බොඩිගාර්ඩ් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අත්තම්මාගෙ වචනෙන් කියනවනම් එ් මගේ මස්සිනාලා. අපරාදෙ කියන්න බෑ අැවැස්ස මස්සිනාලා දහයකටම හිටිය එකම නෑනලා දෙන්නාගෙන් ලොකු එකා වෙච්ච මට මේ මස්සිනාලා දෙන්නා වැඩි වුණේ නෑ අායුබොවන්ඩ. 😍
වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නෑ කියලා අාඩම්බරෙන් කතා කරන සමහරු ඉන්න මේ කුරිරු සමාජෙ මගෙ මේ මස්සිනාලා දෙන්නා අපෙ අප්පච්චි පස්සෙන් හැමදාම ඉස්කෝලෙ යන එක නවත්තන එක තමයි අප්පච්චි පෙන්ශන් යනකල්ම අපෙ ගෙදර මිනිස්සුන්ට උදෙන්ම අත ගහන්න වුණ ලොකු ම අභියෝගෙ. එ්වා ඔය නෙස්ටමෝල්ට් බීලා දවස පටන් අරන් කරන එ්වා වගේ නෙවෙයි ඊට වඩා ගොඩක් අමාරුයි. දම්වැලක් දාලාවත් තනියම අාම් බාම් කරන්න අමාරු මේ ජෝඩුව උදේම කූඩු කර ගන්න බැරි වෙන දවස් වලට අප්පච්චි ඉස්කෝලෙ ඉඳන් ආපහු එක්කන් එන්නෙ නිකන්ම නිකන් ගෝනි ලණුවකින් ගැට ගහන්. ඔව් ඉස්කෝලෙ ගිහින් එ් තරම් හැදියාව මෙයාලගෙ.
හරි හරි මේ කියන්නෙ අපෙ ගෙදර හිටිය දඩෝරියො දෙන්න ගැන තමයි. එකෙක් තනිකරම සිංහල අනිකා ටිකක් විතර ඉංගිරිසි. එක කුස උපන් අයියයි මල්ලියි වුණාට මොකද මේ දෙන්නා වෙනස් වුණේ හමේ පාටින් විතරක්ම නෙවෙයි. හැසිරීම, ගති ගුණ, ශරීර ප්රමාණය ගත්තත් මේ දෙන්නා එකිනෙකාට වෙනස්. සමානයි කියලා තිබ්බෙ අඟල් දෙකක් විතර දිගට තිබ්බ නැටි කොට දෙකයි සහයෝගයෙන් එකතු වෙලා කරන නසරානි වැඩ ටිකයි තමයි.
ඉස්සර අපෙ අම්මා මුන් දෙන්න හැදුවට වඩා හොඳයි බලු පැටියෙක් හදා ගත්තානම්.. අඩු ගානෙ නැට්ටවත් වනයි කියලා බැන්නට මොකද හොයා ගත්ත බලු පැටවුන්ගෙත් නැට්ට තිබ්බෙ අඟල් දෙකක් විතර දිගට නිසා උන්ට එ්ක වනා ගන්න අමාරුයි. 😆
කලූ කියන්නෙ ඉතිං බොහොම ලෙංගතු සිරියාවන්ත බව්වෙක්. වැඩි සෙනේ දබරෙටයි කියන්නා වගේ මෙයා වැඩි පුරම බැණුම් අැහුවෙ මේ ලෙංගතුකම ඉහවහා ගිය නිසාම තමයි. කිසිම කෙනෙක්ට හිංසාවක් නැති අහිංසකයා වුණාට මොකද අපෙ ගෙදරට එන නාදුනණ අය වැඩිපුරම බය කලුවට. අැයි ඉතිං මෙයා අාදරේ වැඩි කමට සද්දෙට අායුබොවන් කියන් ගිහින් කෙලින්ම උරහිස් දෙකට හරි ඉනට හරි අත් දෙක තියලානෙ පිළිගන්නෙ. ඉතිං කලූගෙ මේ සද්දෙට කවුරුත් බයයි.
අනිත් කෙනා බ්රවුනි. බුරන බල්ලා සපා නොකයි කෙසේ වෙතත් බුරන්නෙ නැති බල්ලා සපා කයි කියලා පසක් කරමින්, කලූ ඉතා කුලුපගව පිළිගන්න නන්නාදුනන අමුත්තන්ව කතා කරන ටොන් එක අනුව වෙන් කරන් සපා කනවද නැද්ද කියලා තීරණය තනිවම ගන්නෙ බ්රවුනි. බෝල ගෙඩිය වගේ මහතට කවුරුත් දැක්කම අාස හිතෙන හුරතල් පෙනුමක් තිබ්බට මොකද බ්රවුනි කියන්නෙ පෙනුමෙන් පේන තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියලා ගෙදරට එක පාරක් හරි අාපු හැම කෙනාම වගේ දන්නවා.
