යාන්තම් ඇස් ඇරෙද්දිම මං දැක්කේ සුදු පාට සිවිලිමක්. ඒ වෙද්දි මගෙ ඔලුව පැලෙන්න තරම් වේදනාවක් තිබුණේ. මොකද්ද අමුතු වෙනසක් දැනුන නිසා මං ඔලුව ටිකක් අතගාලා බැලුවා. එක කෙස් ගහක්වත් නෑ. ඒ වෙනුවට වැඩි හරියක තිබුණේ ප්ලාස්ටර්..
මට මොකද වුණේ කියලා කල්පනා කර කර ඉන්න අතරේ තමයි උස, මහත මිනිහෙක් මගෙ ඉස්සරහින් මතු වුණේ..
“මල්ලි මගෙ ත්රීවීලර් එකේ තමයි වැදුනේ. මතකද දන්නෑ..”
දැන් තමයි මට සිද්ධ වුණ දේවල් මතක් වෙන්න ගත්තේ. මං හිටියේ වැඩ ඇරිලා බෝඩිමට යන ගමන්. මගේ යාළුවෝ ටික අද රෑ පාටියක් දාන්න එනවා කිව්වා. ඒ එද්දි තමයි මේක වුණේ..
එක පාරට මොකද්ද එකක් ඇවිල්ලා කොන්දේ වැදුනා මතකයි. ඊට පස්සේ ඔලුව කොහෙ හරි වැදුනත් යාන්තමට මතකයි. එච්චර තමයි ඉතින්..
එහෙනම් මූ තමයි ඒක කරපු එකා..!
මට මිනිහ එක්ක පුදුම කේන්තියක් ආවේ. ඒක වැඩි කරේ මිනිහගෙ රස්තියාදු පෙනුමයි, ඉවරයක් නැති වාචාල කියවිල්ලයි. ඒ මදිවට අතේ ටැටූ එකකුත් ගහලා..
“මරුවා” කියන කෑල්ල විතරයි මට ඒකෙන් පෙනුනේ. මොනවා වුණත් ගැළපෙන ටැටූ එක. මූ මාරයෙක් ම තමයි..
“බොසා මොනවා හරි වෙන්න තියනවා නම් කියන්න. මං මේ සිහිය ආවා කියපු ආරංචියටමයි ආවේ..”
එහෙම කියපු මිනිහා යන්න ගියා..
මට ආපු කේන්තියට වචන එළියට ආවෙත් නෑ. මට මතක් වුණේ මගෙ යාළුවෝ සෙට් එක. උන් ටික මේ විස්තරේ දන්නෙත් නෑනෙ..
මං සාක්කුවට අත දැම්මේ ෆෝන් එක ගන්න. ඒත් ඒකෙ ෆෝන් එක තිබුණෙ නෑ..
එතකොට තමයි අර හයේ හතරෙ “මාරයා” ඩොක්ටර්ව එක්ක එනවා මං දැක්කේ..
ඩොක්ටර් ඇවිත් මට කතා කරනකන් මිනිහා එහා ඇඳේ මනුස්සයා එක්ක කතාවක්..
“දැන් කොහොමද ? මතකද මොකද වුණේ කියලා ?”
“ඔලුව වැදුනා මතකයි. ඊට පස්සෙ නම් මතකයක් නෑ..”
“හ්ම්.. දවසක්ම සිහිය නැතුව හිටියනේ.. ඕක ටික ටික හරියයි..”
මගෙ ඇස් උඩ ගියා..!
මෙතන දවසක් හිටියා නම් යාළුවෝ ටික බය වෙලාත් ඇති. මේ කොළඹ මං දන්න අඳුරන කට්ටියකට කියලා ඉන්නේ උන් විතරයි..
කොච්චර තද වෙලා හිටියත් ළඟ හිටියේ “මාරයා” විතරක් නිසා මං මිනිහට කතා කරා..
“මගෙ ෆෝන් එක..?”
“ආ බොසා ඒක මං ළඟ.. කෝල් 2,3 ක් ආවා. මං පස්සෙ ඕෆ් කරලා තිබ්බා..”
මට මිනිහා එක්ක තිබුණ කේන්තිය ඩබල් වුණා..
“කවුද මනුස්සයො ලයිසන් දුන්නේ ?
මෙහෙම මිනිස්සු හප්පන සිරිතක් තියනවද ?”
