අත ඇරපන් මම ඔස්මන්ඩ්ගෙ ඩ්‍රයිව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඊයේ එකනායකට හිනා උණ එක දැම්මෙ සාම්පල් එකක් විදිහට. ඒකනායකට හිනා උන අයට තේරෙයි අද කතාව කියවුවම මිනිහගෙ බයවිල්ල බය විල්ලක්ද කියලා.
මේ කතාවටත් අපේ සාධාරණ ඒකනායක පැත්තකින් සම්බන්ධයි.
එදා ඒකනායක් පැය විසිහතරෙම ඇරල තියන ගම්පහ මේන් කවුන්ටරේ වැඩ. මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති පෙරේරා මහතා. මම වෙනත් කවුන්ටරයක වැඩ කරල රෑ 8ට විතර ගිණුම් පියවමින් මේන් කවුන්ටරය ගාව තියන ලොකු මේසේ වාඩි වෙලා ඉන්නවා.
එක පාරටම මුළු කාර්යාලයම සිගරට් ගඳකින් පිර්රගියා. මම කවුන්ටරය දිහා බලනකොට ටිකට් ගන්න ආව මිනිහෙක් සිගරට් එකක් බි බී දුම ඇතුලට එවනවා. “ඕක අහකට ගන්න” ඒකනායක කියුවෙ එච්චරයි.
දෙමටගොඩ ටිකට් එක අතට ගත්තු සිගරට් එක බි බී හිටිය මිනිහා එක පාරටම කටේ පුරව ගත්තු ලොකු දුම් ගුලියක් කවුන්ටරෙන් ඇතුළට පිම්බා.
“උඹ වැඩිය දඟලන්න එපා. මම සිගරට් බොන්නෙ එළියෙ ඉදන්. උඹ කව්ද මට සිගරට් බොන්න එපා කියන්න” කියලා දබරැගිල්ල පාලා තර්ජනය කලා.
සිගරට් දුමෙන් මත්වෙලා හිටපු ඒකනායක යන්තම් සිහි එලවාගෙන මේ තැන්වල සිගරට් බොන්න තහනම් කියලා දන්නැද්ද?” කියලා ඇහුවා. මමත් දැන් හිටගෙන කවුන්ටරේ ළඟට ආවා.
දැන් අර මිනිහා බනිනවා. “අඩෝ මේ ගම්පහ අපිට ඕන තැනක සිගරට් බොන්න පුළුවන්. තොට පුළුවන්ද ඒක නවත්තන්න.වැඩිය දඟලන්න එපා හිතුනොත් ඕක අස්සට ඇවිත් බොන්නෙ. වැඩිය දැඟලුවොත් කරදර වෙයි.” කියමින් බනිනවා.
මේ අතර කොළඹ කොටුවට යන කෝච්චියක් වේදිකාවට ආවා. ඒකනායකට බැන බැන හිටපු එකා බනින එක නවත්තලා කෝච්චියට නගින්න දිව්වා.
ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ ලේත් කකියන්න පටන් ගත්තෙ. කාර්යාලයෙන් වේදිකාවට ආපු මම කෝච්චියට නගින්න හදපු එකාව අතින් අල්ලල නවත්තා ගත්තා.
“උඹ ඇයි මාව අල්ල ගත්තෙ මම කෝච්චියේ යන්න ආවෙ” මිනිහා කියනවා.
“ඇයි දැන් තමුසෙ ඔෆිස් එකට ඇවිත් සිගරට් බොනවා කියුවනෙ. වරෙන් යන්න ඇතුලට ගිහින් බොමු” එක අතකින් අතයි අනිත් අතෙන් බෙල්ලයි මම අල්ලා ගත්තා.
ඒ අතරෙ අර කෝච්චිය ගියා.
“මාව අතඇරපන් මම එහෙම කියුවෙ නැහැ. උඹ දන්නවද මම කව්ද කියලා.”? මිනිහා ගාවින් මත්පැන් ගඳකුත් එනවා.
“මට කවුරු උනත් වැඩක් නැහැ. අපි මෙතන රස්සාව කරන්න ඕනි”
“දැනගනින් මම ඔස්මන්ඩ් මහත්තයාගෙ ඩ්රයිවර්”
“තමුසෙ ඔස්මන්ඩ්ගෙ නෙවයි මහ ඒජන්තගෙ ඩ්රයිව උනත් මට කමක් නැහැ. වරෙන් ඇතුලට.”
මම බෙල්ලෙන් අල්ලලා කාර්යාලය ඇතුළට තල්ලු කලා.
මේ සියල්ල බලා සිටි පෙරේරා මහත්තයාට මම කිව්වා” අපි පොලිසියට කියමු ” කියලා. ඒත් “ඕවා මහ ලෙඩ . ඔන්න ඕකට යන්න දෙන්න.” කියලා පෙරේරා මහතා මට කිව්වා.
මට දැන් හොඳටම කේන්තියි. මඟීන් දෙන්නෙකුත් මූව අල්ලගෙන එන්න මට උදව් කලා. මිනිහව පාර්සල් කාමරේ බිම වාඩි කෙරුවා. මම දැන් වෙන කරන්න දෙයක් නැති නිසා මේ මනුස්සයට හොඳටම බැන්නා. ඒකනායකත් ඇවිල්ලා බැනලා ගියා.
