” මචන් නදුනි ලබන 26 බඳිනවාලු, ඒකි ගාව උඹේ නම්බරේ නෑ කියලා උඹටත් කියන්න කිව්වා. “
පැය කාලක් විතර දම්මිකත් එක්ක කතා කලත්, මගෙ ඔලුව ඇතුලේ කැරකුනේ දම්ම්ක කිව්ව ඔය වචන සෙට් එක විතරයි.
************
නදූ….., වේදිකා නාට්‍ය කණ්ඩායමේ හිටිය ලස්සනම කෙල්ල, ලස්සන කියන දේ බින්දුවක්වත් අඩු නොකර, දෙවියන් මවපු පරිපූර්ණ රූපයක්. ඇත්දල පාට හම, කැරලි ගැහුනු දිග කොණ්ඩේ, නිල්පාට ඇස් ඇත්තටම රූපෙන් වගේම ගතිගුණ වලිනුත් පරිපූර්ණ කෙල්ලෙක්. හැමෝගෙම හිත් නදූ ගාව නතර වෙද්දි, ඒ ආඩම්බර හිත වේදිකා නලුවො මග ඇරලා නතර උනේ කවදාවත් වේදිකාවට නැගලා නැති පිටපත් රචකයා වෙච්ච මන් ගාව.
ඒත් මම ඒක නොදැනුනා වගේ රඟපාන්න තරම් මුග්ධ උනා. මෙච්චර ලස්සන කෙල්ලෙක් මට කැමතී කියලා විශ්වාස කරන්න මම අකමැති උනා. පිලිගන්න බය උනා. අන්තිමට නාට්‍ය උළෙලේ හොඳම නිලිය සම්මානය නදූගේ අතට ලැබෙද්දි, හොඳම තිර පිටපත් රචකයා සම්මානේ ගන්නවත් ඉන්නෙ නැතුව අතුරුදහන් උනා. ෆෝන් නම්බර් මාරු කරගෙන මම සමාජෙන් හැංගුනා. නදූගෙ මතක අරක්කු වලින් යට ගහන්න හැදුව මිසක්, එකපාරක් නදූට කෝල් කරලා මගෙ හිතේ තියන ආදරේ කියන්න මට බැරි උනා.
*******************
අන්තිමට, හැමදාම ෆෝන් එකේ සේව් වෙලා තිබ්බ නදුනිගෙ නම්බරේ මගෙ අතින් ඩයල් උනා.
ක්‍රී………….න්
ක්‍රී………….න්
” හෙලෝ ” නදුනිගෙ ලයාන්විත කටහඬ එහාපැත්තෙන් ඇහුනා.
” හෙලෝ, අපිව මතකද දන්නෙ නෑ ? ” මම මවාගත්ත සෙල්ලක්කාර හඬකින් ඇහුවට, එහා පැත්තෙන් පිලිතුරක් වෙනුවට මුලින්ම මට ඇහුනේ මහ බරකින් පහලට වැටුන හුස්ම හඬක්.
” ජීවිතේට එන සමහර චරිත කවදාවත් අමතක කරන්න බෑ අයියේ ” හැමදාම වගේ නදුනිගෙ වචන තාමත් ඒ විදිහමයි.
” මමත් අමතක කරන්න බැරි චරිතයක්ද නදූ ? ” ආයේත් මට ඇහුනේ ලොකු හුස්මක්, හුස්මෙන් පස්සෙ පිලිතුරක් බලාපොරොත්තු උනත් ඒක එහෙම උනේ නෑ.
” මම බඳිනවා අයියේ, 26 වෙඩින් එක. අයියා එනවනේද ? ” නදුනිගෙ බිඳිච්ච කටහඬකින් හෙමීට කිව්වා.
” මට එන්න බැරි වෙයි නදූ. මම කලින් දා ගත්ත වැඩ වගයක් තියනවා. ” පරණ පුරුදු විදිහටම මම අදත් නදූව මග ඇරියා.
” හ්ම්ම්ම් ” නදූගෙ තනි වචනෙන්, වචන දාහකින් කියාගන්න වත් බැරි හැඟීමක් පිට කලා.
” බැන්දට පස්සෙ නාට්‍ය වැඩ නවත්තනවද නදූ ? ” මගෙන් තවත් ප්‍රශ්නයක්.
” ඔව් අයියේ එයා කැමති නෑ ඒවට ” නදූගෙ කටහඬ හොඳටම බිඳිලා තිබ්බෙ.
” ඇයි දරුවො, ඒ ඔයාගෙ හීනෙ නේද? ” නාට්‍ය පිස්සුවක් වෙලා තිබ්බ නදූගේ තීරණය මට විශ්වාස කරන්නත් අමාරු උනා.
” හීන වලට පණ දෙන්න ලියපු තිර පිටපතේ, ප්‍රධාන නලුවා ආවේ නෑ අයියේ, එයා දැන දැනම මග ඇරියා. පරිස්සමින් ඉන්න ” කියපු නදූ ෆෝන් එක කට් කලත්, ෆෝන් එක කට් කලාට වඩා මගෙ හිතට වැදුනේ අන්තිම වචන එක්ක එළියට පැනපු නදූගේ ඉකිය.
මම වැරදි කාරයෙක්ද?, ඔව් මම වැරැද්දක් නොකරපු වැරදි කාරයෙක්, මග හැරීමත් වැරැද්දක් කියලා තේරුම් ගනිද්දී මම පරක්කු වැඩී, හොඳටම පරක්කු වැඩී. බාගයක් හිස් වෙච්ච විස්කි බෝතලේ අතට ගත්ත මම බැල්කනියට ගිහින් ගිනියම් වෙච්ච කොළඹ අහස දිහා බලාගෙන පිච්චෙන ගිනිවතුර උගුරෙන් පහලට යැව්වා.
මගහැරීමත් වරදක් මෝඩයෝ. බෝතලේ කර වටේට එතිච්ච හිස් වෙඳැගිල්ල මට ඔච්චමට හිනා උනා.
උපුටා ගැනීම: Withanage Don