මාරි බිස්කට් කෑමට දොරවල් කැඩීම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ඇත්ත කතාවක් වුනාට මම මේකෙ තැන් ,නම්,ගම් වෙනස් කරනවා.හැබැයි බත්තරමුල්ලේ හිත හොද චණ්ඩියා උක්කුං මාමා ගේ නමනම් වෙනස් කරන්නේ නෑ.
දවසක් ඔන්න උක්කුං මාමයි මායි රෑ වෙලා මලගෙදරක ගියා.ගියේ උක්කුං මාමගෙ ත්රීවිල් එකේ.ශොප් එකේ වැඩ නිසා මටත්,මොනවා හරි වෙන වැඩක් යෙදුණු නිසා උක්කුං මාමටත් දවල් යන්න බැරි වුණ නිසා තමයි රෑ පිටත් වුනේ.
හිතවත් ගෙයක් නිසා අපිත් ගොඩක් රෑ වෙනකම් මලගෙදර රැදුනා. ලොකු සෙනගක් හිටියෙත් නෑ.ඒ අහල පහල තිබුනෙත් අපේ නෑයොයි අදුරන අයගෙයි ගෙවල්.මේ අතරින් එක ගෙයක් තිබුණා මානසික ආබාධයක් හැදුණු වයසක පිරිමි කෙනෙක් හිටපු.මේ දවස් වල ඒ නැන්දා දුවගේ ගෙදර ගිහින් නිසා ඒ මාමා ඉන්නෙ තනියෙන් බවත් අපිට දැනගන්න ලැබුණා.
ඒ මාමාගේ නම ඩග්ලස් කියලා කියමු.
“ඩගියා තාම පිස්සු කෙලිනවද බාං? මුකුත් වැඩ කෑල්ලක් දැම්මෙ නැත්ද ලගදි?” උක්කුං මාමත් අහන්නෙ ඩග්ලස් මාමා ගැන තමයි.
“අපි වරින්වර බලනවා මාමෙ. කෑමත් දෙනවා.ඇදට වෙලා කකුලක් හොලව හොලව ඉන්නවා මිසක් මුකුත් කලබලයක් කරන්නෙ නෑ!”.ගෙදර කෙනෙක් උත්තර දුන්නා.
මටනම් පොඩි නිදිමතකුත් ආවා.උක්කුං මාමත් පුටුවෙ වාඩි වෙලා ඇස් වහගෙන ඉන්නවා මං බලාගෙන.
” ඩග්ලස් මාමලාගේ ගේ ගිනි ගන්නවෝ!” කුස්සිය පැත්තෙන් ගෑනු කට්ටිය මර හඩ තලන්න පටන්ගත්තා එක පාරටම.අපි දෙන්නා පුටු දෙකත් එක්කම උඩ විසි වෙලා ඇහැරුණේ!
“අම්මට.. පව් යකෝ පිස්සා! වරෙන් වරෙන්!”උක්කුං මාමා මේ වගේ වෙලාවට ගැරඩියෙකුට රෙඩ්බුල් දීලා භූමිතෙලුත් ගැහුවා වගේ තමයි.
අපි දෙන්නා ගේ ඉස්සරහ දොර අරින්න බැලුවා.ඒක හෙලවෙන්නෙවත් නෑ.ඇත්ත තමයි ගේ දුම් වලින් පිරිලා.පරණ තාලෙට ගහපු ලූවස් අස්සෙන් ගින්දර දිලිසෙනවා පේනවා.
“කුස්සිය පැත්තෙන් යමං පුතේ” උක්කුන් මාමා මාත් එක්ක පිලිකන්නෙන් කුස්සිය පැත්තට දිව්වා.
“කඩපං! මේක කඩපාං..!”උක්කුං මාමගෙයි මගෙයි පයින් පාරවල් දෙක එකටම කුස්සියේ දොරට වැදුනා.දිඩිස් ගාලා දොර ඇරිලා ගියා. අපි දෙන්නා ඇතුලට පැන්නා.අමුතු පිහිටීමක් ඒ පරණ ගෙදර කුස්සියට තිබුනෙ.නෑදෑ ගෙවල් වුනාට අපිට කුස්සිය පැත්ත ගැන කිසිම අවබෝධයක් තිබුනෙ නෑ.අපි ඇතුල් වුනේ
දිග පැසේජ් එකකටයි.දුම අස්සෙන් පෙනුණේ දෙකලවරේ තව දොරවල් දෙකක් තියෙනවා වගේ.කරුවලයි ඒ මදිවට දුම!
උක්කුං මාමා වහාම මේසයක් ලගින් රිංගලා ගිහින් මොකක්දෝ දොරක් ඇරියා.”සලං බලාං” සද්දෙකුත් එක්ක අම්මට..පදෙත් ඇහුනා!බැලින්නම් පැසේජ් එකේ එක කෙලවරක පිගන් බඩු දාලා තිබ්බ ලොකු බිත්ති කබඩ් එකක දොර තමයි මාමා ඇරලා තිබ්බෙ!
“මේ පැත්තෙන් උක්කුං මාමේ!” කියාගෙන මම අනිත් පැත්තෙන් ගෙට ඇතුල් වුනා.
“පිස්සු යකා! පිස්සුවෙන්මද කොහෙද ගේත් හදා ගෙන තියෙන්නෙ..?”කිය කියා උක්කුං මාමා නළලත් අත ගගා මගෙ පස්සෙන් ආවා.
