට.
” හරි ඔයා තමා සමිතියේ ලේකම් ” හාමුදුරුවෝ හිනා වෙලා මගෙ දිහා බලල කිව්වා. කාපිය මාව මරාගෙන කාපිය මම හිතින් බැන්නා. වෙන මොනවා කරන්නද අහිංසක මම.
ඔන්න ඉතින් අනිත් පට්ටම් ටිකත් පත් කරගෙන පළවෙනි සමිති වාරය නිසා ඉක්මනින් පන්ති වලට යැව්වා. ඊලඟ මාසෙ පලවෙනි සඳුඳා තමා ඊල්ඟ් සමිති වාරය පවත්වන්නට නියමිත වෙලා තිබ්බෙ. ඔන්න එක දවසක් හාමුදුරුවෝ මාවයි සභාපතියවයි ගෙනල්ලා කිව්වා පන්ති වලට ගිහින් වැඩ භාර දෙන්න ඊට පස්සෙ කලින් සමිතියේ වාර්ථාව ලියන්න කියලා.
කාලා වරෙන්කො කවදා ලියපු සමිති වාර්තා ද. ඒත් ඉතින් අපි එහෙම කියලා වගකීම් පැහැර හරිනවද මිත්ර වරුණි. නෑ….. මැර බලය පාවිච්චි කරලා සභාපති ලව්වම වාර්ථාව මම ලියව ගත්තා. ඊට පස්සෙ වැඩ භාර දෙන සීන් එක. කිව්වට විශ්වාස කරන්න මිත්රවරුණි පීරියඩ් කට් කරන්න ඒ තරම් නිදහසට කාරණාවක් මට ඒ වෙකල් හම්බ වෙලා තිබ්බෙ නෑ. ඔන්න ගණන් පීරියඩ් එක හරි විද්යාව පීරියඩ් එක හරි සෙට් කරලා මා ඇතුළු අපේ සෙට් එක යනවා වැඩ භාර දෙන්න. අපි කිව්වට මට විතරයි බෞද්ධ සමිතියේ පට්ටමක් තිබ්බෙ. අනිත් එවුන් එන්නෙ පීරියඩ් එක කට් කරන්න. හිතන්නකෝ දහයක් පහලවක් විතර සතියක් විතර සෙක්ශන් එක වටේ ඇවිදිනවා වැඩ භාර දෙන්න.
එක දවසක යනවා වැඩ භාර දෙන්න. දෙවනි දවසෙ යනවා භාර ගත්තෙ මොකක්ද කියල ලියා ගන්න තුන් වෙනි දවසෙ යනවා කොච්චර වෙලාවක් යනවද ඉදිරිපත් කිරීම කරන්න කියල දැනගන්න හතර වෙනි දවසෙ යනවා භාර ගත්ත දේ කන්ෆර්ම් ද බලන්න පස් වෙනි දවසෙ යනවා ඉදිරිපත් කිරීම කරන්න පුරුදු වුණාද අහන්න. කොහොම හරි හයවෙනි දවසෙත් යන්න හදනකොට අපේ සෙක්ශන් හෙඩ් ට වැඩේ මීටර් වෙලා ආයෙ සමිතිය තියන දවස එනකල් ඒ ගැන මොකුත් කරන්න ඕන නෑ කියලා තරයේ අවවාද ලැබුණ නිසා පන්තියට වෙලා ඉන්න වුණා. නැත්නම් අපේ උන් ඒ ලෙවල් ලියන කල්ම යයි නවය වසරෙ බෞද්ධ සමිතිය ගැන කියල පීරියඩ් කට් කරන්න.
කොහොමෙන් කොහොම හරි මිත්රවරුණි සමිති වාරය තියන දවස උදා වුණා. මම කලින් දවසෙ සභාපතියට යි ඔය කාරක සභාවද මොකක්ද උන්ටයි කියලා තිබ්බෙ උදේ හය වෙනකොට මේන් හෝල් එකට වරෙන් අතුගාලා පුටු හදන්න තියනවා කියලා.
හය හමාරට විතර මම යනකොට කට්ටිය හෝ ගාල වැඩ.එක සෙට් එකක් පුටු හදනවා තව සෙට් එකක් අතු ගානවා. මම ඉතින් මැර බලය පාවිච්චි කරල ස්ටේජ් එකේ ඇවිද ඇවිද හිටියා.
“මචන් මයික් එක සෙට් කරන්නෙ නැද්ද ” එකෙක් අහපි.
හුටා ඔව්නෙ මයික් එක සෙට් කරන්න ඕන නෙ. මම භාරගත්තා වැඩේ.
” හරි හරි මම ඒක සෙට් කරන්නම් ” කියල මම ගියා ස්ටේජ් එකේ පැත්තක තිබ්බ ලොකු කබඩ් එක ලගට.
අම්මා ගහයි බැට් එකෙන්. යකෝ මේක නිකන් ප්ලේන් එකක ඩෑශ් බෝඩ් එකක් වගේනෙ..තඩි ඈම්ප් තුන හතරකුයි ස්විච් බෝඩ් එකකුයි තියනවා. හොඳ වෙලාවට මයික් එක ජැක් කරල තිබ්බෙ. මම දැම්මා ස්විච් එක. මයික් එක ඔන් වුනා.. කිව්වට විශ්වාස කරන්න මිතුරනි මට දැණුනා මම නිකන් හෙන ටෙක්නීශියන් කෙනෙක් වගෙ..
