කාලයක් ඩාන්සින් මගේ ජීවිතේ වෙලා තිබ්බ, මම ඩාන්සින් කරන්න පටන් ගත්තෙ කැම්පස් අවුට් වෙලා M Philඑක කරද්දි බලපු අපේ ඩිපාට්මන්ට් එකේ හිටි ටානියා රෙකමන්ඩ් කරපු “Shall We Dance” කියන චිත්‍රපටිය බලල, ඒකෙ තිබ්බ ජෙනිෆර් ලෝපේස්ගෙයි රිචඩ් ගියර්ගෙයි ඩාන්ස් වලට මම පට්ටෙට ආසා කලා. ඉතින් කල් දම දමා ඉන්නෙ නැතුව මමත් ගියා නුගේගොඩ පන්තියකට, ලැටින්, බෝල් රූම් වගේ ඩාන්ස් තමා ඉගෙනගත්තෙ, ඉතින් අවුරුදු දෙකක් විතර මම ක්ලාස් ගියා, ඒ වුනාට අපේ අම්මගෙ අත කැඩුණු නිසා මට ක්ලාස් මිස් වුනා, කොහොමහරි මට අවුරුදු දෙකක් විතර ඩාන්සින් මග හැරුණා.ඒ කාලෙ ඉතින් ඒ කිව්වෙ ඩාන්සින් කරන කාලෙ හරියට පෙනුම ගැන සැළකිළිමත්, බොන්නෙම පිරිසුදු පළතුරු බීම
.
මම ස්වභාවයෙන්ම කැත මිනිහෙක්, ඉතින් ක්ලාස් එකේදි සමහර ගැහැණු ලමයි මාත් එක්ක නටන්න එන්නෙ නෑ, එයාල නටන්නෙ ලස්සන කොල්ලො එක්ක, ඉතින් මටත් මගේ ජීවිතේට ප්‍රතික්ෂේප වීම් හොඳට පුරුදුයි. ඉතින් ඒ හින්ද මම හැමතිස්සෙම නටද්දි තෝරගත්තෙ කොල්ලො රිජෙක්ට් කරන ඇන්ටිලා. ඒ මිනිස්සුන්ටත් මට දැනෙන හැඟීමම දැනෙනව ඇති කියල මට හිතුණ. ඉතින් සාමාන්‍යයෙන් ඩාන්සින් ක්ලාස් එකේදි පිරිමියා තමයි ගිහිල්ල ගෑණු කෙනාව තෝරගන්නෙ, ඉතින් මම එහෙම සමහර කෙල්ලො ලඟට යද්දි උන්ගෙ මූණු ඇඹුල් වෙනව, මට ඒක දැනෙනව, ඉතින් ඒ හින්දම මම ඇන්ටිල ගාවටම ගියා. ඒ මිනිස්සුන්ට හැබැයි හරි සතුටුයි.ඉතින් මට ඒකත් දැනෙනව. සමහර වෙලාවට මට ඩාන්සින් ක්ලාස් එක එපා වෙනව. මොකද මම නටන ඇන්ටිල ඒ වගේ තව හොඳ කෙල්ලො දෙතුන් දෙනෙක් හිටිය, එයාල ක්ලාස් ආවෙ නැති උනාම ඉතිරි වෙලා ඉන්න අර මල සමයන් කෙල්ලො ගාවට මම යන්නෙ නොයා බැරිකමට. හැබැයි මම වැඩේ අල්ලගත්ත, දෙපාර කරකවනකොට කෙල්ලන්ට දැනෙනව මගේ ජවය. ඒත් ඉතින් මම වැඩිය යන්නෙ නෑ, ලස්සන කොල්ලො එක්ක නැටුවට උන් කැඳයො වාගෙ, බොඩිබිල්ඩර් කොල්ලොත් ඉන්නව, උන් නටන්නෙ සරඹ කරන්නා වාගෙ, ඒ නැටුමට ඕන කරන ජීවය උන්ගෙ නෑ, ලාලිත්‍යය ගෑවිලා නැහැ.
