මේක වෙන්නේ මම ඒ ලෙවල් කරන කාලේ. ඒ දවස් වල මම කෙල්ලෝ පස්සේ යන්නේ කොල්ලෝ අඹ කඩන ක්රමේට. ඒ කියන්නේ එක අඹයක් ඉලක්ක කරලා ගහන්නේ නෑ පොල්ලෙන් වල්ලටම ගහවා. (අඹ). එතකොට වැටෙන එක අහුලා ගන්නවා.
ඔය විදියට මම ගියපු ඉකෝන් ක්ලාස් එකක් තිබ්බා. මේකේ පැය පහක් කරන දවසට මැදින් ඉන්ටර්වල් එකක් දෙනවා. මේකෙදි සර් ගෑනු ලමයෙකුටයි පිරිමි ලමයෙකුටයි කියලා සින්දු කියවනවා.
ඒකේ හිටියා ලස්සනට සින්දු කියන ලස්සන කෙල්ලෙක්. ඒකි මුලින්ම කිව්වේ ඒ දවස් වල උපරිම ජනප්රියත්වයේ තිබ්බ “එපා තවත් ඔබ මා රවටන්නට” කියන සින්දුව. ඒක අහද්දී මම හිතෙන් ඒකිව බැඳලා ලමයි හදලා ඒ ලමයි ලස්සනට සින්දු කියලා ඔක්කොම ඉවරයි.
එච්චර කල් ඒකිටත් ඇප්ලයි කරේ අඹ තියරිය. ඒත් ඒ සින්දුවෙන් පස්සේ ඒකි වෙනුවෙන්ම කැපඋනා. දැන් හැමදාම මේකි යන බස් එකේ මාත් නගිනවා මගේ බයික් එක යාලුවෙකුට ගෙනෙන් කියලා.
දවසක් ඒ පැත්තට යන යාලුවා නෑ. බයික් එක කොහේවත් දාලා යන්නත් බැරි නිසා මම ප්රංශ පාපැදි සවාරියේ යනවා වගේ ඒකි නැගපු බස් එක පස්සෙන් පදිනවා. මගේ තව යාලුවෙකුත් මාත් එක්ක උගේ බයික් එකේ ආවා. මේ යකා පහු උන නිසා මම ඌව බලන්න පිටිපස්ස බැලුවා විතරයි මතක. මම උඩින් ගිහින් බස් එකේ පිටිපස්ස ඉඹගෙන කාටුන් වල වගේ බිමට වැටුනා.
පිටිපස්ස බලපු ටිකට මේ බස් එකේ මෝලා බ්රේක් ගහලා. බස් එක යටින් බයික් එක ගත්තම රෝදේ අටපට්ටම් වෙලා. ඒ ඔක්කොමත් ඉවසා ගන්න පුලුවන් අරකි වීදුවෙන් බලන් හිනාවෙනකොට මට හිතුනා ඒ වැදුන වෙලාවේ මැරුණා නම් එකක් කියලා.
ඒකෙන් පස්සේ මම හිතාගත්තා තවත් එහෙම එක කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ.. ආපහු අඹ තියරියට යනවා කියලා. අපේ ගෙදර ලඟ ඉඳලා ඉස්කෝලේ ලඟට යන්න ලේසි පාර තියාගෙන මම යන්නේ සුජාතේ පැත්තෙන්.
දවසක් මෙහෙම උදේ පාන්දරම පිලිවෙලට ඇඳගෙන සපත්තු දෙක යටට ඇල්ලුවම ඒකේ පාට කියන්න පුලුවන් ගානට පොලිශ් කරලා. මගේ බයිසිකලේ නැගලා යනවා. ඔය ඉස්කෝලෙට යන පාරේ තියෙනවා පාලමක්. ඒ ටික පොඩ්ඩක් පටුයි. මම කාර් එකකට ඉස්සර කලා විතරයි. ඉස්සරහින් වැරදි පැත්තේ නවත්තපු මාලු බයිසිකලයක පිටිපස්සේ තියෙන පෙට්ටියේ පටලැවුනා. මම උඩින් ගියා. බයිසිකලේ පෙරලුනා. මාලු ටික පාර පුරාම. කෙල්ලෝ දෙනෝදාහක් යන පාරේ මගේ කලිසම මේ පින්තූරේ වගේ වෙලා. මේකේ මේ යකා නිල් පාට ඇඳලා යටට සුද ඇඳලා තිබ්බට මම සුදු කලිසම උඩට ඇඳලා තද නිලෙන් යටට ඇඳලා හිටියේ. මම බෑග් එක ඉස්සරහට තියාගෙන පුප තාප්පෙට අලවගෙන විලි වහගත්තේ කිට්ටුව ගෙදරකින් ඇන්ටි කෙනෙක් සරමක් ගෙනත් දෙනකන්. කෙල්ලෝ අතින් කට වහගෙන හිනා වෙවී ගිය විදිය අදටත් මතක් වෙනකොට අරූගේ මාලු කන්න හිතෙනවා.
අන්තිමට අපේ තාත්තා දානෙකට මාලු ගත්තා කියලා හිතාගෙන අර මනුස්සයගේ මාලු වල සල්ලිත් ගෙව්වා..
උපුටා ගැනීම: Sajitha Roshan