මං ඉස්කෝලේ ගිය මුල්ම දවස කියලා මාතෘකාව දාන්න ගියාම මට මතක් වුනා මං ඉස්සරවෙලා ඉස්කෝලේ ගියේ කවද්ද කියලා මට හරියට මතක නැති බව. ඒත් ඉස්කෝලේ ගිහින් මුලින්ම ඉගෙනගත්ත පාඩම නම් මට අදත් හොදට මතකයි. ඒ නිසා ඉස්කෝලේ මගේ මුල්ම පාඩම කියලා මේකට නම දාන්න මං තීරණය කළා.
මට හරි අපූරු ලමා කාලයක් තිබ්බා. පුංචිම කාලේ මං හිටියේ තෙරිපැහැ අපේ ගමේ. ඒ කාලේ ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉදලා තියන්නේ අපේ අත්තා. අත්තම්මත් ඒ ඉස්කෝලෙම ඉගැන්නුවා. අම්මත් ගුරුවරියක් වෙලා ඒ ඉස්කෝලෙටම ආවා. ලොකු මාමත් ඒකේ ඉගැන්නුවා. ලොකු අම්මා ඒ ලඟ තියන උඩමාදුර ඉස්කෝලේ උගන්නලා තියනවා. තිලක මාමත්, බණ්ඩාර මාමත් ,කුමාරි පුංචි අම්මත් පස්සේ කාලේ මේ ඉස්කෝලෙම ගුරුවරු උනා.
ඉතිං පුංචිම කාලේ මං ඉස්කෝලේ ගිහින් තියන්නේ අත දරුවෙක් විදියට. ඒකයි මට මං ඉස්කෝලේ ගිය මුල්ම දවස මතක නැත්තේ. ඒත් මට මතකයි මාව මේස උඩ තියලා අම්මා උගන්නපු හැටි. ඒ වගේම විවේක කාලෙදින් පන්තියේ ගෑනු ලමයි මාව වඩාගන්න පොරකන හැටි. ඒකාලේ මං හරි ලැජ්ජයි…කවුරු හරි මොනවහරි ඇහුවම අම්මගේ සාරිපොට අල්ලගෙන ඇඹරුන හැටිත් මට මතකයි.
මාව එක වසරට දැම්මෙත් මේ ඉස්කෝලෙටමයි. ඒ 1967 අවුරුද්ද. එක වසරට ඒ කාලේ කිව්වේ හෝඩිය පන්තිය කියලා. අපට ඉගැනුවේ හෝඩිපොත. අපි ලිව්වේ ගල්ලෑල්ලේ ගල්කූරකින්. ගල්ලෑල්ල කඩා ගන නැත්නම් ගල්කූර නැති කරගෙන අඩඅඬා ඉස්කෝලේ යනවා මට මතකයි. ඉස්කෝලෙම තිබ්බ සමූපකාර පොත් කඩෙන් අම්මා මට බැන බැන ගල්කූරු ගල්ලෑලි අරන් දෙනවාත් මට මතකයි. මම මහා නාස්තිකාර දරුවෙකැයි මටම හිතෙන තරමට මගේ අතින් ගල්ලෑලි බිදිලා තියනවා. නැත්නම් ගල්කූරු නැතිවෙලා තියනවා. දැන් නම් මතක් වෙනකොට ලැජ්ජත් හිතෙනවා. ඒ වගේම දුක හිතෙනවා. ඒකාලේ මං එච්චරම වදකාරයෙක් වීම ගැන.