“ගනන් එපා බොස්. ළඟදි ඉඳන් බ්රේක් අවුල් කියලා තේරුණාට මොකද අතේ සල්ලි තිබුණෙ නෑ. කවුද හිතුවේ මෙහෙම සීන් එකක් වෙයි කියලා..”
මේ මනුස්සයා එක්ක කතා කරන සැරයක් ගානේ මගෙ කේන්තිය වැඩි වුණා විතරයි. ඒවා පොලිසිය එක්කම බලාගන්න හිතාගෙන මං ෆෝන් එක ඉල්ල ගත්තා..
අපේ උන් මාව කොහෙ කොහෙ හෙව්වද දන්නෑ. බලද්දි missed calls 26 ක්..!
26 ම ගෙදරින්. ගෙදරට නම් පස්සෙ මොකක් හරි බොරුවක් කියන්න පුළුවන් නිසා මං බැලුවේ මුලින් යාළුවෝ ටික ෂේප් කරගන්න..
බලද්දි පාටිය කඩාකප්පල් කරාට සුද්ද සිංහලෙන් අමතපු messages තුනක් තිබුණා. එච්චරම තමයි..
කෝල් ගත්තට එකෙක්වත් ඉස්සුවේ නෑ. ඊයෙ හයට එන්නම් කියපු මං කෝල් ගන්නේ අද හවස. කේන්තිත් ඇති මාත් එක්ක..
ඒත් අම්මට නම් මං ගැන තිබුණේ කේන්තියක් නෙමෙයි, බයක්. රෑ හරියට නින්ද ගියෙත් නෑලු. ඊයෙ වැඩ වැඩි වුණ නිසා කලින්ම නින්ද ගියා කියලා මං කෝල් එක කට් කරා..
මං කල්පනා කරේ අපි හරිනම් පාටි දාන්න ඕන යාළුවෝ එක්ක නෙමෙයි, කොන්දේසි නැතුවම අපි වෙනුවෙන් බලන් ඉන්න දෙමව්පියෝ එක්ක..!
තාම “මාරයා” මං ළඟ හිටගෙන..
“බොස් මොනවම හරි වෙන්න දෙයක් තියනවා නම් කෝල් එකක් දෙන්න. මං ගිහින් එන්නම්..”
එහෙම කියලා මිනිහ ගියේ මගෙ අතට පොඩි කොල කෑල්ලක් දීලා..
ඒකෙ නුහුරු විදිහට ලොකු අකුරෙන් “ඇන්ටන් අයියා” කියලා ලියලා, ඊට යටින් නම්බර් එකක් තිබුණා..
මිනිහා කොහොමත් මේ පැත්තේ අයියෙක් වෙන්න ඕනි. ඒකනෙ මාව හප්පලා, ඔලුව පලලත් ගානක් නැතුව කතා කරලා ගියේ..
දැන් මේ තට්ටෙයි, ප්ලාස්ටර් ටිකයි නිසා එලියට බහින්නත් මොකද්ද වගේ..
මගෙ එහා ඇඳේ හිටිය මනුස්සයා එක්ක මං පොඩ්ඩක් කතා කරලා බැලුවේ ඇන්ටන් කියන මිනිහා ගැන විස්තරයක් දැනගන්නත් එක්ක..
“අර ඇවිල්ලා ගිය මිනිහා මේ පැත්තෙ චන්ඩියෙක්ද ?”
මට ඇත්තටම දැනගන්න ඕන වුණේ ඒ මිනිහගෙ හැටිද නැත්නම් තියෙන චන්ඩිකමද කියලා..
“කවුද ඇන්ටන් අයියද ?”
“ඔව්.ඔව්.. හරි ප්රසිද්ධයි වගේ..”
“ඔව් මල්ලි. ප්රසිද්ධයි නම් තමයි. ඉස්සර පැත්තම හොල්ලගෙන හිටිය චන්ඩියෙක්. මේ පැත්තේ හිටිය මන්ත්රී කෙනෙක්..”
“එතකොට දැන් එහෙම නැද්ද ?”
“නෑ මල්ලි. අයියගෙ නෝනට පිළිකාවක් හැදිලා මැරුණා. එච්චර සල්ලි තිබිලවත් නෝනව බේරගන්න බැරි වුණ එක ගැන හිතලම අයිය වෙනස් වුණා..