මිනිහා දිගටම “ඔස්මන්ඩ් මහත්තයෙක් ” ගැන කියුවත් “මෙහේ ඔස්මන්ලා චන්ඩි නෙවෙයි. සී එස්එම් මහත්තවා තමයි චන්ඩියා ” කියලා . කොහොම හරි තව කොළඹ කෝච්චි දෙකක් යනකම් මූව එතනම තියා ගත්තා. ටිකකින් මිනිහා දාපු ගෙම්බර් බැස්සා. මූ දැන් පින් සෙන්ඩු වෙනවා යන්න දෙන්න කියලා. වැන්දෙ නැති ටික විතරයි
දැන් වෙන දෙයක් කරන්න පෙරේරා මහතා උදව් කරන්නෙ නැති නිසාත් මට ගෙදර යන්න ඕනි නිසාත් ඊළඟ කොළඹ කෝච්චිය වේදිකාවට එනකොටම මම මේකව අතඇරියා. මූ දුවගෙන ගිහින් කෝච්චියට නැඟලා. ඒක අද්දන ගමන් ආපහු තර්ජනය කලා. “මම හෙට එන්නම් ඔස්මන්ඩ් මහත්තයා එක්කම” කියලා.
“ඇවිත් කරයි ” එහෙම හිතලා මම ආපහු කාර්යාලයට ඇවිත් ගිණුම් පියවලා ගෙදර ආවා.
පහුවෙනිදා උදේ වෙද්දි මේ සිද්දිය අමතකයි. හැබැයි උදේ අටට මෙහෙයුම් රාජකාරියට ආපු සේනාරත්න මහත්තයට කව්රු හරි ගෝලයෙක් මේ ගැන කියලා තිබුණා.
සේනාරත්න අයියා ඇහුවා මගෙන් සිද්දිය ගැන. මම විස්තරේ කියුවා.
“ඔයා ඌට ගැහුවද? “
“ගහන්න තමයි ඇදගෙන ආවෙ. ඒත් මිනිස්සු හිටියා”
“මොනවද කලේ මිනිහට”
“පාර්සල් කාමරේ වාඩි කරලා තිබ්බා කොච්චි දෙකක් යනකම් “
“ඇයි පොලිසියට කිව්වෙ නැත්තෙ”
“පෙරේරා මහත්තයා යන්න දෙන්න කියුවා”
“ඌ කිව්වද ඔස්මන්ඩ්ගෙ ඩ්රයිවර් කියල”
“ඔව් එහෙම එකෙක් ගැනත් කියුවා තමයි”
“දන්නවද ඔස්මන්ඩ් කියන්නෙ කව්රුද කියලා?”
“ඇහුවෙත් ඊයෙ තමයි අයියා. මන්ත්රී කෙනෙක්ද?”
මට දැන් සේනාරත්න අයියා “ඔස්මන්ඩ්” ගැන කියලා දුන්නා. සමහර ඉඩම් වල බෝඩ් ගහල තියනවලු.”මෙය ඔස්මන්ඩ් මහතාට අයක් ඉඩමකි” කියලා. දඩාවතේ යන බල්ලෙක්වත් ඒ ඉඩමට ඇතුල් වෙන්නෙ නැහැලු. දැන් මේ විස්තරය අවසානයේ ඔස්මන්ඩ් කියන්නෙ චන්ඩියෙක් කියලා මට තෙරුම් ගියා.
“ඇත්තටම ඌ ඔස්මන්ඩ්ගෙ ඩ්රයිව නම් මල්ලි ඔයාට ප්රශ්නයක් වෙයි” උන් මහ දරුණු මිනිස්සු” සේනාරත්න අයියා අනුකම්පාවෙන් බලල කියුවා.
මදැයි “අනුන්ගෙ දේකට මැදිහත් වුණා මදිවට කෝච්චියේ යන්න ගිය මිනිහවනෙ ඇදල ගත්තෙ” මම තනිවම හිතුවා.
“කෝකටත් පරිස්සම් වෙන්න” සේනාරත්න අයියා තව බය කරනවා.
වෙනදට ගෙදර ඉදන්ම සුදු යුනිෆෝම් එක ඇඳන් එන මම අනේ එදා ඉදන් සතියක් විතර යනකම් පාට ඇඳුමක් ඇඳගෙන ඇවිත් ස්ටේෂමේදි සුදු එක ඇඳ ගන්නවා. ආපහු යනකොටත් ඒ විදිහට මාරු කර ගන්නවා. බයික් එකත් ස්ටේෂමේ වෙනදා දාන තැන දැම්මෙ නැහැ.
ටිකට් ගන්න එන මිනිස්සු දිහාත් සැකෙන් බැලුවෙ.
කොහොම හරි ඉතින් ඔස්මන්ඩ් මහත්තයවත් අර ඩ්රයිවවත් ආපහු මාව බලන්න ආවෙ නැහැ.
එක්කො ඌ බොරුවක් කියල. නැත්නම් ලොක්කා සීන් එක ගණන් අරන් නැහැ. මම නිකන් ලේ ටික පුච්චා ගත්තා විතරයි.
උපුටා ගැනීම:   Nirantha Vissundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!