පාසල් ප්‍රේමය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“ඒ අප උසස් පෙළ හැදෑරූ සමයයි. පාසල නිමවුන පසු, පාසල් සේවා බස් රථය එනතුරු අප පාසල අසල මිනිත්තු විස්සක් පමණ බලා සිටිනුයේ එම බසය අන්තිමටම එන්නෙ අපේ පාසල ලඟට බැවින් . ඒ වෙනකොට සෙසු බොහෝ පාසල් සේවා වාහන අප පසුකර ගොස් අවසානයි. මට මතක අයුරින් ඇය මුලින්ම මා දුටුවේ එවන් මොහොතක . ඒ සිසුන් නංවා ගැනීමට ඇය පැමිණෙන පාසල් සේවා බසය අප පාසල අසල නතරකළ අවස්ථාවේ , ඇය එහි කවුලුවෙන් සිය බෝතලයේ ජලය එලියට විසි කරන විට, මා සමග සිටි මිතුරා ඇයට උසුළු විසුළු කල අවස්ථාවේදීයි. එවිට කිසිවක් පැවසීමෙන් තොරව සිනාමුසු ඇය ජනෙල් කවුළුව වැසූවත්, ඒ සිනාවේ දුටු ආකර්ෂණීය බව හේතුවෙන් එවකට නව යොවුන් වියේ සිටි මගේ මතකයේ ඒ මුහුණුවර රැඳුණු බව මා ඔබෙන් සැඟවිය යුතු නැහැ. පසුදින උදෑසන නැවත මා ඇය දකින්නේ ඉතාමත් අහම්බයකින් . උදෑසන පාසල් ඇරඹීමට පෙර ඇති මාර්ග තදබදය හේතුවෙන් ඇතැම්විට වාහන මිනිත්තු කිහිපයක් තදබදය මධ්‍යයේ නතරව තිබීම සාමාන්‍ය දෙයක් . නමුත් තදබදයට අසුව නතරවූ බසයේ ජනෙල් කවුළුවෙන් පිටත බලන මා දුටුවේ ඇය ගේ පාසල් සේවා බසය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට යන අතර අප බසය අසලම නතරව ඇති අයුරු හා හරියටම මගේ අසුන අසල ඇති කවුළුව කෙලින් පිහිටි ඇයගේ බසයේ කවුළුවෙන් ඇය මදෙස බලා සිටි ආකාරයයි. මා එදෙස බලන විට ඇය ඉතා සුහද ලෙස සිනාසුණත්, එවකට නගරයේ ප්‍රධාන බාලක පාසලක ආඩම්බරකාර මෙන්ම අහිංසක සිසුවකු වූ මා ඉවත බලා ගත්තේ සාමාන්‍යයෙන් පාසල් සිසුවියන් හමුවේ ඔවුන් ගණනකට නොගන්නා සේ සිටීම අපේ පුරුද්දක් වූ බැවින්. නමුත් මට කිසිවක් සිතාගත නොහැකි වූයේ සිසුන් සීමිත පිරිසක් සිටි සත්ව විද්‍යාව කණ්ඩායම් පන්තියේ එදින සවස ඇය සිටිනු දුටු විටයි. පාසල් නිම වූ පසු පොත් බෑගය පාසල් බසයේ ගෙදර යවා, පොත රෝල් කර, පෑන සමග කලිසම් සාක්කුවේ දමාගෙන පන්ති යන ආකාරයේ උගැනීමට ඉතා උනන්දු සිසුන් වූ අප, ඇතැම්විට අපහසුතාවට මුහුණ පෑවේ රූප සටහන් ඇඳීමේදී පැන්සල් අවශ්‍ය වූ විටයි. එවන් මොහොතක මගේ යාබද මිතුරා ගෙන් ” මචං , පැන්සලක් නැත්ද ? ” යි විමසූ මට හොඳින් උල්කල අලුත්ම පැන්සලක් පසුපසට අතිනත එවූ ඇය,පසුව කිසිදා පන්තිය ට පැන්සලක් ගෙන නොගිය මා හට බොහෝ දිනවල සිය පැන්සල එවීම පුරුද්දක් කර ගත්තා . එවැනි දිනක පැන්සලේ උල් කරන කොටසේ ඇයගේ නම ලියා එවා තිබූ බැවින්, ඇයගේ නම දැන ගත් මා හට හැකි