බ්රවුනි කියන ඔිනම දේකට හා හරි අපි එහෙම කරමු කියලා හතර පයින්ම එකඟ වුණ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සහයක ඩැනී කෙනෙක් වෙච්ච කලූ වැඩිමනක්ම බැණුම් අැහුවෙ බ්රවුනි අරම්භ කරලා කලූට භාර දීලා ගියපු කර්තව්යයන් ඉත සිතින් ඉටුකරන්න ගිහින්ම තමයි. පවු අසරණයා. මොන හේතුවක් හන්දා හරි අත්තම්මාගෙ අාදරේ වැඩිපුර දිනා ගත්ත බ්රවුනි මොන නසරානි වැඩේ කලත් හොඳ එකා වෙන්නෙ, කරන මගෝඩිය අත්තම්මාගෙ අතටම අහු වෙද්දී එ්ක කර කර ඉන්න අසරණයා වෙන්නෙ කලූ නිසා.
හැබැයි ඉතිං මේ මොන නසරානිකම් කරත් මේ දෙන්නම අපෙ අප්පච්චිටයි මටයි පණ අැරලා. ඉඳ හිට හරි ගමේ කඩේට යද්දී කරුමෙට මේ දෙන්නා කූඩුවෙන් එලියෙ හිටියොත් එදාට ඉතිං හමුදා අාරක්ෂාව යටතේ කඩේට ගියා වගෙ තමයි. මගෙ දකුණු පසින් බ්රවුනිත් වම් පසින් කලුත් ගමන අරම්භ කරන අතර පළමු විනාඩියෙන් පසු එළඹෙන සෑම විනාඩියකදීම දෙදෙනා පැති මාරු කර ගනියි. ගමේ කාටත් සුලබ දසුනක් වූ මේ අාරක්ෂකයින් පිරිවරන් මගෙ කඩේ යාම හැමදාම කාගෙන් හරි අළුත් කතාවක් අහ ගන්න තරම් වාසනාවන්ත වෙනවා. 😑
එ්වනම් මොනාද… හොඳම දේවල් වෙන්නෙ අප්පච්චිලාගෙ ඉස්කෝලෙ උත්සවයක් තියෙන දවසට මේ දෙන්නව කූඩුවට දා ගන්න බැරි වුණාම. උත්සව සභාවෙ විදුහල්පති තුමාගෙ පුටුව දෙපසින් ලස්සනට වාඩි වෙන මේ ඩබල විදුහල්පති තුමා කතාව පවත්වන්න ස්ටේජ් එකට නගින විට දෙපසින් ගිහින් කතාව අවසන් වන තුරු ඔසිට්රම් එක දෙපසින් සිට නැවත එතුමා අසුන් ගත් විට සාමකාමීව අැවිත් අාසනය දෙපසින් අෑඳි ගනියි. කඩේ යන විට මගෙ බොඩිගාර්ඩ්ලා වෙච්ච මේ ඩබල දැන් ලොකු සර්ගෙ බොඩිගාර්ඩ්ලා වෙති. මොකද ඉතිං උත්සව සභාවෙදි දුප් බ්රවුනි ගෙදර කියන්නයැ. අනික ඉතිං එ් වෙලාවට ගෝනි ලණු හොයන්නෙ කොහෙන්ද? 😂
කොහොමින් කොහොම හරි මුන් දෙන්නා කරන වැඩ වලට කිසිම අදාළත්වයකින් තොරව වැඩියෙන්ම බැණුම් අැහුවෙ මම. දිගටම ගෙදර ඉන්න කාලෙනම් කමක් නෑ කොළඹ ඉන්න කාලෙ සති අන්තෙ ගෙදර අාවමත් මුළු සතියකම මුන් දෙන්නගෙ මජර වැඩ වලට දවස් දෙකක් ගෙදර ඉන්නකල් බැණුම් අහන්න වුණේ මට. අැයි ඉතිං කට වචනෙට හරි මේ මගේ මස්සිනාලානේ. 😁
මොන මගඩි වැඩේ කළත් මේ දෙන්නට කියන දේ හොඳට තේරෙනවා. බව්වෙක්ට වචන දෙසීයක් විතර මතක තියා ගන්න පුළුවන් කියලා මම එ් කාලෙ කොහෙදි හරි කියවලා ඔික ගෙදරදි කියද්දි අපෙ ඉසුරු මලයා කිව්වෙ අනිවා මගෙ නම නම් මතක අැති කියලා. මොකද උදේට මේ දෙන්නා කූඩුවට දාන්න නියම වෙලා තිබ්බෙ මල්ලිට. අම්මා ඉතිං උදේට ඉසුරූ…. පුතා…. කියද්දි බලු ජෝඩුව කොහෙන් ගියාද නෑනෙ.
