“මොකද්ද අක්කෙ අදවත් හිනාවෙලා ඉන්නවකො…”
“අනේ නංගි මට නම් දැන් මේ විකාරෙ ඇතිවෙලා…”
“ඇතිවෙන්න එපැයි… කී වෙනි මනමාලයද ඕයි මේ… තමුසෙට නෙමේ මටත් එපා වෙලා ඉන්නෙ..තමුසෙ නාකි වෙලා වගේ ප්රපෝසල්වලින් මනමාලයො හොයන්නෙ. තාම වයස කීයද…ඇයි යකෝ ලස්සන නැතුවද කොල්ලෙක් එක්ක යාලු වෙන්න බැරි… තමුසෙගෙ ලස්සන මට තිබ්බනම් මං කැම්පස් එකේ ඉන්න ලස්සනම කොල්ලත් එක්ක යාලු වෙන්නෙ…”
“එහෙමත් උන් ඉන්නවද… ලස්සනම කොල්ල කියලා… මල විකාර තමුසෙලගෙ…”
“මල විකාර නෙමේ… ඉන්නව එහෙම එකෙක්… පට්ට ආඩම්බර එකෙක් ඌ… කෙල්ලො ඌට මැරෙන්න හදනව. ඌ නෙමෙයි ගාණකට ගන්නෙ…”
“ආඩම්බර කමට ඉන්න කොල්ලො තමා හොඳ… ඇඹලයො වගේ දකින දකින උන් පස්සෙ වැටෙන උන්ගෙන් මොකද්ද ඇති වැඩේ…”
“අන්න කතාව… තමුසෙ ඔච්චර දාර්ශනික ටෝක් දෙන එකේ තමුසෙට අහු වුණේම නැද්ද මේ අවුරුදු විසි ගානටම එහෙම එකෙක්… ඇයි යකෝ මේ නාකි මනමාලයො ඇවිත් බලලා යනකං බලන් ඉන්නෙ…”
නංගි නෝන්ඩියට වගේ කිව්වෙ…
ඇත්ත තමයි ඒ කතාවත්… කැම්පස් අවුට් වෙලා අවුරුදු දෙකයි තාම. ඒ කාලෙවත් මං කා එක්කවත් යාලු නොවුණ හින්දා අම්මලා මනමාලයො හොයනවා මට.අද එන්නෙ මාව බලන්න එන හතරවෙනි මනමාලයද කොහෙද… හතරක් නෙමේ දාහතරක් ආවත් ඔච්චර තමා ඉතින්… මොකා ආවත් කැමති වෙන්නෙ කොහොමද හිත පුරාම එයා ඉඳිද්දි…
අඩුම තරමෙ ගෙදරට කියලා අවසර ගන්න පුළුවන් විදිහෙ ආදරයක් වුණා නම් එයාට කැමැත්ත දෙන්නෙ මං ඒ දවස්වලම. මොනා කරන්නද ඒකත් වෙලාව… හැබැයි එදා ඉඳන් අද වෙනකම්ම එයා ඇරෙන්න මගෙ හිතට රිංගන්න පුළුවන් කෙනෙක් නම් හිටියෙ නෑ… කැම්පස් යන කාලෙ ගණන් කරන්නත් බැරි තරම් කොල්ලො පස්සෙන් ආවත් ඒ එකක් ගැනවත් හිතන්න ඕනකමක් මට තිබූණෙ නෑ.. කලින් ආපු මනමාලයො තුන් දෙනාම ගෙදරින් යද්දිම කියලා ගියේ මට කැමතියි කියලා. හැබැයි ඒ එකකටවත් මම නෙමේ කැමති වුණේ…
“අක්කේහ්…”
කට්ටිය ඇවිත්ද කොහෙද… උඩ ඉඳන් පාර දිහා බලන් හිටපු නංගි කෑ ගහගෙන කාමරේට ආවෙ මං පුදුම වෙලා බලද්දි…
“මොකද බං බෙරිහන් දෙන්නෙ… අද එන එකා මොන වගේද… අර අම්මා පෙන්නපු ෆොටෝ එකේ ඉඳපු එකා නෙමේද…”
මං ඇහුවෙ හිනාවෙලා…