.
ඉතින් මම ඕස්ට්‍රේලියා ආවනෙ, මෙහෙ ඩාන්සින් ක්ලාස් තියෙනව ඇති පදම්. එදා මම නිවාඩු දවසක් නිසා කාර් එක ගෙදර තියල පයින් ඇවිදින්න ගියා. ගෙදර ඉඳන් අඩි සීයක් යන්න වුනේ නෑ පාරෙ බෝඩ් එකක් ගහල තියෙනව දැක්ක. “Learn to Dance, Saturday 1.30pm” කියල, මාත් ඉතින් දෙවාරයක් නොහිතා ගියා….
.
මේක ගෙදරක්, නාකි මනුස්සයෙක් තමා ඉගැන්නුවෙ. පිලිපීන කෙල්ලෙකුයි, ඒකිගෙ සුදු කොල්ලය තව නාකි මනුස්සයෙකුයි වයස හතලිස් පහක විතර ගෑනු කෙනෙකුයි තමා පන්තියෙ හිටියෙ. පැයට ඩොලර් පහලොවයි.
.
මාත් ඉතින් ගුරා කියල දෙනකොට ඒව අල්ලන් නැටුව. අවුරුදු ගානකට පස්සෙ නිසා කිසිම ස්ටෙප් එකක් මතක නෑ. නමුත් මම නටද්දි ඒ ජවයයි ලාලිත්‍යයයි නිකම්ම එලියට ආව, මට තේරුණා ගුරා මාව ටිකක් නෝට් කරනව කියල, පස්සෙ ගුරා ඇහුව උබ කොහෙද කලින් නැටුවෙ කියල, මම කිව්ව මම ශ්‍රී ලංකාවෙ ඩාන්සින් ක්ලාස් එකකට ගියා, ඒක මට නවත්තන්න වුණා, අවුරුදු ගානකින් පස්සෙ මේ ආයෙ නටන්නෙ කියල. ඌ ඉතින් මට විශ් කරල හොදට කරගෙන යන්න කිව්ව.
.
පිලිපීන කෙල්ල නැටුවෙ එයාගෙ සුද්දා ඒ කියන්නෙ කොල්ලා එක්කමයි. මට සෙට් උනේ අර වයසක ඇන්ටි. එයාගෙ නම ඇලිස්. හරිම කරුණවන්ත කෙනෙක්, ඉතින් එයාට ස්ටෙප් පැටලෙනව, මං ඉතින් එයා එක්ක නටද්දි ඊළඟ ස්ටෙප් එක කියනව, එතකොට එයා ගානට නටනව, අර නාකි මනුස්සයට නම් ගෑණු කෙනෙක් හිටියෙ නෑ, මම ඇලිස්ව එක පාරක් නටල එයාට දුන්නම එයා කිව්ව කමක් නෑ කියල. ක්ලාස් ඉවරවෙලා පන්තියෙ ගුරා වෙච්චි රොන් කිව්ව, අද Saturday, අපේ පාටි එකක් තියෙනව, මුලු රෑටම යන්නෙ ඩොලර් 15යි, උඹත් වරෙන් කියල, මම කිව්ව මම කල්පනා කරල බලන්නම්, මේ දවස් වල මට හරිහමන් ජොබකුත් නැති නිසා මම වියදම් අඩු කර කර ඉන්නෙ කියල, ඇලිස් නම් යනව කිව්ව. මම පන්ති ඉවරවෙලා පයින්ම ගෙදර ආවා.
.
ගෙදර ආපු හැටියෙම මම ඇඳට පැන්න. ඒ ඇඳට පැන්නෙ නිදාගන්න. එතකොට නින්ද ගිහිල්ල මට පාටිය මිස් කරගන්නයි ඕන වුනේ. ඒත් මොන නින්දක්ද? නින්ද ගියෙම නෑ. පස්සෙ ඕන මගුලක් වෙද්දෙන් කියල මම හයට විතර ලෑස්ති වුණා. නාල සෙන්ට් ගහල ක්‍රීම් ගාල දත් මැදල ලෑස්ති වුණා. ඒව ඩාන්සින් ක්ලාස් එකකට යද්දි අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල්, කොටින්ම එව්ව නීති….