අනික ගේ අැතුලෙ අපි කතා වෙන එ්වටත් කන දාන් ඉන්නවා කියලත් අපිට හොඳට දැනිලා තිබ්බේ. එ් මොකද අපි කතා බහ කරන දේට සම්බන්ධ හැසිරීම රටාවක් තමයි මේ දෙන්නා ඊළඟ දවසෙදි පෙන්නන්නේ. හරියට මේ සිද්ධි වගේ…
දවසක් අප්පච්චි මොකක් හරි වැඩකට ගේ පෙරලන් පැතලි කිරි හට්ටියක් හොයනවා. දවල් වරුවේ කූඩුවට වෙලා සැපේ නිදන් හිටියට මොකද ගෙදර අැතුලේ මේ වෙන කතා බහ අහන් ඉන්න මේ ජෝඩුව අය ඉතිං සතියක්වත් යනකල් රෑට කූඩුවෙන් එළියට දැම්මම නා නා ප්රකාර කිරි හට්ටි ගෙනත් තියනවා ප්රදර්ශනය භාණ්ඩ වගේ අපෙ ඉස්සරහ දොරකඩම උදේ පාන්දර බලා ගන්න අපෙ වැඩ කියලා වගේ. එච්චර බර හට්ටි කොහොම කටින් අරන් එනවද මන්ද…
අය දවසක් ස්ලැබ් එක දාන්න කොන්ක්රීට් අදින්න බාල්දි හොයලා තියන්න කියලා බාසුන්නැහේ කිව්වා කියපු කතාව අහන් ඉඳලා දවස් ගානක් ගම පුරා ගෙවල් වලින් බාල්දි අරන් අැවිත් තිබ්බා. එ් වගේ වැඩ වලට ඉතිං පුදුම ප්රසාදයක් තියෙන්නෙ අපෙ අසල්වැසියන්ගෙන්.
ඔය විදිහෙ බාල්දි පෙරලන එක මේ දෙන්නටනම් අමුතු දෙයක් නෙවෙයි.
අක්කලා නංගිලා හත් දෙනෙක්ට එකම අයියා වෙච්ච අපෙ අප්පච්චිට බෑණාවරු ඉන්නවා දහයක් කියලා මම කලින් වෙනස් විදියකට කිව්වනේ. ඔය බෑණලා හතර පස් දෙනෙකුටම මේ මාමා බුදු මාමෙක් කියලා පසක් කරලා දුන්නෙත් මේ අපෙ බලු ජෝඩුවම තමයි. අැයි ඉතිං පස්සෙන් පන්නද්දි කට්ටිය ගේ වටේ දුවන්නෙ “.. බුදු මාමෝ… බේරගනියෝ…” කියලනේ.
අනේ ඉතිං මේ වගේ රස මතක කෝටියක් විතර අපෙ ඔළුවෙ හිර කරලා ජීවිතේට අමතක වෙන්නෙ නැති සුරතලුන් දෙන්නෙක් වෙච්ච මේ දෙන්නාගෙන් කලූ හරියටම අවුරුදු 10යි එක දවසක් ජීවත් වෙලා මීට අවුරුදු කීපයකට කලින් අසනීපයක් නිසා අපිව දාලා ගියා. කලූ ගියාට පස්සේ අර මජර ගති අඩු කරලා දැහැමින් සෙමින් තවත් අවුරුදු 4ක් අපිත් එක්ක හිටිය බ්රවුනිත් පසුගිය දා අපිව දාලා යන්නම ගියා. මේ දෙන්නා ගැන සතුටින් ලියන්න ගත්තට මොකද මේ අකුරු ටිකනම් ලියා ගන්නෙ හරිම දුකින්. හ්ම්… මොනා කරන්නද.. අපිව සතුටු කරලා අාරක්ෂා කරපු පිනෙන් හොඳ අාත්මයක් ලැබේවා මගෙ බොඩිගාර්ඩ්ලා දෙන්නට…!! 🙏
උපුටා ගැනීම: Lahiruka Wijethunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!