මම එවකට සංචාරක හෝටලයක රැකියාවක් කලෙමි.නොකඩවා සෑම වසරකම හෝටලය වෙත එන ජර්මන් ජාතික යුවලක් මා සමඟ මිතුරුකමක් ඇතිකරගෙන තිබුනි. ඔවුන්ගේ ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුම අල්ප විය. ජර්මන් භාෂාවෙන් වචන කිහිපයක් ගැටගසා කතාකිරීමේ හැකියාවක් මට තිබේ.. ඒ එන සෑම වසරකම මම කැඩි කැඩී ඔවුන් සමඟ ජර්මන් භාෂාව කථාකිරීම ඔවුන්ගේ සතුටට හේතුවිය. අවසානයේ මගේ ජර්මන් භාෂාව වැඩිදියුණු කිරීමට අනුග්රහය ලබාදෙන්නට ඔවුන් ඉදිරිපත් විය. මම ඉබ්බා දියේ දැම්මාසේ සතුටුවීමි.
ජර්මන් භාෂාව උගන්වන පන්තියේ මුල්මාසයේදී ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් දහසකි,මාසික ගාස්තුව රුපියල් දෙදහසකි,පොතක් සහ DVD තැටියකට රුපියල් දහසක් වශයෙන් මුල් මාසයේදී රුපියල් හාරදහසක් ගෙවීමට සිදුවේ. ඉන්පසු මාසිකව රුපියල් දෙදහසක් පමණය.නමුත් මට ජර්මන් ජාතික යුවල ගමන් වියදම්,ආහාරපාන සඳහාද ගනන් බලමින් යූරෝ පනහක මුදලක් මාස්පතා ලබාදීමට තීරණය කලාය. එකල එය ලංකාවේ වලංගු මුදලින් රුපියල් නමදහසකි.
මම ජර්මන් ඉගෙනගැනීමට පන්තියකට යන බව පැවසීමෙන් අනතුරුව මගේ මිතුරන් දෙදෙනෙක්ද ජර්මන් ඉගෙනගැනීමට අවශ්ය තාවය දැන එම පන්තියට ඒමට කැමැත්ත පලකලේය. මගේ තනියට තවත් දෙදෙනෙක් සිටීම මට සතුටක් විය.අපි දැන් ජර්මන් ඉගෙන ගනිමින් සිටිමු.
ජර්මන් භාෂාව ඉගෙනගැනීමට පන්තියකට යනබව මිසක මගේ මේ අමතර මුදල් ලැබීම් පිළිබඳව මගේ බිරිඳ දැන සිටියේ නම් නැත.
පන්තිය මාසයකට දින හතරකි.එය අවසානවූ සෑම දිනකම අපි රෙස්ටුරන්ට් එකකට ගොඩවැදී බියර් පානය කරමින් එහි සිටම ඉගෙනගත් පාඩම් අභ්යාස කරන්න පටන් ගන්නෙමු. මුලින් රහසින් කරන ජර්මන් කථාකිරීම් බියර් බෝතල් හිස්වෙද්දී ජර්මන් සුද්දන්ගේ ගානටම කතාවල් වේගවත්වෙයි. ශබ්දයවැඩිවෙයි .අනෙකුත් මේසවල සිටින්නන් සමහරවිට අපට පිස්සුද කියාත් කථාවෙනවා ඇත. නැවතත් බියර් ඇනවුම් කරයි.
මේ ආකාරයෙන් ජර්මන් පන්තියට ගිය දිනවලදී මම සෑමදාම බියර් පානය කිරීමත්, ප්රමාද වී ගෙදරට පැමිණීමත් බිරිඳට නුරුස්සන්නට වූ කරුනක්විය.
ඔය පන්තියේ බියරුත් දෙනවාද? යන හැමදාම බියර් බීලානෙ එන්නේ..උදේ අටහමාරට ගියේ දැන් හතරයි,පැය කීයක් පන්තිය තියෙනවාද? එහෙම නැත්නම් වෙනකොහේවත් ගිහින්ද?ඔය වැඩේ හැමදාම කරන්න හිතන්න එපා..
එතනට එන්නේ හුගක් ජර්මන් කාන්තාවන් විවාහ කරගත් ලංකාවෙ මිනිස්සු.ඒගොල්ලො දැන් අපේ හොඳ යාළුවෝ.ජර්මන් ගෑනු කියන සමහර නොතේරෙන දේවල් ඉගෙනගන්න ඒ මිනිස්සු එන්නෙ.සමහරුන්ගේ කාර්වල බියර් ටින් පෙට්ටි පිටින්,අපිටත් දෙනවා අපිත් බොනවා.. මොකෝ සල්ලි දීල බොන දෙයදෙයක්ද ?මම රටේ නැති බොරු ගොතයි..
කොහොම උනත් ඕක එච්චර හොඳ දෙයක් නෙමේ..ආයේ පරක්කු වෙලා එන්නනම් ලෑස්තිවෙන්න එපා.