.
මම ක්ලාස් එකේ මැප් එක ගූගල් මැප් කරල කාර් එකට නැග්ගා. පැය බාගෙකින් මම එතනට ගියා. එතනටඑන හැමෝම කන්න මොනාහරි ගේන්න ඕනෙ, පස්සෙ ඉන්ටවල් එකේදි ඒව බෙදාගෙන කනව. මම අමාරුවෙන් පාකින් පොට් එකක් හොයාගෙන පයින්ම ලඟම තියෙන KFC එකට ගිහිල්ල ඩොලර් 12කට විතර තියෙන අටමගල් 3ක් ගතත. මෙහෙ ලාබම කෑම තියෙන්නෙ KFC, Mc Donalds කඩවල්වල.
.
ඔන්න මම හෝල් එකට ගියා. මාව රෙජිස්ටර් කලාට පස්සෙ මම ගිහිල්ල එතන තිබ්බ පුටුවක වාඩි වුණා. ඉතින් ඒ වාඩිවෙච්චි තැන් ගෲප් කරල තියෙන්නෙ ක්ලාස් තියෙන පලාත් අනුව, මම වාඩි වුණේ Blackwood කියන මේසෙ.
.
ක්ලාස් එකේ හිටි ගෑනු පිරිමි ඔක්කොම පාහේ වයස හතලිස්පහ පැනපු ඈයො. හැබැයි ලස්සන ඇගවල්. ගෑනුපිරිමි දෙපැත්තම. කාලයක්ම ඩාන්සින් කරනකොට ඇඟවල් හැඩ වෙනව, කොටින්ම ඒ මුලු හෝල් එකේ ඒ වෙලාවෙ තරුණ කොල්ලෙක්ට හිටියෙ මම විතරයි. ඉතින් මගේ මේසෙ මට සෙට් වුනේ ඩාන්සින් ටීච කෙනෙක්, නම Katrina. කියවනව කියවනව ඉවරයක් නෑ, හැබැයි හරිම හොඳයි. කොටින්ම මම අලුතෙන්ම ආපු හින්ද සුද්දො සුද්දියො සේරෝම මට හොඳට සැලකුව, උන් බෝතලුත් ගහ ගහ හිටිය, මටත් කතා කලා, මම ඩ්‍රයිව් කරන්න තියෙන නිසා බිව්වෙ නෑ.
ඔන්න ඉතින් නැටුම් පටන් ගත්ත. නැටුම් පටන් ගද්දි අදාළ ඩාන්සින් ස්ටයිල් එක කියනව. ඒකට නටන්න ඕනෙ, ඉතින් ඔය ඔක්කොම මම ඉගෙනගෙන තියෙන ඩාන්ස් නිසා මට අවුලක් වුනේ නෑ, හැබැයි ස්ටෙප්ස් මතක නෑ, නමුත් වැඩේගොඩ දාගන්න පුලුවන් වුණා. මෙතනදි මාව ලංකාවෙ වගේ ප්‍රතික්ෂේප වුනේ නෑ, හැමෝම මා එක්ක නැටුව. මට ඒකට නම් අවංකවම සතුටු හිතුණ.මේ අතරෙ ක්ලාස් එකට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා. කොල්ලා තඹ පාට කොන්ඩයක් තියෙන චබ්බෙක් වගේ එකෙක්, කෙල්ලත් බෝනික්කියක් වගේ, ඒ අතරෙ ඇලිසුත් ආවා. මම ඉතින් හැමෝ එක්කම නැටුවා. Katrina, වෙනමම මාව අල්ලගෙන මට නැටුම් කියල දුන්න, සමහර නැටුම් නටන්නෙ ඔක්කොම එකට ඒකෙදි පිරිමි රවුමක් හැදෙනව, ගෑනු ඊට පිටින් රවුමක් වගේ හැදෙනව, ගෑනු ටික පිරිමි මාරු කර කර ඉස්සරහට යනව, පිරිමින්ට තියෙන්නෙ එන එන ගෑනු කෙනා එක්ක නටන එක විතරයි. ඉතින් මේ ඩාන්සින් ස්ටයිල් එක 3Sටෙප් කියල එකක්, ඉතින් මම ඒක දන්නෙ නෑ, මම ලගට ආපු ගෑනු ඔක්කෝටම මම සින්දුවෙ තාලෙන්ම “I DONT KNOW” කියල උන්ව කරකවල අරිනව. නමුත් මැදක් යද්දි මට ඒක පුලුවන් වුනා,
.