“අනේ අක්කෙ වඳින්නම්… ඔයා මේකට නම් කැමති වෙන්නම ඕන හරිද… ඒ අයියා ලස්සනයි හැබැයි අරයා තරම් නෑ…”
“ආහ්… කවුද අරයා…”
“අර මං දැන් ටිකකට කලින් කිව්වෙ කැම්පස් එකේ කොල්ලෙක් ගැන…”
“ඉතින්…ඒකයි මෙකයි අතර තියෙන සම්බන්ධෙ මොකද්ද…”
“ඒකනෙ ඕයි කියන්නෙ… තමුසෙ කිව්වට විශ්වාස කරන එකක් නෑ… එයාත් ඇවිල්ලනෙ.. ඔව් ඕයි මං හිතන්නෙ එයාගෙ අයියා වෙන්න ඇති තමුසෙගෙ මනමාලයා…”
“මොකක්…”
“අනේ මන්දා මටත් හිතා ගන්න බෑ… අනේ තමුසෙ ඒ අයියට කැමති වෙනවකො. එතකොට මට අරයව යාළුවෙක් හරි කර ගන්න පුලුවන්නෙ. පස්සෙ බැරියැ ආදරේ කරන්න. කෙල්ලො මැරෙන්න හදයි ඌ මගෙ මස්සිනා කිව්වම…”
“අනේ මන්දා… තමුසෙගෙ විකාර.. ඕන එකෙක් යාලු කර ගන්නවා මාව ඕවට ගාව ගන්නෙ නැතුව. මොකා ආවත් අදත් මගෙ උත්තරේ පරණ පුරුදු එකම තමා…”
“අනේ අක්කෙ ප්ලීස්..”
එතකොටම අම්මා කාමරේට ආවෙ දුවගෙන වගේ…
“ඔන්න පුතේ අද නම් කිසි දේකට ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ… වයසත් ගැලපෙනවා. පෙනුමත් හොඳයි… කොල්ලා ඉන්ජිනියර් කෙනෙක්… මේක නම් ඔයාටත් හිතට අල්ලයි… ලස්සනට හිනාවෙලා කතා කරන්න ඕන හරිද… වෙනදා වගේ නම් ඉන්න එපා පුතේ…ඒ ළමයා හරිම ගුණයහපත් පාටයි…”
“මොකද්ද අම්මෙ ඒ පාට… මං ඇහුවමයි ඔය…”
“අනේ පොඩ්ඩි වඳින්නම් ඔය හැකර කට වහගෙන ඉඳින්… එතන එහෙම ගිහින් කියවනවා නෙමේ”
අම්මා කියද්දි මට හිනා…
“යං යං ලොකු පුතේ කට්ටිය බලන් ඉන්නෙ ඔයා එනකල්…”
මටත් අද නම් එළියට යන්න ආසාවක් ආවෙ මනමාලයව බලන්න නෙමේ.. නංගිගෙ මහ ලොකු කැම්පස් එකටම ඉන්න ලස්සන කොල්ලව බලන්න… බලමුකො මේකිට ඒකවත් සෙට් වේවිද කියලා මේ මගුලෙන්… මට කෙසේ වෙතත්…
********
මං අම්මයි නංගියි එක්ක පහළට ගියේ හෙමිහිට ඔසරි පොටත් අල්ලගෙන…
හෙමින් ඔලුව උස්සල බැලුවෙ තත්වෙ මොන වගේද කියලා… කට්ටියම ඉන්නවා කන්න වගේ මං දිහා බලාගෙන…
ඒ එක්කම කොනේම වාඩි වෙලා ඉඳපු කෙනා පුටුවෙ ඉදන් බාගෙට නැගිටුණේ මං බලාගෙන ඉදිද්දි…
ඒ මූණ දකිද්දියි මට දෙවියො සිහි වුණේ…
අකිල….
“ඇයි පුතා?”
එයාගෙන් තාත්තා ඇහුවෙ පුදුම වෙලා වගේ…
“නැහ්… නෑ… මේ මං බැලුවෙ අර අරයා…”
“ඇයි?”