ඊලඟ පන්තියදාද සුපුරුදු පරිධි අපි රෙස්ටුරන්ට් එකේ මේසය මත පොත් පෙරලාගෙන ජර්මන් ප්රායෝගිකව කථාකිරීමේ යෙදීසිටින අතරේ මගේ මස්සිනා කෙනෙක් පැමිණියේය.
මොකෝ මේ..පොත්පෙරලාගෙන..
මම මේ ජර්මන් පන්තියකට යනව.දන්නැද්ද ඉතින් ප්රැක්ටිකල් කරන්නෙ මෙතන..මේවා අපේ ගෙවල්වලට ආරංචි නොකරට කමක්නෑ මේව.
කවුද ගෙවල්වලට කියන්නෙ ඕව.මාත් මේ ආදාහනාගාරෙ තීන්ත ගාන්න කොන්ත්රාත් එක ගත්තනේ. කට්ටිය වැඩ එතන අද පොඩි පාටියක්.බඩු ගන්න මාත් ආවෙ. යනගමන් එන්න ඒපැත්තෙන්..
හාපෝ..මම බියර් බිව්වේ ඕව ගැහුවොත් කවලම් වෙලා මං ඉවරයි.
එහෙනම් නිකන් එන්න.බොන්න ඕනෙ නෑ..
හා හා මං ගොඩවෙලා යන්න එන්නම්.
මුලදී නිවස මතක්වී එහි නොයෑමට තීරණය කලත් මඟ එන අතරතුර “බෙන්තොට ආදාහනාගාරය” බෝඩ් එක දුටුවිට මට මස්සිනා සිහිවී බයිසිකලය ආදාහනාගාරයට හැරවූවෙමි.
ආ මොකෝ පරක්කු වුනේ..අපි එනකම් බලාගෙන හිටියේ.මේ මම කියපු අපේ මස්සිනා යනුවෙන් මා හඳුන්වාදී මටද පුටුවක් පෙන්වීය.
මම නිකන් ගොඩවෙලා යන්න ආවෙ. දැන් තීන්තගාල ඉවරයි වගේ නේද?
ඔව් හෙටින් ඉවරයි .මෙන්න වීදුරුව ගන්න පොඩ්ඩක් .
මම බියර් බීල ආවෙ ගෙදර යන්නත් එපැයි,ඕක කවලම් වුනොත් ඉවරයි.
මොන පිස්සුද එහෙම වෙන්නෙ කොහොමද ගම්මු ගම්මු.
හැමෝගෙම ඉල්ලීම පිට මම වීදුරුවක් වක්කර ගත්තෙමි.පසුව එය දෙකවී තුනවී …
මටනම් දැන් වැඩියි .මොකෝ මස්සිනා කරන්නෙ.
ඒක නේන්නම් දැන්නම් මස්සිනාට බයිසිකලය පදින්න පුළුවන් තත්වයක නැහැනේ.මං වත් ගෙදරට දාන්නම්.කවුද හිතුවේ ඔහොම දෙයක් වෙයි කියල. අර ළිද තියෙන්නෙ නාගන්න හොඳට.එතකොට බඩු බහිනවා.
කෝ මම නාන්න අඳින්න ගෙනාවැයි.
මොන නාන්න අඳින ඒවද.මේ ආදාහනාගාරයට කවුද එන්නෙ.ඕව ගලෝල නාන්න.අර රෙදිවැලේ මොනවද තියෙන්නෙ ඒව ඕනනම් පටලවාගන්න.
මම මගේ ඇඳුම් වැලට දමා සිත්සේ නාගතෙමි. අනතුරුව බැනියමෙන්ම ඇඟ පිසදා ගෙදර යන්නට සූදානක් වුනෙමි.
දැන් වේලාව සවස හත පමණ වෙලාය.
එහෙනම් අපි යමු නේද. මටනම් හොදටෝම වැඩියි.
නගින්න බයිසිකලයට මම ගිහින් දාන්නම්.
මග දුරක් එනවිට මට ඔත්පලව සිටිනා මගේ ලොකු අම්මා සිහිවිය.
හෝව් හෝව් ඔය කඩේගාව පොඩ්ඩක් නවත්තන්න
මොකෝ හදිස්සියෙ
ඉන්නකෝ පොඩ්ඩක්
මම යෝගට්,කෙසෙල්ගෙඩි ,බිස්කට් මිළදී ගත්තේ ඇය බැලීමට යාමෙන් ප්රමාදවූ හේතුවට කරුනක් ඒතුලින් ලැබෙනා නිසාය.
ආ මල්ලී මොකෝ අද අමුතු. පාටියකටවත් ගිහින්ද?
නෑ අක්කෙ ලොකුඅම්මා බලන්න ආවේ.