ඔන්න ඔහොම ගෑනු මාරුවෙලා යද්දි අර බෝල බතලයගෙ කෙල්ල ආවා, මම ලස්සන දැක්කෙ එතකොට, ඇත්තටම රෝස මලක් වාගෙ ලස්සනයි. ඇඟත් හැඩයි. මම ඉතින් එයාවත් “I DONT KNOW” කියල සුපුරුදු විලාසෙන්ම කරකැව්ව. එයාට හිනා, එයා මාරු වෙද්දි “YOU ARE GOOD” කියල කිව්ව.
.
ඔන්න ඉතින් ඉන්ටවල් එක ආවා. අපි ගෙනාපු කෑම සේරෝම මේසෙකට අඩුක් කරල තිබ්බ, මාත් ඉතින් එක එකෙන් අරන් දීල ඇද්ද බඩ පැලෙන්න. මම ඉතින් කොන් වෙලා වාගෙ කෑවෙ, එතකොට ගොඩක් කන්න පුලුවන් නිසා. පට්ටම බඩගිනියි. කොහොමහරි අර කෙල්ල කොල්ලත් ඇදගෙන මාව හොයාගෙනම ආවා. කොල්ලා නම් කැඳයා, මට ඌ කෙල්ල කරකවද්දිම තේරුණා. ඉතින් උන් දෙන්නම කතා කලා මා එක්ක, කෙල්ල ටීච කෙනෙක්ලු, කොල්ලා එකවුන්ටන් කෙනෙක්, මං ඉතින් මගෙ විස්තරත් කිව්ව. කෙල්ල ඉතින් ෆුල් හොල්මන්, කියවනවා කියවනවා ඉවරයක් නෑ. කතාව නවත්තන්නෙත් නෑ, ඉතින් මට නවත්තන්න හිතෙන්නෙත් නෑ, එයා මාව නිරීක්ෂණය කරනව, මම එයාව නිරීක්ෂණය කරනව
.
ඉන්ටවල් එකෙන් පස්සෙ අපි ආයෙ නටන්න ගියා. ක්ලාස් එකේ සර් මට කිව්ව, ඇලිස් තනිවෙලා ඉන්නෙ ඇලිස් එක්ක නටන්න කියල. මම හා කිව්වට මගෙ අවධානෙ යොමු වෙලා තිබ්බෙ අර කෙල්ලට, ඉතින් ඔන්න ඊළග ඩාන්සින් ස්ටයිල් එක අනවුන්ස් කලා, ඒක “CHA CHA CHA” කියල එකක්, මට ඒක හොඳටම පුලුවන්, hip movements ඒ කියන්නෙ උකුළ පද්දල හරි ලස්සනට නටන නැටුමක් ඒක, ඇත්තටම කියනවනම් ඒක පට්ටලස්සන නැටුමක්, ඔන්න ඒක නටද්දි අර කෙල්ල මට සෙට් වුණා, මාත් ඉතින් ඇරියෙ නෑ කරකවල ඉන නටෝල සුපිරියටම දැම්මා වැඩක්, මෙයාට හෙණ ආසයි ඉතින්. කොටින්ම ඒ වෙලාවෙ අපේ රසායනය ඒ කියන්නෙ Chemistry එක හොඳට ගැළපුණා, ගොඩාක් අය බලන් ඉඳල අපි නැටුම නවත්තනකොට අත්පුඩිත් ගැහුව, ඒ විනාඩි කීපයේම මගේ ඇස් එයාගෙ ඇස් වලත් එයාගෙ ඇස් මගෙ ඇස් වලත් නැවතිලා තිබුණ. පස්සෙ නැටුම ඉවර වුනාට පස්සෙ මම සුපුරුදු විදියට ආචාර කරල එයාට සමු දුන්න, බෝල බතලයා පැත්තකට වෙලා බලන් ඉන්නව
.