බැලුවාම පිස්සු ලෝකයයි තමයි.කුස්සියේ දුම යට අඩුක් කරලා තිබුන දර ටික ඇවිලෙනවා පටපට ගගා!ඒ මදිවට කුස්සිය පුරා පත්තර දාලා ඒවත් ඇවිලෙනවා. ඒවට පයින් ගගහ නිවාගෙන අපි ඊලග කාමරේට පැන්නා.ඩග්ලස් ලොක්කා ඇදේ වාඩි වෙලා මෙට්ටෙ පැත්තක් ඇවිලෙන දිහා බලන් ඉන්නවා !කාමරේ ඇතුලෙ තව පත්තර ගොඩකුත් ඇවිලෙනවා.
උක්කුං මාමා ඩග්ලස් මාමව ඇදගෙන එලියට දිව්වා.මම පැත්තක් ගිනිගන්න මෙට්ටෙත් ඇදගෙන එලියට දිව්වා.කුස්සිය පිටිපස්සෙ ටැප් එකක් තිබුනා.මම ඒ ලග තිබ්බ වලදකින් වතුර ගහලා ගහලා මෙට්ටෙ නිව්වා.දැන් මලගෙදර අයත් උදව්වට ආවා.දිග හෝස් බටේකුත් හම්බවුනා.අපි හැමතැනටම හෝස් එක අල්ලලා තෙත බරිත කරලා ගින්න නිවාගත්තා.දර අටුව ගිනි ගත්ත එක මිසක් ඒ ගින්න බරපතල එකක් වුනේ නෑ.
අපේ නිදිමතවල් කොහෙන් ගියාද කියලා නෑ දැන්.තෙමිච්ච පත්තරයි දර අගුරු ගොඩයි ඔක්කෝම අපි එලියට ඇදලා කුනු ගොඩක් වගේ ගොඩ ගැහුවා.
මඩ ගොහොරු වෙලා තිබ්බ බිමත් අතු ගාලා දාලා ඩග්ලස් ලොක්කාව ආයෙත් ගෙට එක්කරගෙන ආවා.
“ඩගියා මොකද බං කරන්න ගියේ?උඹ රෝස් වෙන්න හදනවද?”උක්කුං මාමා ඇහුවා.දැන් අපි කීප දෙනෙක් ගේ ඇතුලේ.
ඩග්ලස් මාමා අපි හැමෝම දිහා බැලුවා.
“මට සීතලක් ආවා උක්කුවෝ!පත්තර ටික අවුලලා මදි හින්දා මෙට්ටෙටත් ගිනි කූරක් ගහගත්තා !”
“හිටහල්ල ගෙදෙට්ට ආපු අයට කන්න මුකුත් දෙන්න!”
මෙහෙම කියපු ඩග්ලස් මාමා ඇද අයිනෙ තිබ්බ පොඩි රාක්කෙකින් මාරි බිස්කට් ලොකු පෙට්ටියක් ගත්තා එලියට.
“කන්න කන්න මාරි බිස්කට්!”මෙන්න අපිට ඩග්ලස් මාමා මාරි දෙන්න හදනවා.
උක්කුං මාමා ගත් කටටම “මාරි බිස්කට් තමයි දැන් අඩු! පිස්සු %ත්තා..!අපි යමන් කොලුවො ගෙදර!” මටත් කියාගෙන ආපහු හැරෙනකොටම විස්තර බලන්න ආපු නැන්දලා දෙන්නෙකුත් අතින් කටවල් වහගෙන එලියට දිව්වා..!
මමත් හිනාව තද කරගෙන උක්කුං මාමත් එක්ක ගෙදර ආවා.
“ඕකා හරි උගත් මිනිහෙක් දැන් ඔය පිස්සු කෙලියට!උඹලගෙ තාත්තයි මායි ඕකව කීප සැරයක් අංගොඩ එක්කන් යන්න උදව් වෙලා තියෙනවා.මනුස්සයන්ගෙ වෙලාව තමයි ඉතින්!” උක්කුං මාමා මගදිත් කිය කියා ආවා.
පහුවදා මම ආයෙත් ගියා අපි කඩපු දොර හදා දෙන්න,බාසුන්නැහේ කෙනෙක්වත් එක්කගෙන.ඩග්ලස් මාමා අපි වැඩේ ඉවර කරනකම් බොහොම සාවධානව බලන් හිටියා.ඉදලා අන්තිමේදි මෙහෙම කිව්වා.
“ඕවා කිරලා මැනලා නූලට කරන වැඩනෙ. මං මුකුත් කියන්න කරන්න ගියොත් උඹලට අප්සට් යන්න පුලුවනි..! දැන් ඉවරනෙ?ආ මෙන්න මාරි බිස්කට් කමු !”(කුණුහරප කියන්න උක්කුං මාමා හිටියෙ නෑ.)
ප.ලි
ඒ අවස්ථාවෙ සිදුවීම් පෙලට මිසක් මානසික රෝගියෙකුට හිනාවෙන්න අදහස් කරන්නෙ නෑ.ඩග්ලස් මාමායි එදා ගෙදර නොහිටපු නැන්දායි දැන් ජීවතුන් අතර නෑ.ඔවුන්ගේ ලමයි ඉතා හොද ජීවිත ගත කරනවා.එදා සිද්දියෙන් පස්සෙ ඩග්ලස් මාමව තනියෙන් නොතියන්න ඔවුන් වගබලාගත්තා.
උපුටා ගැනීම: Nalaka Caldera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!