“දැන් අයිය ප්රසිද්ධ, නෝනට පිං පිණිස ඉස්පිරිතාලෙට නොමිලේ සෙනග අදින මනුස්සයා කියලා..!”
ඒක ඇහුවම නම් මගෙ කේන්තිය ටිකක් අඩු වුණා..
“පුදුමෙ කියන්නෙ මල්ලි, ඔය අයිය මන්ත්රී කාලේ සුදු ඇඳලා පාරට බැස්සෙ උපාසක වගේ. හැබැයි කරේම මැරකම්. දැන් අයිය ඉන්නේ මැරයෙක් වගේ. ඒ උනාට කරන්නේ පුදුම පිං අතේ වැඩ..”
“පෙනුම නම් මැර පාටයි තමයි අයියේ..”
“මිනිස්සුන්ව පිටින් බලලා මනින්න බෑ මල්ලි..”
“අයිය ඇන්ටන් අයියව හොඳට අඳුරනව වගේ ?”
“මෙහෙ ඇන්ටන් අයිය කිව්වම නොදන්න කෙනෙක් නෑ මල්ලි. මළ ගෙදරට උනත් දැනටම සෙනඟ පිරිල ඇති. මේ කරුම තුවාල නොවෙන්න මාත් දැන් එහේ..”
“මළ ගෙදර කිව්වේ අයියේ ?”
“ඇයි මල්ලි දන්නැද්ද ? ඊයෙ මල්ලිව බේරන්න කියලා පාරට කපලා ලොරියක වැදිලනේ. ඇන්ටන් අයියා නම් එළියට විසි වෙලා. ඒත් පොඩි එකා එතනමයි මල්ලි..!”
තව මොන මොනවද එහා ඇඳේ මනුස්සයා කිව්වත් මට ඒවා ඇහුනේ නෑ. තමන්ගෙ දරුවගෙ මළ ගෙදර ඉඳන් ඒ මනුස්සයා ඇවිත් තියෙන්න මාව බලන්න..
මං ඒ කිසිදෙයක් ගැන හොයලා බලන්නෙ නැතුව ඒ මනුස්සයාට කතා කරපු විදිහ ගැන මට ම ලැජ්ජා හිතුනා..
මං ඇඳෙන් බැහැලා දිව්වේ ඩොක්ටර් හොයාගෙන, විස්තරේ අහගන්න..
“මෙහෙට ගේනකොටත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. ඇන්ටන් හිත හයිය මනුස්සයා. කොහොම හරි දරාගනී..!”
එහෙම තමයි ඩොක්ටර් කිව්වේ..
ඒත් ඒක දරාගන්න තරම් මගෙ හිතේ නම් හයියක් තිබුණෙ නෑ. මට “මාරයෙක්” විදිහට පෙනුන “දේවදූතයා” වෙනුවෙන් මගෙ ඇස් වලින් කඳුළු වැල් කඩා වැටුනේ මටත් නොකියමයි..
මං හීනෙන් වගේ ඇවිත් ආයෙත් ඇඳෙන් ඉඳ ගත්තා. ඒක දැකලා එහා ඇඳේ මනුස්සයා මං ළඟට ආවා..
“මල්ලි මේවට හිත නරක් කරගන්න එපා. ‘ඇන්ටන් මන්ත්රීතුමා’ කරපු සමහර දේවල්වල විපාක තමයි අද ඔය ‘ඇන්ටන් අයියට’ විඳින්න වෙලා තියෙන්නේ. හැබැයි ඇන්ටන් අයියා කරපුවට විපාක දෙන දවසකුත් එයි..”
“මන්ත්රීතුමා මාරයා උනාට මොකද, ඇන්ටන් අයියා දෙයියෙක් මල්ලි..!”
—————————————————————
දෙවියන් වැනි මිනිසුන්වත්,
මාරයන් වැනි මිනිසුන්වත්,
මේ මිහිපිට නැත..
ඇත්තේ “මිනිසුන්” පමණි..
නමුත් ඒ සෑම මිනිසෙක් තුළම “දෙවියෙක්” මෙන්ම “මාරයෙක්” ද ඇත..
අවාසනාව නම්,
ඔබ තුළ ඇති මාරයා කරන ඇතැම් දේට, ඔබ තුළ ඇති දෙවියාටද දඬුවම් විඳින්නට සිදුවීමයි..!
උපුටා ගැනීම: ඉෂාන් ජනිත් දිසානායක