ඔන්න ඊට පස්සෙ මට ඇලිස් එක්ක නටන්න වුණා. ඒ අපේ ගුරා මට ආඋඑමත් කියපු නිසා, මොකද ඇලිස් පන්තියට ආපුම ගමන් වුනාට මම වගේ එතන මිනිස්සු එක්ක socialize උනේ නැහැ. එක සින්දුවයි නටන්න වුනේ අරයා දුවගෙන දුවගෙන ආපහු මාත් එක්ක නටන්න ආවා.
.
“Can you do RUmBA?”
.
“Of course I can”
.
RUMBA කියන්නෙ ආදරයේ නැටුම, The dance of love, මේක Cha Cha Cha වලම ව්‍යුත්පන්නයක් වුනාට පොඩි පොඩි වෙනස්කම් තියෙනව, මම ඒකත් ඇරියෙ නෑ. අරයාගෙ සතුට දෝරෙ ගලනව, අර කොල්ලා පැත්තකට වෙලා බලන් හිටිය. ඌට හති. ඔන්න ඉතින් භාවනාව, ඇත්තටම කියනවනම් අපි දෙන්නට දෙන්න ඒ වෙලාවෙ දෙන්නටම වහ වැටිළ, ඒ අතරෙ කෙල්ල උන් ජනවාරියෙ බඳින්න ඉන්නෙ කියලත් මට කිව්ව, හැබැයි අපි දෙන්නගෙ මාර ආකර්ශනයක් එවෙලෙ තිබ්බ. මටත් හරී ආස හිතුන, කරකවනකොට අරයා ඇඳල හිටිය ගවුම පැද්දෙනව, අනික රෝස මලක් වාගෙ ඒ කෙල්ලත්. මම සුද්දො සුද්දියො අනන්ත දැකල තියෙනව හැබැයි මේ වගෙ කෙල්ලක් නම් මම දැකල තිබ්බෙ නෑ කවදාවත්, එයාට පුදුම මගෙ ජවයට්, අරූ කැඳයා වාගෙ කරකවන කරකැවිල්ලෙයි, මම කරකවන කරකැවිල්ලෙයි පැහැදිලි වෙනසක් ඇති වග දැනෙන්න ඇති. එයාගෙ කොන්ඩෙත් සුවඳයි, අත පයත් රෝස පෙති වගේ සිනිදුයි
..
පස්සෙ අපි පොටෝ එකකුත් ගත්තා. ඊට පස්සෙ ඒ කෙල්ල එයාගෙ කොල්ලා එක්ක නැටුවා. ඒත් සැරින් සැරේ අපි අතරෙ ඇස් බැලුම් හුවමාරු වුණා. නටනකොටත් ඉතින් බැලුම් හුවමාරුව
.
ඊළගට තිබුණෙ මම නොදන්න ඩාන්ස් එකක්, මම වාඩිවෙලා හිටපු මේසෙට ඇවිල්ල වාඩි වුණා. මෙච්චර වෙලා Catrina මගෙ දිහා හොඳ නෝට් එකේ බලාගෙන ඉඳල තියෙනව.
.