“නෑ…මේ අර අරයා අපේ කැම්පස් එකේ …ඒකයි බැලුවෙ…”
එයා කියද්දි මං පුදුමෙන් නංගි දිහා බැලුවෙ… නංගි ඇහක් ගහලා මට ඉඟි කලේ එයා තමයි කියන්න වගේ…
මට හිතා ගන්න බැරි වුණේ මෙතන මොකද්ද වෙන්නෙ කියලා…මං හැමෝටම ආයුබෝවන් කියලා අම්මා ළඟින් වාඩි වුණේ ඒ මූණ දිහා හොරෙන් බලලා…
දෙවියනේ… මේ අවුරුදු දෙකට හොඳටම වෙනස් වෙලා… දැන් නම් මටත් වඩා වයස පේනවා… මූණ පුරාම රැවුල වවාගෙන. මං බලද්දි එයා රවලා අහක බලා ගත්තෙ මගෙ හිත හොඳටම රිද්දලා… මනමාලයා මං එයා දිහා බැලුවා කියලා හිතලා වෙන්න ඇති මා එක්ක හිනා වුණා… මං බිම බලා ගත්තෙ කරන්න දෙයක් නැතිකමට…
“පුතේ ඔය දෙන්නා ටිකක් කතා කරන්න… ලොකු පුතේ අයියව එක්ක යන්න ගාඩ්න් එකට. අපි කතා කළාට බෑනෙ.. ඒගොල්ලො එපැයි මේවා තීරණය කරන්න…”
අම්මා හිනාවෙලා එහෙම කියලා කුස්සියට ගියේ තේ මේසෙ ලෑස්ති කරන්න කියලා…
*******
හෙමිහිට ගාඩ්න් එකේ බෙන්ච් එක ළඟට ගිය මම කල්පනා කලේ අකිල ගැන…
දැනට අවුරුදු ගාණකට කලින් මං උසස් පෙළ කරන කාලෙ තමයි මං අකිලව අඳුනගත්තෙ…
ඒ ස්පෝට්මීට් එකේදි…
මං නිවාස නායිකාව වුණේ ඒ අවුරුද්දෙ හැමෝගෙම කැමැත්තට….දවසක් දුවද්දි තරගෙකදි මල්ලි කෙනෙක් වැටුණෙ හැමෝම බලාගෙන ඉඳිද්දි… අවාසනාවට ඒ අපේ නිවාසෙම මල්ලි කෙනෙක්…ඒ වෙද්දි එකොලහ වසරෙ හිටපු ඒ මල්ලිගෙ කකුලක් තුවාල වෙලා තිබුණා හොඳටම.
ඉතින් එදා එයාට බෙහෙත් දැම්මෙ මම… එදා මං බෙහෙත් දානකන්ම ඒ මල්ලි මගෙ මූණ දිහාම බලන් හිටියෙ… මං හිතුවෙ වේදනාව නිසා කියලා… ඉන් පස්සෙ එදා ඉඳන් අපි හොඳ යාලුවො වුණා…හැබැයි ඊටත් මාස ගාණකට පස්සෙ කැන්ටින් එක ළඟදි දවසක් එයා කියපු දේට මගෙ කකුල් දෙකත් පණ නැතුව ගියේ… එයා මට ආදරෙයිලු… මට වඩා අවුරුදු දෙකක් බාල මල්ලි කෙනෙක්ගෙන් මං කවදාවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ…
එදා ඉඳන්ම මං එයා එක්ක කතා බහ කරන එකත් අඩු කලේ එයා බොරු බලාපොරොත්තු තියාගන්න නිසා… අනික මිනිස්සු මොනවා නොකියයිද මට…මල්ලි කෙනෙක්ට ආදරේ කරලා…
“මං දන්නවා තමුසෙ මට කැමතියි කියලා… හැබැයි බයට කියන්නෙ නෑනෙහ්… කවදාහරි තමුසෙ කැමති වෙයි… මං ඒ දවස එනකන් බලන් ඉන්නම්කො…”
“අනේ මල්ලි..මො..”