තට්ටුවක් දැම්මා මයික් එකට….ම්හු…. කිසිම නෑ සද්ද්යක්… &%$# යකෝ එහෙම වෙනා පුළුවන්ද…
මම ගියා අර පත සයිස් ස්විච් බෝඩ් එක ලගට.
ටිකි ටිකි ටිකි ගාල තිබ්බ ඔක්කොම ස්විච් ටික ඔන් කලා. දැන් ඈම්ප් එක තියනවා තොටලඟ තොරණ වගේ. හැම ලයිට් එකක්ම් පත්තු වෙලා.
දැම්මා මයික් එකට ආයෙත් තට්ටුවක්..
ටොක් ටොක් ටොක්…අම්මට සිරි ඔය ඇහෙන්නෙ සරවුන්ඩ් සිස්ටම් එකෙන් මේන් හෝල් එක දෙදරන්න.
මම ඇදල ගත්තා පුටුවක් ස්ටේජ් එක මැදට …වාඩි වෙලා කකුල් දෙක තියා ගත්තා මේසෙ උඩින්..
දැන් මම මයික් එකෙන් ඕඩර්ස් දෙනවා අතු ගාන උන්ට…
” අඩෝ ඉක්මනට අතු ගාපන්…ඒ %&#@ උඹට පුටු හදන්න ඔච්චර වෙලා යනවද…අඩෝ මේ තව ටික වෙලාවයි තියෙන්නෙ පුටු ටික පේළියට තිබ්බෙ නැත්නම් අර තට්ට %*@# ඇවිත් මගෙ $% *@ තලයි.
මම මුන්ට ඕඩර්ස් දීලා හීනියට පොඩි සින්දුවකුත් කියන්න ගත්තා…ඇයි ඉතින් කලාතුරකින් හම්බ වෙන ආතල් එකක්නේ… පඳුරු පඳුරු ගස් මොණරාගල මල්…තණමල්විල … රේණු…
ඔන්න බොලේ මට පේනවා අයියලා තුන් දෙනෙක් ජෙට් එංජින් හයි කරපු රේසින් කාර් තුනක් වගේ විදගෙන එනවා මේන් හෝල් එක දිහාවට…මමත් සීන් එක බලාගෙන කටින් බීට් එක දෙනව…ජිගි ජිගි චා…ඕයේ…
අර ආපු තුන් දෙනාගෙන් ඉස්සෙල්ලම ආව එකා ස්ටේජ් එකට පැන්නා ආපු වේගෙන්ම ඇදලා ගත්තා මයික් එක…
” කවුද යකෝ ඕල් ඉන් වන් දුන්නෙ…”
මීඩියා යුනිට් එකේ බුවාලා තුන් දෙනෙක් තමා ඇවිත් ඉන්නෙ… මම ඇහුවා ” මොකක් මොන වන්”
” මොන වන් නෙවේ බූරුවෝ ..මොකාද මයික් එක ඔන් කලේ කියපන්…”.
මගෙ ටිකිරි මොලේට අනතුරක සේයාවක් ලාවට දර්ශණය වුණා.
” ආහ් අයියේ මයික් එක ඔන් කරලමයි තිබ්බෙ..මම ඉතින් අරගෙන කතා කලා….” මම සාන්තගෙ හිනාව දාල නෝමල් එකේ කිව්වා..
‘” හරකෝ තෝ කිව්ව ඔක්කොම ඉස්කෝලෙටම ඇහුණා. පන්තිවල ස්පීකර්ස් වලටත් කනෙක්ශන් දීලා තියෙද්දියි උඹ කුණුහරුප කිව්වෙ.. යමන් වයිස් ප්රින්සිපල් සර් ගාවට…”
අනේ ඉතින් අහිංසක මාව කසිප්පු කාරයෙක් ඇදගෙන යනවා වගේ එක්කන් ගියා වයිස් ප්රින්සිපල් සර් ගාවට. හැබැයි ඉතින් මම දාපු අහිංසක මූණට රැවටිලා මීට පස්සෙ සමිතිය තියනකොට මීඩියා යුනිට් එකේ කවුරු හරි එනකල් මයික් එකට අත නොතබන පොරොන්දුව මත මාව නිදහස් කලා.
” කේ .එස්. බණ්ඩාර මම හිතුවෙ තමුසෙ ලේකම් වුණට පස්සෙවත් හැදෙයි කියලා…බලනවා තමුසේ මගේ නමත් සවුත්තු කලා.” හාමුදුරුවෝ සමිතිය ඉවර වෙලා මට පොඩි දේශනාවක් කලා. හැබැයි මේකෙ හොඳම සීන් එක තමයි මම කුණුහරුප කිව්ව ඒවා ගොඩක් උන්ට වැඩිය මීටර් වෙලා නෑ. සින්දුව තමයි හොඳට ඇහිලා තියෙන්නෙ. මම කියපු ඔක්කොම දේවල් එදා හරියටම ඇහුණා නම් ඉස්කෝලෙන් මාව කෙලින්ම ගිහින් දානවා පරිවාසෙකට….
උපුටා ගැනීම: Kasun Sudhara Bandara