හෝඩියේ පන්තිය බාරව හිටියේ අපේ අත්තම්මා. ඒ නිසා අත්තම්මා තමයි මගේ පළමු ගුරුවරිය උනේ. අපේ පන්තිය තිබ්බේ කොට බිත්ති බැදපු මැද ශාලාවේ එහා කෙළවරේ. මේ පන්තියේ හිටියා අපට වඩා වයසින් වැඩි ලමයෙක්. අත්තම්මා මාව ඉන්දුවේ ඒ ලමයා ගාව. ඒ ලමයට මාව හොදට බලාගන්ට කියලත් අත්තම්මා කිව්වා. පස්සේ කාලේ අපි ලඟ යාලුවන් උනා. ඒ ලමයා තමයි දැන් ප්‍රසිද්ධ ගායකයෙක් වන සෝමසිරි මැදගෙදර. මමත් , අත්තම්මත් තමන්ගේ ජීවිතයට කළ සඵල මැදිහත්වීම ගැන සෝමසිරි නිතර නිතර ජනමාධ්‍ය ඉදිරියේ ඉතා ලෙන්ගතුව අදහස් දක්වනවා. එහෙත් ඔහු හැමවිටම මා හදුන්වන්නේ මගේ නමේ මා අකමැති මැදකොටසත් එක්කයි. ඒ එකල ඔහුට මා මතක සිටි ආකාරය අනුවයි. මේ ලිපියෙන් තමයි මුල්වරට මම මගේ හෝඩිය පන්තියේ මිත්‍රයාගේ නම එළියට දැම්මේ. මීට කලින් අවශ්ථාවල ඔහු ප්‍රසිද්ධ ගායකයෙක් බව පමණයි කිව්වේ.
අත්තම්මා අපට මුලින්ම ඉගැන්නුව පාඩම මට අදටත් මතකයි. ඒ තමයි
“මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
නංඟිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක මමයි
හෙම නොවේ අපී” කියන කවිය.
මේක අත්තම්මා රඟපාමින් ඉගැන්නුව හැටි දැනුත් මට මැවිලා පේනවා වගේ. මේ මුල්ම කවිය ජීවන දර්ශනය වන තරමටම එය මා තුළට කාවැදී ඇතැයි මට දැන් හිතෙනවා.
පස්සේ කාලෙක මම මහාචාර්යවරයෙක් උනාට පස්සේ එක්තරා ජාත්‍යන්තර සඟරාවක් මගේ කුඩාකාලයේ ජීවිතයට බලපෑම් කළ ගුරුවරුන් ගැන ඇසුවා. මම එයට අත්තම්මා ගැනත් මේ කවිය ගැනත් කිව්වා. එම ලිපිය විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරුවීම නිසා මේ කතාව සමහරුන්ට අහලා පුරුදුයි වගේ දැනෙන්නට පුලුවන් .
මීට අවුරුදු පහළොවකට විතර කලින් අත්තම්මා වයස අවුරුදු අනූපහක් වෙනකම් ඉදලා අප හැර ගියා. ඇස් වෙදකමටද දක්ෂකමක් දැක්වූ ඇය ඒ මඟිනුත් තවත් දහස් ගණනකගේ ඇස් පාදනු ලැබුවා. ඒවගේම මියයන තුරුම ඇය කණ්නාඩියක් පාවිච්චි නොකර පොතපත කියෙව්වා. ඇයගේ අවමංගය සභාවේදී පවුලේ ඥාතින් වෙනුවෙන් කතා කළ මා ඇයගෙන් උගත් මගේ පළමු පාඩම ගැනත් සදහන් කළා.
මේ සමඟ ඇති ජායාරූපය මං එක වසරේ සිටියදී ගත් එකක්. එහි මාත් සමග සිටින නංඟී ද පසුව තෙරිපැහැ ඉස්කෝලේ ඉගෙන ගත්තා. අප දෙදෙනාම දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්වී සිටින්නේ එකල නිස්සරණාද්‍යාශයෙන් ගමේ දරුවන් යහමග ගැනීමට අපේ අත්තාත් අත්තම්මාත් ගත් ප්රයත්නයේ පින් බලයෙන්යැයි මට ඇතැම් විට සිතෙනවා.
මේ සමඟ ඇති අනෙක් ජායාරූපයේ තම
මී මිනිබිරියන් වන මගේ දරුවන් දෙදෙනා සමඟ අපේඅත්තම්මා සිටිනවා.
උපුටා ගැනීම: Anura Manatunga