“කට.. කට… මයුමි මෙහ්…මං තමුසෙට කියලා තියෙනවා මට මල්ලි කියන්න එපා කියලා…මට නමක් තියෙන්නෙ අකිල කියනවකො…මල්ලි මල්ලි ගාන්නෙ… “
එදා එයා එහෙම කිව්වත් ඊටත් අවුරුදු දෙකකට පස්සෙ මං කැම්පස් යද්දි මගදි හම්බෙලා මං එක්ක කතා කරේ වෙනදා වගේම. එයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබුණෙ නෑ… එදත් කිව්වෙ කවදාහරි මං කැමති වෙනකං බලන් ඉන්නවා කියලා… ඒත් මං එයාට තේරුම් කරලා දුන්න මේක කවදාවත් වෙන දෙයක් නෙමේ කියන එක… නැතුව මං එයාට ආදරේ නැතුව නෙමෙයි… හැබැයි මං එක වචනයකින්වත් එයාට ඒ බව ඇඟෙව්වෙ නෑ… ඒ ආදරේ හිතේ තියාගෙන හැමදාම ඉන්නවා කියලමයි මං හිතාගෙන හිටියෙ…
ඉතින් පහුගිය අවුරුදු කීපයටම මගෙ ජීවිතේට සම්බන්ද වෙන්න නොයෙක් විදිහ අය උත්සහ කලත් ඒ හැම එකක්ම වැරදුණේ අකිල ගැන මගෙ හිතේ තියෙන ආදරේ නිසායි…
“මොනාද ඔච්චර කල්පනා කරන්නෙ?”
“අහ්..”
එතකොටයි මට මතක් වුණේ මං මෙතනට ආවෙ තනියම නෙමෙයි නේද කියල…
“නෑ… මේ මං කල්පනා කලේ… අර මල්ලි මේහ්… මං එයාව දැකල පුරුදුයි වගේ ඒකයි…”
මං කිව්වෙ කියන්න දෙයක් නැති කමටත් වඩා අකිල මෙයාගෙ කවුද කියලා දැන ගන්න…
“ආහ්… ඒ අපේ නැන්දගෙ පුතා… මිනිහා කැම්පස් ෆයිනල් ඉයර් ඉන්නෙ දැන්…නංගිව දන්නවා මං හිතේ… දැකපු ගමන් නැගිට්ටුණේ… මං හිතේ මොනා හරි හිතේ තියෙනවවත්ද දන්නෑ…”
එයා එහෙම කියලා හිනාවුණත් මට බොරුවටවත් හිනාවෙන්න මතක් වුණේ නෑ…
කිව්වත් වගේ දෙයියනේ නංගි කියලා තියෙන්නෙ අකිල ගැන නේද කියලා හිතෙද්දි පපුවත් මොකද්ද වුණා… දෙවියනේ එහෙම දෙයක් වුණොත් මං කොහොමද ජීවිත කාලෙම ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නෙ…ඇස්වලට කඳුළු පිරුණෙ නොදැනිම… කඳුළු අතරින් බොඳ වෙලා පෙනුනෙ අකිල දොරෙන් එළියට එනවා… දෙයියනේ… ඊට පිටිපස්සෙන් හිනා වෙවී එන නංගි… ඒක දැක්කම මට හිටගෙන ඉන්න බැරි තරම් නිසා එහෙමම බෙන්ච් එකෙන් ඉඳගත්තෙ…
මනමාලයත් ඇවිත් මං ළඟින්ම වාඩි වුණේ මට ඉබේටම අකිල දිහා බැලෙද්දි… එයා කලේ රවලා අහක බලපු එක… ඒ එක්කම පිටිපස්සෙන් ආපු නංගි එක්ක හරි හරියට හිනාවෙවී කතාව… මගෙ හිත රිදුණෙ පොඩ්ඩක් නම් නෙමේ…
ආපු පිරිස යන්න ගියේ මගෙ හිත හොඳටම රිද්දලා… දෙවියනේ… අකිල… එයා වෙනස් වෙලා…එයා නංගි එක්ක යාලු වුණොත් මං කොහොමද ඒ දේට මූණ දෙන්නෙ… හිතෙද්දිත් හීන් රිදුමක් පපුව පුරා දුවනවා…
“අක්කෙ… මේහ්…”
නංගි දුවගෙන ඇවිත් ඇඳට පැන්නෙ කෑ ගහගෙන…
“ඒයි තමුසෙ ඔය යාර හය ඔතා ගත්ත ගමන්ද තාම… මොකද මනමාලයා හිතට අල්ලපු තරමට සාරිය ගලවන්නත් දුකයිද …”
“නංගි අනෙ මේහ්… මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවද …මලවිකාර කියෝනවා…”
“මොකද අක්කෙ කවදාවත් නැතුව තරහ ගිහින් තමුසෙට…”
“මට… නෑ.. එහෙම එකක් නෑ…”
“නැත්තෙ මොකද… තමුසෙ කවදාවත් ඔහොම කේන්ති ගන් නෑනෙ… හරි හරි ඒකට කමක් නෑ… මේ ඒක නෙමේ අරූ අපිව කැම්පස් එකේදි දැක්කට සත පහකට ගණන් ගන්නෙ නෑ … අද මං එක්ක කලෙක ඉඳන් හොඳයි වගේ කතා කලානෙ. මට මාර හැපි… දැන් නම් මං බය නැතුව කතා කරනවා කැම්පස් එකේදි.. මං කිව්වා හරි නේහ්… ඌ මාර හැන්ඩියා නේද…”
“හ්ම්…”
එතකොටම අම්මා කෑ ගහගෙන කාමරේට ආවෙ…
“මොකද අම්මෙ?”