“මුළු ඩාන්සින් ෆ්ලෝ එකේ හිටපු සුපිරිම කෙල්ල උබ කොහොමහරි ටැකල් කලා නේ”
.
මම ලැජ්ජාවෙන් හිනාවුණා
.
මම කැමතී එයාට
.
මම එහෙම කිව්ව.
.
Go on go on.
.
Catrina එහෙම කිව්ව.
.
ඔන්න ඉතින් නයිට් එක ඉවර වෙන්නත් ආවා. එයා මගෙ දිහා බලල උරිස්සට ස්වීටරයක් දාගෙන යන්නම් කිව්ව මාත් ලඟටම ගිහිල්ල දෙන්නටම ගුඩ්නයිට් කියල සුබ පැතුව. යන්නම් කිව්වට එයාට යන්න හිත නෑ, මටත් හිත නෑ, කොල්ලත් ඇඹලයා වගේ එයා ගාවම දැවටෙනව. ඔන්න ඉතින් ඒ ජෝඩුව පිටවෙලා ගියා.
.
එයා ගියාට පස්සෙ මට එතන ඉන්න හිත දුන්නෙ නෑ මාත් Catrina ටයි Alice ටයි අනික් සුද්දො සුද්දියොන්ටයි කියල එතනින් ආවා. ගෙදරට ඇවිල්ලා මම අම්මාට කෝල් එකක් ගත්. එයාට විස්තරේ කිව්ව ඉතින්, එයා ජනවාරි බඳින බවත් කිව්වම අම්ම ගත්තු කටටම කිව්වෙ…
.
“මගුල කැඩුණොත් හොඳයි ඔයාට බලමු ඕකුන් කියන්න බෑ” කියල
.
ඒ කෙල්ල එක්ක නටපු ටිකට අපි දෙන්නගෙ ආකර්ශනය උපරිමේටම තිබ්බ, එයාත් වීනස් වාගෙ ලස්සනයි, fb එකේ පොටෝ දැම්ම මම, පොටෝ වලට ලස්සන පේන්නෙ නෑ, අනික මාව ගොඩාක්ම කැතට පේනව අරුන් ලස්සන නිසා. ඉතින් මම එදා මුළු රෑම හිත හිත හිටියෙ එයා ගැන, මම උදේ නැගට්ටෙ ඒ ජෝඩුව ඉන්න ඩාන්සින් ක්ලාස් එකට යනව කියල හිතාගෙන, ඔන්න ඒත් එක්කම මට කෝල් එකක් ආවා, රස්සාවකට, පහුවදා ඉඳන් තමා යන්න ඕනෙ, දැන් ඉතින් මොනා කරන්නද මම ගෙවල් කුළී හෙම බේරලා අඳුනන දෙතුන් දෙනෙකුට කතා කරලා මම දැන් මේ ඉන්න පලාතට ආවා. එදත් එදායින් මට කවදාවත් ආයෙ ඩාන්සින් ක්ලාස් එකකට යන්න තවම ලැබුණෙ නෑ, ඒත් මේ ෆොටෝ එක දකිනකොට එදා ඒ හැන්දෑවෙ තිබ්බ මිහිරියාව තාමත් මතක් වෙනව, ඇත්තටම දැන් මට හිතෙන විදියට ජීවිතේට සතුට ලැබෙන්නෙ අතේ සතයක් වත් නැතුව අන්ත අසරණ වෙලා ඉන්න කාලවල. දැන් මට ඩාන්සින් ක්ලාස් යන්න සල්ලි තියෙනව, ඒත් කොයින්ද වෙලාවක්, ඉතින් ඒ කෙල්ල ජනවාරියේ අර කැඳයාව බඳින්න ඇති කියල මම හිතනව, හැබැයි තාමත් මම ඇඩිලේඩ් පැත්තෙ එයාගෙ ගම් පලාතෙ යද්දි හොයනව, කොහෙ හොයන්නද අප්පා මෙහෙ
උපුටා ගැනීම: Rocky Shanaka