වුනත් , ඒ වන විටත් බාලිකා පාසල්වල සිසුවියන් සමග කතා කිරීමේ පුරුද්දක් අපට නොමැති බැවින් අප අතර වචනයකුදු හුවමාරු වුනේ නෑ. තවත් දිනක පන්තිය අසල කඩයක ඉදිරි පස මද වැස්සේ පන්තියට යාමට නොහැකිව සිටින විට, එතනින් මිතුරියක සමග ගිය ඇය මා මිතුරෙකු අත කුඩයක් එවා ඒ අනුව පන්තියට යාමට මට අවස්ථාව සැලසූවද , තවමත් අප අතර වචනයකුදු කතා බහක් නැහැ . ඒ අතරතුර රසායණ විද්‍යාව පුණරීක්ෂන පන්තියකට සහභාගි වීමට ප්‍රමුඛත්වය දුන් බැවින් මාගේ සත්ව විද්‍යාව පන්තිය වෙනස් වූ අතර, විභාගය ආසන්න වීම සමග පාසල් යාම සාපේක්ෂව අඩු වීම ද ඇය පිළිබඳ මතකය ක්‍රමයෙන් සිතින් ඈත් වීමට හේතු වූ බව මගේ හැඟීමයි. යලිත් ඇය මට මුණ ගැසෙන්නේ මා මාගේ පළමු රැකියාවට යන දිනයේදීයි. උසස් පෙළ විභාගයට පෙනී සිට, දෙවන වර ඊට යලිත් පෙනී සිටීමට පන්ති යන අතරතුර තරඟ විභාගයක් සමත් වීමෙන් රජයේ රැකියාවක් සඳහා සුදුසුකම් ලද මා, එම පත්වීම භාර ගැන්මට අගනුවරට ගිය නගරාන්තර බසයට අතරමගින් සිය පියා සමග ඇය ගොඩ වූ බව මා නොදුටුවත්, බසය පිට කොටුවේ නැවතූ පසු, මා තේ පානය සඳහා ගිය කඩයට සිය පියා සමග පැමිණි ඇයට, මා සිටි මේසය වෙතටම පැමිණීමට සිදු වූයේ ,ඒ වන විට සෙසු සියළු මේස පිරී තිබූ බැවින්. ඇය මේසයට අසුන් ගන්වා, පියා වැසිකිළියට ගිය අතරතුර, මා ඇය සමග කල කතාබහට අනුව එය ඇයගේ ද පළමු රැකියාව වූ අතර, ව්‍යාපාරිකයෙකු වූ සිය පියා ඇතුළු පවුලේ අයගේ ද අකැමැත්ත මධ්‍යයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හෙදියක ලෙස පුහුණුවීම සඳහා ඇය එම ගමන යමින් සිටියා. ඉන්පසුව මේ දක්වා කිසිදු දිනයක ඇය යලිත් හමු නොවූවත් , ඇය කිසියම් කලක් යුද හමුදාවේ සේවය කර, අවශ්‍ය අවම සේවා කාලයෙන් පසු විශ්‍රාම ගත් බව, මා මිතුරු යුද හමුදා වෛද්‍ය වරයෙකු මගින් පසුව මා හට දැන ගැනීමට ලැබුණා . පසු කලෙක මතකයන් ආවර්ජනය කරන විට මතකයට ආ, අහඹු සිදුවීම් නමුත්, සිතාගත නොහැකි අයුරින් එකිනෙක සම්බන්ධ ලෙස සිදුව ඇති මෙම සිදුවීම් පෙළ හේතුවෙන් ඇය පිළිබඳ අවධි වූ මතකය හමුවේ , අළුතින් නිවසට ගෙනා සුරතල් බැල්ල පැටවාට මා ඇයගේ නම තැබුවේ පාසල් යුගයේ එම සොඳුරු මතකය තව දුරටත් සිතේ තහවුරු වන අයුරින් . සත්‍ය අත්දැකීමක් වූ මෙය අකුරු කලත්, ඊට සුදුසු නමක් හෝ සිතා ගැන්මට මා හට නොහැකි වූ බැවින් , ඊට සුදුසු නමක් යෝජනා කිරීමත් ඔබ සතුයි …”

 

උපුටා ගැනීම: Shashin Dilnaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!