“මොනවද ලොකූ ඔයා අර ළමයට කිව්වෙ… මෙතනින් කැමතියි වගේ එලියට ගිය ළමයා ගෙදර ගිහින් මේක කරන්න බෑ කියනවලු…”
මට හිනා ගියේ ඒක ඇහුවම. කොච්චර දෙයක්ද මං කියන්න කලින්ම එහෙම වෙච්ච එක…
*************
කාලය ගත වෙලා ගියේ අකිල නංගිගෙ හොඳම යාළුවෙක් වෙද්දි…
දවසක් නංගි ගෙදර ආවෙ මං අකමැතිම දෙයක් මගෙන් අහගෙන…
“අක්කෙ… මගෙ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා හෙට.. අනිවා ඔයාව එක්ක එන්න කිව්වා… “
“මාව… මං මොකටද…මං අඳුරනවද ඔයගෙ යාලුවො?”
“ඔයා දන්නැති උනාට ඒගොල්ලො ඔයාව දන්නවා… අනික මට ඔයාට කෙනෙක්ව පෙන්නන්න තීනෝ හෙට…”
නංගි ලැජ්ජාවෙන් වගේ කිව්වෙ…
“කවුද…”
“මගෙ බෝයිෆ්රෙන්ඩ්… එයාටත් ඔයාව හම්බෙන්න ඕනෙ කිව්වා.. අම්මලට කතා කරන්න කලින්.. එයාව දැක්කම නම් ඔයා ශොක් වෙනවා… ෂුවර් මට…”
අනේ නංගි කියන්නෙ අකිල ගැනවත්ද… එහෙම වුණොත් කොහොමද දෙයියනේ මං ඒ වෙලාවට මූණ දෙන්නෙ… අනික ජීවිත කාලෙම ඒ දෙන්නා දිහා බලන් මං ඉන්නෙ කොහොමද… එහෙම වුණොත් මං රටින් යනවා… ඔව්… එහෙම කරනවා නංගිගෙ සතුට වෙනුවෙන්… නැතුව අකිලව දැක දැක මට පිච්චි පිච්චි තමා ඉන්න වෙන්නෙ හැමදාම….
කොහොමින් කොහොම හරි නංගිගෙ වදේට පාටි එකට මමත් ආවෙ… හැමෝම සුහදව කතා කරන නිසා කිසි අපහසුතාවයක් දැනුනෙ නෑ මට…
“අක්කෙ අරයා ආවා… ඉන්න මං එක්ක එන්න. “
නංගි දුවලා ගිහින් අතේ එල්ලුණ කෙනා දැක්කම මට දැනුනෙ හරියට මට අයිති දෙයක් කවුරු හරි උදුරගත්තා වගේ… අකිල… මට ඒ දිහා බලන්න හයියක් නෑ… මං ඉක්මනින්ම එතනින් නැගිටලා එලියට යන්න ගියේ කට්ටිය පුදුමෙන් වගේ මං දිහා බලද්දි… මට ඒ ගැන වගක් වුණේ නෑ …. මේ අවස්තාවෙන් ගැලවෙන්න විතරයි මට ඕන වුනේ…
එතකොටම කවුදෝ මගෙ අතින් ඇදලා ගත්තෙ…
“කොහෙද දුවන්නෙ ආහ්…”
“අකිල… මේහ්… මං… මේහ්..”