කෑමක් කන්නෙ නෑනෙ මල්ලි, එකතැන් වෙලාම තමයි. කථාකරන්නෙත් අමාරුවෙන්. මල්ලි ආපුබව දැනගත්තාම සතුටු වේවි.
මම ආව ලොකුඅම්මේ..යෝගට් එකක් කමු.
ඇය අත කට ලඟට කොට අකමැත්ත පෙන්වූවත් මට යෝගට් එක කවන්නට සිතුනි. අකමැත්තෙන් වුවද යෝගට් එක කවා කට පිසදා සිප වැලඳගෙන මම ලොකුඅම්මාගෙන් සමුගෙන ගෙදරට සේන්දු උනෙමි.
රාත්රී හතත් පසුවී මස්සිනා මා ගෙදරට ඇරලවා ගෙදරින් නික්මෙනවාත් සමග ඔහු සමඟ බිරින්දෑ මොන මොනවාදෝ හයියෙන් කතා කරනු මට ඇසුනි.මම ලොකුඅම්මා බැලීමට ගිය බව දන්වා ඇදට වැටුනේ කෑමට ප්රියක් නැතිවය.මගේ ක්රියාකලාපය දුටු බිරින්දෑද කිසිවක් කතා නොකලාය.මෙවැනි අවස්තාවක කථාකිරීමේ තේරුමක් නැතැයි ඇයට වැටහෙන්නට ඇත.සමහර විට ලොකුඅම්මාගේ පුතා සමඟ සාජ්ජයක් දමා එන්නට ඇතැයි සිතා මම බේරුනෙමි.
පසුවදා බිරිඳගේ මහා කෑගැසීමක් සමඟ මා නින්දෙන් නැගිට්ටේ කුමක් සිඳුවීද නොදැනය. ඈ කදුළු සලයි.ගෙදර ඉන්නේ නැතිබවක් කියයි. මෙවන් මිනිසකු සමඟ පවුල්කෑමට නොහැකි බව පවසයි..තවත් ගෑනියෙක් සමග බුඳියන්නට ඇතැයි කියයි.
මොකද්ද මේ වෙලාතියෙන්නේ
තමුසෙ ඊයේ කොහෙද ඇදුම් ගැලෙව්වෙ. කියනවා දැම්ම.ඔව් මේ දැම්ම.
කොහෙ ඇඳුම් ගලවන්නද..
ඇඳුම් ගලවලා නැත්නම් මේ යටකලිසම කාගේද?
මම එය දුටුවෙමි. එය මගේ එක නොවේ. ඉතා පරණ පිටුපස පැත්තේ ඉරී අඟල් තුනක පමණ ගුලක් ඇති යටකලිසමකි.
මේ මගේ එක නෙමේ
ඒක තමයි මම කියන්නේ.ඇදුම් උනාදැම්මේ මොන වේසි ලඟදීද. මම හිතුවෙනෑ තමුසෙ ඔයවගේ මිනිහෙක් කියලා..අනේ දෙය්යනේ මගේ දුක උඩ ඉන්න දෙවියන්ටවත් පේන්නේ නැද්ද.මම මොකද්ද තමුසෙට කරපුවැරැද්ද?අයියෝ..
මට වුන සිදුවීම හිතාගන්නවත් බැරිය. අහෝ මම කුමක් කරන්නද. මම ගෑනියෙක් ලඟට ගොස් නැත.මම වූ සිදුවීම් ආවර්ජනය කලෙමි. එක්වරම මට සිදුවීම පැහැදිලිවිය. මම ආදාහනාගාරයේ නෑමෙන් අනතුරුව මගේ යටකලිසම එහිතබා වෙනෙකුගේ යටකලිසමක් ඇඳගෙනය.
නෝනා මේ ආදාහනාගාරෙදී මම නෑව එතනදී මාරුවෙලා..
අයියෝ තවත් බොරුකියනවා.. අදාහනාගාරයක නාලාලු.
එනපොට හොද නැත.මම වහා මස්සිනාට ඇමතුමක් ගෙන වහා ගෙදරට එනමෙන් ඉල්ලීමක් කළෙමි. කුමක්හෝ සිදුවීමක් අපේ නිවසේ වෙන්නට ඇතැයි සිතාදෝ ඔහු වහා නිවසට පැමිනියේය.
මේ ඊයේ වෙච්චදේ අපේ නෝනට කියනවාද. මෙතන පැටලීමක් වෙලා.මගෙ යටකලිසම මාරුවෙලා නානකොට.
සිදුවීම මුලසිටම පැහැදිලි කිරීමෙන් අනතුරුව බිරින්දෑ එය සත්යක් බව පිළිගත්තාය.නමුත් ..
ආයෙත් ඔය ජර්මන් පන්තියට යන්න එපා මගේ ඇඟේ ලේ වතුර කරන්න
මම ජර්මන් භාෂාව ඉගෙනගැනීම නවතා දැමුවෙමි…
උපුටා ගැනීම: Lalith ID