මා නොවන ඔහු (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා පාසල් යන සමයේ අණ්ඩපාලයෙකි.මසකට දින කිහිපයක්ම පන්ති තහනම් වීම එකල පාසල් දිවියේ මා හට සාමාන්ය දෙයකි.මා තරමක් අගහිගකම් සහිත පවුලක දරුවෙකි.පාසලේ ඇතැම් මුදල් කාරණා සම්බන්ධයෙන් මා පසුපස ගසා සිටියේ හිතේ ඇති වූ ලැජ්ජාවත් සමගයි.ඇතැම් විට පාසල් ගාස්තු ගෙවීම ප්රමාද වන විට සමහර ගුරුවරු මා අමතා
‘නරියො අදත් සල්ලි ගෙනාවේ නැද්ද ??’
ඇසූ වාර අනන්තයි.එතකුදු නොවේ සමහර ගුරුවරු නිසා අප මුරණ්ඩු වීම තව තවත් වැඩි වූ බව අකමැත්තෙන් වුවත් ප්රකාශ කළ යුතුයි .නමුත් ඒ සෑම අයෙක් අතරම අදටත් හදවතේ ඉන්න ගරු කරන ගුරුවරු කිහිප දෙනෙකි.
අණ්ඩපාල වැඩ වලට යොමු වූවත් මා ඉගෙනීමට දක්ශයෙකි.එහි දෛවෝපගත සිදුවීමක් වනුයේ මා ද පාසල් ගුරුවරයෙකු වීමයි.මා සැමවිටම උත්සහ ගනුයේ මට ගුරුවරු සැලකූ ආකාරයට වඩා දරුවන් කෙරෙහි මානුෂික ලෙස කටයුතු කිරීමටයි.
මේ මා සීමාවාසී ගුරු පුහුණුව ලබන අවදියේ සිදු වූ කුඩා සිදු වීමකි.
ප්රධාන නගරයක් පසුකොට ගොස් ගම්මානයක් ආශ්රිත කුඩා පාසලක් වූ එහි සිසුන් පන්සියයකට වඩා අඩුය.මගේ පාසල් දිවියේ මෙන් එහි දරුවන්ද අඩු ආදායම් ලාබී පවුල් වල දරුවෝ වෙති.මේ පාසලේද මාගේ පාසල් කාලේ මා මෙන්ම ඇට්ටර කොලුවෙකි.නිරතුරුවම ඔහු ගුරුවරුන්ගේ දෝශාරෝපනයට ලක් වූ අයෙකි.නමුත් දක්ෂයෙකි.එහෙත් උනන්දුවක් නැත.
වරෙක පාඩමක පැවරුමක් ලෙස මා ඔහුට මාතෘකාවකට කතාවක් කිරීමට අවස්ථාව දුන් අතර ඔහුගේ කඨන හැකියාවෙන් මා වික්ෂිප්ත විය.
එදා සිට සිංහල කාලච්ඡේදය ආරම්භයේ නාමලේඛනය පිලිවෙලටම විනාඩි දෙකක් කතා කිරීමට සෑම සිසුවෙකුටම අවස්ථාව දුන් අතර අර කලින් කියූ කොලුවට වෙනම අවස්ථාව ලබා දුන්නෙමි.එම වසරේ දෙවන වාර විභාගයට සියලුම සිසුන්ගේ ලකුණු වැඩි විය.
සමහරදාට උදා රැස්වීමට කතා කිරීමේ අවස්ථාව අර කොලුවාට ලබා දුන් නමුත් මුලින් එයට අකමැති වුවත් පසුව එය හොදින් සිදු කළ නිසා පාසලේ සාහිත්ය තරගයට ඔහු ඉදිරිපත් කලේ කථික අංශයෙනි.හිතූ ආකාරයෙන්ම ඔහු ජයගත් අතර කොට්ඨාස තරග වලින් පළමු වැනියා විය.ඒ වන විට මාගේ සීමාවාසී කාලය අවසන් වෙමින් තිබූ අතර අවසන් දින පැවති උත්සවයේ සිසුන් වෙනුවෙන් කදුලු පෙරමින් කතා කළේ මගේ පොඩි එකාය.ඔහු මාස තුනක කාලයක් තුළ කෑමට නිවසින් දුන් මුදලින් කොටසක් ඉතිරි කර මා හට මිල කළ නොහැකි තිළිණයක්ද රැගෙන විත් තිබුණි.
කෙසේ වෙතත් කලාප තරගයට අවශ්ය මූලික දැනුම මා ඔහුට ලබා දුන් අතර කථන ශෛලිය,කරුණු ගොණු කරන අයුරු ද පහදා දුන්නෙමි.පාසලෙන් සමුගත් මා නිවසේ පත්වීම අපේක්ෂා කරමින් සිටින එක් දිනක සවස ආ දුරකතන ඇමතුම ඔහුගෙනි.
‘සර්, මාව මතකද? මම හසිදු..
සර්.කලාප තරග තිබ්බා.මං තුන්වනියා,’
එදා දැනුන සතුට ඔබට කියන්න මාගේ වාග්මාලාවේ අවශ්ය වචන නැත.විදුහල්පති,වත්මන් විෂය උගන්වන ගුරුවරුන්ට පෙර සහ ඔහුගේ පියාට කීමටත් පෙර මා මතක් වී ඇත.එය මා වචනෙන් කෙසේ විස්තර කරන්නද?
හොදම කරුණ නම් එය නොවේ.වරෙක මා පාසල් සමයේ කථික තරගයකට ගොස් පළමු කතාවෙන්ම ඉවතට විසි වීමයි.මට යා නොහැකි තැනකට මගේ එකෙක් යාම මාසික පඩියට වඩා මට වටිනා එකකි.කොලුවාගේ තිළිණයද මේ සමග අමුණමි.
කෙසේ වෙතත් කොල්ලා පෙර දිනක මට නැවත කතා කලේ රෝහල්ගතව සිටින අවස්ථාවක දීය.සාමාන්ය පෙලට සූදානම් වෙන ඔහු සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක මිදුලේ තිබූ පරණ කරත්තෙක යකඩ කූරක් හිසේ ඇමණී මැහුම් දමා රෝහලේ ඇදමත සිටිනා විටකදීය.අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියනවනෙ.
ළමා හැගීම් වෙනස්.තේරුම් ගැනීමයි වැදගත්.බොහෝ දෙමාපියන් කියනුයේ දරුවන් අකීකරු බවයි.එයට හේතුව වන්නේ මා සිතන අයුරින් නම් දරුවන්ගේ සිතුම් පැතුම් නිවැරදිව තේරුම් නොගැනීමයි.
උපුටා ගැනීම: Sithija Suranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!