ඔහු මොනවත් නොකියා හයියෙන් හිනාවුණේ…
“කාටද බොරු කරන්නෙ ආ… මොකටද… “
“මොනවද කියන්නෙ…”
“කියන්නෙ තමුසෙ ඉස්සර වගේම තාමත් පැනලා දුවන එක ගැන..හැබැයි ඉස්සර මල්ලි වෙච්ච මං දැන් අකිල වෙලා. ඒකට නම් සතුටුයි මට.”
“ඔයා දැන් වත් අලුත් ජීවිතයක් ගැන හිතපු එක හොඳයි… මං ළඟදිම රට යන්න ඉන්නෙ…”
“අනේ ඕයි… සමයං කියවන්නැතුව ඉන්නවා … මෙච්චර දවසක් නැති රට යෑමක් අද කොහෙන්ද…”
“ඔයා දන්නෙ කොහොමද මගෙ ගමන් ගැන… අනික ඔයා නංගි ගැන හොයා ගන්න.. මාව අතඇරලා…”
“මං නොදන්නෙ මොනවද කියලා අහනවා.. අනික දිල්මි මගෙ නෑනා හින්දා මං ඒකි ගැනත් හොයනවා… තමුසෙ එපා කිව්වත්…”
“මොකා…ක් ???? නෑනා???”
“හ්ම්… ඇයි සැකද…දිල්මි මෙහෙ වරෙන්… දැන් ඉතින් මේක ෂේප් කරලා දීපන් මට…”
අකිල කෝල් කරනවත් එක්කම නංගි දුවගෙන ආවෙ හිනාවේගෙන…
“අකිලයියා… මොකෝ වැඩේ සෙට්ල්ද…”
“මොන සෙට්ල්ද බං මේ ගොන් හරකි එක්ක… ඔන්න කියා දීපං මුල ඉඳන්…”
“අනේ අක්කෙ මේහ්… මෝඩියෙක් වගේ හැසිරෙන්නෙපා… තමුසෙ අවුරුදු ගාණක් තනියම දුක් වින්දෙ මෙයා නිසානෙ… ඒ ආදරේ බලන්න තමා අකිලයියයි මායි පොඩි ඇක්ට් එකක් දැම්මෙ… මේ විස්තර මං ගෙදර ගියාම අටුවා ටීකා එක්කම කියන්නම්… දැන්වත් අර යකාට කැමැත්ත දෙනවා…”
“ඒත් නංගි…”
“හරි හරි ඕයි … අවුරුදු දෙකනෙ… ඒක අවුලක් නෑ… ඒක තමුසෙලා දෙන්නට අවුලක් නැත්තම් අනිත් උන්ට මොකද… දැන්වත් මෝඩ විදිහට හිතන්නෙ නැතුව හරියට හිතලා තීරණයක් ගන්නවා…”
නංගි එහෙම කියලා යන්න ගියේ මාව අකිලගෙ ඇඟට තල්ලු කරලා…
“මොකද කියන්නෙ…ආ…”
“අනේ අකිල…”
“ආදරේද අහන්නෙ නෑ මං… දන්නවා ආදරේ බව…මට කියන්න තියෙන්නෙ අර තමුසෙ දවසක් කියපු කතාව වැරදියි…”
“මොකද්ද…”
“ඇයි දවසක් පාරෙදි මට බැන්නා නේද මල්සරාට වැරදිලා මට වැරදි ඊතලේකින් විඳලා කියලා…අන්න ඒක… ඒක තමා හරිම ඊතලේ … ඒකනෙ මේකි මෙච්චර අවුරුදු ගාණක් මං වෙනුවෙන් බලන් හිටියෙ… බලනවා දැන් මං තමුසෙට වඩා වයස පාටයි… මං ඒකමයි රැවුල වවන්නෙත්…”
අකිල කියද්දි මං හිනාවෙලා ඒ පපුවට තුරුල් වුණේ සැනසීමෙන්… තවත් නම් මේක හිතේ තියන් දුක් විඳින්න බෑ… ඕන දෙයක් වුණ දෙන් කියලා මං තීරණයක් ගත්තෙ අකිලගෙම වෙන්න…
අකිල මාව පපුවට තද කර ගත්තෙ සුසුමක් හෙලලා…
සමාප්තයි…
උපුටා ගැනීම: Sihina Hangum